වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




බූට් කාපු සිංදු

බූට් කාපු සිංදු

නොයෙල් රාජ් ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක්ම මේ දවස්වල ප්‍රචාරය වෙනවා. ඒවා ඔක්කොම විරහ ගීත. මේ ගීත සියල්ලම එක වගේ ජනප්‍රියයි. ඊළඟටත් නොයෙල් ගයන්නේ විරහ ගීතයක්මද? මේ පිළිබඳ අපි ඔහුගෙන්ම විමසුවා.

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ඉන්න කොට මං වැඩිපුරම ගැයුවේ හින්දි සහ වේග රිද්මයේ ගී. එම ගීත අතරෙත් විරහ ගීත තිබුණා. මහ සයුරේ රැලි, සංසාර වන්දනාව ඒවායින් කිහිපයක්. ඒ විරහ ගීතත් මං ගැයුවෙ වේග රිද්මයට.

නමුත් මෑතකාලීනව ආවනෙ 4/4 ගීත රැල්ලක්. මාත් ඉතින් එයට අනුගතව ළං ළං වෙලා ගීතය ගැයුවා. මං හිතුවටත් වඩා එය ජනප්‍රිය වුණා. ඊළඟට එම තාලයටම දුක වැඩි තරමට ගීතයත් නිකුත් කළා. ඊට පස්සේ ළෙන්ගතු හිත.

අන්තිමේට ගැයුවේ හඬන තරම් ඔබ හින්දා. ඒක අනෙක් ඒවාට වඩා ජනප්‍රිය වුණා. අනේ මන්දා මිනිස්සු හරි ආසයි විරහවට. ඒත් සමහර අය මගෙන් අහනවා බූට් කෑව සිංදු කියලා ඉවර කරන්නේ කවදාද කියලා.

මට ඒ අයට කියන්න තියෙන්නේ බූට් දීපු කෙනා ආයේ ළඟට ආව දවසට විරහ ගීත කියන එක නවත්වනවා කියලා. හැබැයි වැඩේ කියන්නේ එහෙම කෙනෙක් නැති එක.

නොයෙල් පවසපු අන්තිම වාක්‍යයෙන් මට හිතුණේ ඔහු කවදාවත් විරහ ගීත කියන එක නම් නවත්වන්නේ නැහැ යන අර්ථය. කෙසේ නමුත් නොයෙල්ගේ ඊළඟ ගීතයත් විරහ ගීතයක්ම වේවි.