වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා පාසලක් ඕනෑ, එය කළ හැක්කේ ජනාධිපතිතුමන්ට පමණයි

සිනමා පාසලක් ඕනෑ, එය කළ හැක්කේ ජනාධිපතිතුමන්ට පමණයි

නිලේන්ද්‍ර දේශප්‍රිය
තණ්හා රතී රඟා දින පනහෙන් පසු විපරමක්

තන්හා රති රඟා දින හැට පැන්නේය. මෑත භාගයේ සිනමා කෘතියක් මෙපමණ දිනක් තිරගත වූවේ ඉතාම කලාතුරකිනි.

තන්හා රති රඟා ගැන ලියැවුනු විචාරද අති විශාලය. පසුගිය මාස කිහිපය පුරා සෑම පුවත්පතක්ම තන්හා රති රඟා සඳහා අති විශාල අනුග්‍රහයක් දැක් වූයේ එය කතාබහට ලක් කළ යුතු චිත්‍රපටයක් බැවිනි. ඇතැම් අය චිත්‍රපටය නැරැඹුවේද මේ විචාර කියවා බලාය.

අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශප්‍රිය අලෙවිකරණයට උපන් හපනෙකු බව බොහෝ දෙනෙකුගේ මතයයි. සුපර්ස්ටාර්, ලක්ෂපති වැනි වැඩසටහන් ආරම්භ කොට ඉන් මුළු ලංකාවම අල්ලා ගත් ඔහුට තන්හා රති රඟා තුළින් එවැනි දෙයක් කරගන්නට නොහැකි වූ බව ඇතැමෙකු චෝදනා කරති. චිත්‍රපටය කොතරම් දින ගණනක් තිරගත වුවත් සැලකිය යුතු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එය නරඹන්නට ආවේ නැතැයි ක්ෂේත්‍රයේ අය විසින් නිලේන්ද්‍රට චෝදනා එල්ල කරන ලදී. මේ චෝදනා ගැන අපි නිලේන්ද්‍රගෙන් විමසීමු. ඔහු ද නොබියව නොපැකිලිව ප්‍රශ්නවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය. නිලේන්ද්‍ර යනු ප්‍රකට සහාය අධ්‍යක්ෂවරයෙකි. මෙරට විශිෂ්ට අධ්‍යක්ෂවරුන් රැසකගේ විශිෂ්ට සිනමා කෘති මෙන්ම ටෙලි නාට්‍යයන් රැසකට ඔහු දායක වූයේය.

* තන්හා රති රඟා කියන්නේ ජාත්‍යන්තර සම්මාන ලබාගත් සිනමා කෘතියක්. එවන් චිත්‍රපටයක් දින පනහක් ප්‍රදර්ශනය වීම ඇත්තටම විමසිය යුතු කරුණක්. මෙහි ස්ටාර්ස්ලා නැහැ. සිංදු නැහැ. ෆයිට් නැහැ. නමුත් එය තවමත් ප්‍රදර්ශනය වෙනවා.

අරුණ ජයවර්ධනගේ නිකිණි වැස්ස චිත්‍රපටය ගැන දන්නවා ඇතිනේ. එය ඉතාම උසස් චිත්‍රපටයක්. මං නිකිණි වැස්ස නැරැඹුවේ එය ප්‍රදර්ශනය වන්නටත් පෙර. මා මවිත කළා එම නිර්මාණය. මම හිතුවා නිකිණි වැස්ස ප්‍රදර්ශනය ආරම්භ කළායින් අනතුරුව දින සියයක් තිරගත වේවි කියලා. නමුත් මොකක්දෝ අභාගග්‍ය සම්පන්න හේතුවකට නිකිණි වැස්ස එහෙම දිව්වේ නැහැ. තන්හා රති රඟාටත් එහෙම වෙයි කියලා හිතුවා. චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹුණායින් අනතුරුව ඉතාම සුබවාදී විදිහට ප්‍රේක්ෂකයෝ මෙය නැරැඹුවා. චිත්‍රපටය ගැන පණිවුඩය ගියේ කටින් කට. එය මං විසින් කරන ලද්දක් නෙවෙයි. සමස්ථ ප්‍රේක්ෂකයෝයි චිත්‍රපටය විනිශ්චය කළේ.

* අප ඔබ ගැන ක්ෂේත්‍රයේ දන්නේ අලෙවිකරණයට උපන් හපනෙක් හැටියට. ඔබ අතින් මෙවැනි වූ සිනමා කෘතියක් බිහිවේවි කියලා බොහෝ දෙනෙකු හිතුවේ නැති තරම්?

වෙන්න ඇති. මම චිත්‍රපටය අවංකව කළා. අලෙවිකරණය ගැන එතෙන්දි හිතුවේ නැහැ. මම සාමාන්‍යයෙන් කරන්නේ මට අභියෝගයක් වෙන දේවල්. සිරසේ ඉන්න කොටත් මං කළේ ඒ වගේ වැඩ. විශාල යාන්ත්‍රිකරණය තුළ මා යමක් කරනවා. හැබැයි මං දන්නේ නැහැ එහි ප්‍රතිඵලය කුමක් වේවි ද කියලා. ඒ නොදන්නාකම මාව නව මාවත්වලට යොමු කරනවා. තන්හා රති රඟා නිර්මාණය කළෙත් ඒ පදනම මතයි. විටෙක මා නම් වූ නිර්මාණකරුවා මා සෙව්වා. ඒ සොයා යාම තුළින් නැවුම් අදහස් ඇති වුණා. අන්න ඒකයි මගේ නිර්මාණවල තියෙන රහස.

* තන්හා රති රඟා සඳහා කොහොමද මෙතරම් විචාර ප්‍රමාණයක් ලියවුණේ?

මං හිතන්නේ මෑතකාලීනව වැඩිම විචාර ප්‍රමාණයක් ලිය වුණේ මේ චිත්‍රපටය ගැනයි. දැනෙන දේනේ ඒ අය ලියන්නේ.

* ඔබ මේ වන විටත් තවත් සිනමාපට කිහිපයක්ම නිර්මාණය කිරීමට අපේක්ෂාවෙන් ඉන්නා වග ආරංචි වුණා?

ඔව්. චිත්‍රපට තුනක් කරන්න සැලසුම් කරනවා. ඒවාහි තේමාවන් එකිනෙකට බද්ධයි. ඉන් දෙකක් පිළිබඳ විස්තර මං කියන්නම්. පොදු පුරුෂයා කෘතිය ඇසුරෙන් නිර්මාණය කරනවා චිත්‍රපටයක්. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා නිෂ්පාදනය කරන දේ ඩාන්ස් අලෝන් හි රූපගත කිරීම් ළඟදීම ඇරැඹේවි. එයට සිංහල නමක් දැම්මා සාතන්ගෙ පුත්තු කියලා. ඒ නම පළමුවරට මාධ්‍යයට කිව්වේ දැන් තමයි. මේවා මඟින් කතා කරන්නේ ප්‍රචණ්ඩත්වය.

* ප්‍රචණ්ඩත්වය සිනමාවට ගෙනල්ලා හරියනවාද?

ප්‍රචණ්ඩත්වය තමයි ලෝකයේ තියෙන ප්‍රධානතම ගැටළුව. ප්‍රචණ්ඩත්වය මා සිනමාවට ගේන්නේ එය පිටුදැකීමේ අරමුණිින්. සිනමාව හරහා ඒ සිනමා කෘති තුළින් ප්‍රචණ්ඩත්වයට එරෙහිවයි කතා කරන්නේ.

* ඔබ සුපර් ස්ටාර් සහ ලක්ෂපති වැනි වැඩසටහන් ඔස්සේ සමාජය තුළ මහත් වූ කතිකාවතක් ගොඩ නැඟුවා. කෙටියෙන්ම කිව්වොත් අවස්ථා කිහිපයකදීම සුපර්ස්ටාර් පළමු අදියර විකාශය වෙද්දී මුළු රටම ගල් ගැසී බලා සිටින තත්ත්වයක් ඇති කළා. නමුත් තන්හා රති රඟා ප්‍රදර්ශනය වුණා පමණයි. ආන්දෝලනාත්මක යමක් කළේ නැහැ?

ඔබ පැවසූ පරිදි සුපර් ස්ටාර් විකාශය වෙන කාලේ රටම ඒ පිළිබඳ අවධානයෙන් හිටියේ. ඒ වගේම බහුලව ඊට විරෝධතා ඇති වුණා. බොහෝ අය බැන්නා. හැබැයි තන්හා රති රඟා එහෙම නොවී සියුම්ව මිනිසුන් වැළඳ ගත්තා කිව්වොත් නිවැරැදියි. ඒ ප්‍රතිඵලය මා බලාපොරොත්තු නොවූවක්. කෙසේ නමුත් මේ ගැන සුපර් ස්ටාර් තරම් කතා කළේ නැහැ. සත්සමුදුර, තුංමං හන්දිය, හංස විලක් වැනි චිත්‍රපටවලටත් උදා වුණේ ඔය තත්ත්වයම තමයි. ඒ කාලෙට වැඩිය ඒ චිත්‍රපට ගැන කතා කරන්නේ වර්තමානයේදිනේ. මං හිතනවා ඒ වගේ තන්හා රති රඟා ගැන අනාගතයේදී මීට වඩා කතා කරාවි.

* තන්හා රති රඟා පබ්ලිසිටි වැඩි කළා නම් ප්‍රේක්ෂකයෝ සංඛ්‍යාව වැඩි කරගන්න තිබුණා නොවේද?

චිත්‍රපට කර්මාන්තයේ ස්වර්ණමය යුගයේ අපට තිබුණේ ගුවන් විදුලි සංස්ථාව විතරයි. නමුත් ඒ කාලේ චිත්‍රපට ශාලා උතුරන්න සෙනඟ ආවා. අද වන විට මාධ්‍ය වැඩි වෙලා. ටෙලිවිෂන් චැනල්ම දහ හතරක් තියෙනවා. ඒවා තෝරා බේරාගෙන මිනිස්සු නරඹන්නේ. තමන්ට අවශ්‍ය චැනල් ගාව ඒ ඒ අය නැවතිලා ඉන්නේ. ඒ හින්දා කොච්චර ප්‍රචාරය දුන්නත් හැමෝටම ඒ පිළිබඳ දැනුවත් නොවන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩියි. පත්තරවල වුණත් එහෙමයි. දිනපතා පත්තර සියල්ල මිලදී ගන්න රුපියල් තුන්සිය හැත්තෑවක් යනවා. සතිපතා නම් වියදම හත්සිය පනහක්. ඉතින් කවුද එහෙම පත්තර ඔක්කොම ගන්නේ. කාටද එහෙම සල්ලි තියෙන්නේ. තම තමන්ට ඕනෑ පත්තරය විතරනෙ ගන්නේ. ඒ පත්තරේනුයි ඒ බලන කෙනා දැනුවත් වෙන්නේ. ඒ අනුව මං හිතනවා කොපමණ ප්‍රචාරණයක් දුන්නත් එකම ප්‍රමාණයක් විතරයි දැනුවත් වෙන්නේ කියලා.

* ඔබ ටෙලි නාට්‍ය ගණනාවක සහාය අධ්‍යක්ෂවරයකු විදිහට වැඩ කළා. එහෙව් කෙනෙකු අතින් තවමත් ටෙලි නාට්‍යයක් නිර්මාණය වන්නට පමා වුණේ මන්ද?

ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ ටෙලි නාට්‍යය මතකද? ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ ඉල්ලීමකට අනුව එය විකාශය කරන්න මම මැදිහත් වුණා. ඒ කාලයේ එහි එක කොටසක් විකුණුවේ ලක්ෂයකට. වෙද හාමිනේ විකාශය වෙලා මේ වෙන කෙට අවුරුදු විස්සක් විතර ඇති. අදත් ටෙලි නාටය්‍යක කොටසකට ගෙවන්නේ ලක්ෂයක් හෝ ඊට ආසන්න මුදලක්. එහෙව් තත්ත්වයක් මත ටෙලි නාට්‍යයකට කැප කරන කාලය සිනමාපටයක් කෙරෙහි යොමු කරන එක වාසියි. අනික ටෙලිවිෂන් කියන්නේ මොකක් ද කියන එක මට විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් මං නිතර කළේ ටෙලිවලින් ඔබ්බට ගිය නිර්මාණ. ඉදිරියේදීත් ටෙලිවිෂනය උඩු යටිකුරු කරන වැඩක් කරනවා. හැබැයි ටෙලියක් නෙවෙයි.

* ඔබ වර්තමානයේ විකාශය වන ටෙලි නාට්‍යය නරඹන්නේ නැතිද?

ටෙලි නාට්‍ය තුනක් බලන වෙලාව චිත්‍රපටයක් බලන වෙලාවට සමානයි. වෙල් දිගේ ඇවිද ඇවිද බුලත් කෙල ගගහා රඟපාන චරිත තියෙන අපේ රටේ ටෙලි නාට්‍ය නරඹන්නේ නැතුව චිත්‍රපටයක් නරඹා දැනුම වැඩි කරගන්න එක නේද හොඳ.

ද පසුගිය කාලේ තිරගත වූ චිත්‍රපට ගණනාවක් එක්තරා මාෆියාවක් විසින් අඩු දින ගණනකින් ගැලෙව්වා යනුවෙන් සමහරු චෝදනා කළා. තන්හා රති රඟාට එවන් තත්ත්වයක් ඇති නොවුණේ කොහොමද?

නැහැ, නැහැ. තන්හා රති රඟාට බලපෑම් ආවා. නැත්තේ නැහැ. කටුගස්තොට සීගිරි හෝල් එකෙන් සති දෙකක් ඇතුළත චිත්‍රපටය ගලවා ෂාරුක් ඛාන්ගේ අලුත් හැපි නිව් ඉයර් ප්‍රදර්ශනය කළා. නමුත් දින කිහිපයකදී ආයෙත් තන්හා රති රඟා ඉල්ලුව තිරගත කරන්න. ඒ තත්ත්වය උදා කරලා තියෙන්නේ ප්‍රේක්ෂකයෝ. ඔවුන් චිත්‍රපටය නරඹන්න ඕනෑ කියලා ඉල්ලුමක් ඇති කළා. සති අන්ත දිනවල අවම ප්‍රේක්ෂක මට්ටම නැතිනම් සිනමා ශාලා හිමියන්ට අයිතිය තියෙනවා චිත්‍රපටය ගලවන්න. හැබැයි පෞද්ගලික වුවමනාවන්ට එහෙම කරන්න බැහැ.

* චිත්‍රපට පිටපතත් පිළිබඳ ගැටළුවේදී ඔබ ඉන්නේ කොතැනද?

පිටපත්වල නොවෙයි මෙතන තියන ගැටළුව. මීට කලකට ඉහතදී ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ගැන සොයා බලන්න. ඒවාහි පිටපත් ගණන දොළහයි හෝ දහහතරයි. එම සිනමා කෘති දිව්වේ එහි ඇති ගුණාත්මකභාවය නිසා. පිටපත් ගණනෙහි ගැටළුවට කුලල් කා ගන්නේ නැතුව එක සිනමා පාසලක් හදන්න. එමඟින් අපේ කොල්ලො කෙල්ලො පුහුණු කරන්න. පසුව පිටපත් ගැන හිතමු. මං කිව්ව සිනමාපාසල නිර්මාණය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එයා තමයි අපේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ වගේම කලාකරුවන් අතිශය සමීපව ඇසුරු කරනවා. මටත් එතුමා සැහෙන්න උදව් පදව් කරලා තියෙනවා. එවන් වූ අයකුට විතරයි මේ කාර්යය කරන්න පුළුවන්.

අපේ සිනමා ක්ෂේත්‍රයේ ඉන්නවා සිනමාව ගැන මෙලෝ හසරක් දන්නේ නැති අය. එවන් වූ කේවට්ටයන් තමයි සිනමාවේ බොහෝ තීරණ ගන්නේ. ඒ වගේම ඔවුන් චිත්‍රපට අධ්‍යක්ෂණය කරනවා. එක මං දකින්නේ මොලේ අමාරුවට වෙදකම් කළ යුතු වෛද්‍යවරයා කකුලේ රිදුමට බෙහෙත් දෙනවා වගේ වැඩක්. සිනමාව කියන්නේ සුලුවෙන් තැකිය යුතු දෙයක් නෙවෙයි. මම නම් කියන්නේ ඉතාම ඉක්මනින් සිනමා පාසලක් අරඹන්න කියලා.

* ඔබට බැරි ඇයි ඊට මැදිහත් වෙන්න?

මොකද බැරි. මට මැදිහත් වෙන්න පුළුවන් උපදේශකවරයකු විදිහට. රංගනය කියන විෂය ලෝකේ කොහේ ඉගැන්නුවත් එකම තියරිය තියෙන්නේ. ඉන්දියාවේ පූනෙ විශ්වවිද්‍යාලයේ සිලබස් එක කෙළින්ම මෙහෙට අනුබද්ධ කරලා සිනමාව ගැන උගන්වන්න පුළුවන්. ලංකාවේ වෛද්‍ය විද්‍යාල තියෙනවා. ඉංජිනේරුවරු බිහි කරන තැන් තියෙනවා. වානිජ ක්ෂේත්‍රයේ ඉහළටම යන්නට පුහුණු කරන තැන් අනන්තයි. නමුත් සිනමා පාසලක් නැහැ. කියන්න ලැජ්ජයි අපේ රටේ ඉන්නවා සිනමාව වෘත්තියක් කරගන්න හිතාගෙන ඉන්න ළමයි. ඔවුන් අයාලේ යනවා.

* ජාතික චිත්‍රපට සංස්ථාවේ මුල් පුටුවට ඔබට ආරාධනා ලැබුණොත් පළමුව ඔබ මොකද කරන්නේ?

මං කරන්නෙද? දුවලා දුවලා ගිහින් චිත්‍රපට සංස්ථාව පේන්නේ නැති තැනක ගිහින් හැංගෙන එක.

* ඇයි ඒ?

මාව චිත්‍රපට සංස්ථාව ඕනැ නැහැ. එතැන සිටිය යුත්තේ ඩී. බී. නිහාල්සිංහ.

* හේතුව?

ඔහු තමයි සිනමාව මෙරට ආදායම් ඉපයිය හැකි කර්මාන්තයක් බවට පත් කළේ. ඒ වගේම තිර නාටක බැංකුවක් ඇති කෙරුවා. සිනමාව මූලික මිනිස් අවශ්‍යතාවයක් කළේ එතුමා. නර්ථනයන ගැන කතා කළොත් චිත්‍රසේන, රංගනය ගැන කතා කළොත් ගාමිණී ෆොන්සේකා, ජෝ මහත්තයා, ගෘහ නිර්මාණකරණය ගැන කතා කළොත් ජෙෆ්රි බාවා. සිනමාව ගැන කතා කළොත් නිහාල්සිංහ. චිත්‍රසේන, ගාමිණී, ජෝ, ජෙෆ්රි ජීවතුන් අතර නැහැ. නමුත් නිහාල්සිංහ මහත්මයා ඉන්නවා. දැන් තේරෙනවා නේද මං කිව්වේ මොනවද කියලා.