වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ගෝඩ් කිං රඟපාන්නටත් ඇවිත් ලාංකික චිත්‍රපටයකට ජාත්‍යන්තර සම්මානයක් දිනා ගත් ඇකඩමි සම්මාන දිනූ රංගනවේදියා

ගෝඩ් කිං රඟපාන්නටත් ඇවිත් ලාංකික චිත්‍රපටයකට ජාත්‍යන්තර සම්මානයක් දිනා ගත් ඇකඩමි සම්මාන දිනූ රංගනවේදියා

කවුද මේ Ben Kingsley

ශ්‍රීමත් බෙන් කිංස්ලි තවදුරටත් හොලිවුඩයට පමණක් අයත් තරුවක් නොවෙයි. දැන් ඔහු අපටත් සමීප රංගවේදියෙකි. ‘අ කොමන් මෑන්’ ඔහු ලාංකිකයන්ට සමීප කළ සිනමා නිර්මාණයයි. ශ්‍රී ලාංකේය සිනමාවේදී චන්ද්‍රන් රත්නම්ගේ ‘අ කොමන් මෑන්’ හි ප්‍රධාන නළුවා බෙන්ය.

ඔහු අපට මුලින්ම සමීප වන්නේ 1982 දීයි. ඒ ගාන්ධි සිනමාපටයේ මොහාන්දාස් ගාන්ධි ලෙසිනුයි. බෙන් එහි රංගනය සඳහා හොඳම නළුවා ලෙස ඇකඩමි සම්මානය හිමි කර ගත්තේය. මේ වසරේදී ඔහු ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් ජාත්‍යන්තර සම්මාන උළෙලේ හොඳම නළුවා වුණේ අපේ චන්ද්‍රන් රත්නම්ගේ ‘අ කොමන් මෑන්’ රංගනය උදෙසායි.

බෙන් කිංස්ලි වශයෙන් ලෝ පතල වුවත් ඔහුගේ උපන් නම ක්‍රිෂ්ණ පණ්ඩිත් බන්ජිය. 1943 දෙසැම්බර් 31 දින එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ උපන් ඔහුගේ මව ඇනා ලීනා මේරි එක් දහස් නමසිය විස්සේ, තිහේ දශකයේ නිළියකි. මෝස්තර නිරූපිකාවකි. පියා රහිම්තුල්ලා හර්ජි බන්ජි වෛද්‍යවරයෙකි. බෙන්ගේ පියා ගුජරාට් ඉන්දියානු මුස්ලිම් සම්භවයකින් යුක්තය.

ඔහු අකුරු කළේ මැන්චෙස්ටර් ග්‍රෑමර් පාසලෙනි. නළු රොබට් පවෙල් ද ඔහුගේ පන්ති මිතුරෙකි.

සැල්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබන කාලයේ සිට බෙන් රංගනයට පෙම් බැන්දේය. වේදිකාවෙන් රංගනය ඇරැඹූ ඔහු පහළොස් වසරක් පුරා වේදිකාවටම සීමා වී සිටියේය. ගුවන් විදුලි මාධ්‍යයට ඔහු පිවිසියේ ඉන් අනතුරුවයි. සංගීත නිෂ්පාදක සහ කළමනාකරු ඩික් ජේම්ස් ඔහු පොප් තරුවක කිරීමට උත්සාහ කළත් බෙන් කිංස්ලි ඒ අදහස පසෙකලා රාජකිය ශේක්ස්පියර් ආයතනයට සම්බන්ධ වූයේය. ‘අ මිඩ්සමර් නයිට්’ස් ඩ්‍රීම්’ ශේක්ස්පියර් නාට්‍යයේ රඟද්දී ඔහු බෙන් කිංස්ලි ලෙස නම වෙනස්කර ගත්තේය. ඉන්දීය ඌරුවක් ගත් සිය නම රංගන ජීවිතයට බාධාවක් වේවියි කියා ඔහු සිතුවේය.

බෙන්ගේ පළමු රංගනය ඇතුළත් වූයේ ‘ෆියර් ඊස් ද ත්‍රී’ (1972) සිනමාපටයටයි. පුංචි තිරයේත්, රිදී තිරයේත් ඔහු සුළු චරිත රංගනයන්හි යෙදුණේය. ඔහුට වාසනාව ගෙනාවේ ‘මොහාන්දාස් ගාන්ධි’ චරිතයයි. 1972 වසරේ පමණ බෙන් කිංස්ලි මුල් වරට ලංකාවට පැමිණියේය. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ ගෝඩ් කිං චිත්‍රපටයේ රඟපාන්නටය. එහෙත් පසුව ඔහු එයින් ඉවත් විය.

ටර්ටල් ඩයරි, විතවුට් අ ක්ලූ, පැස්කලීස් අයිලන්ඩ්, සස්්පෙක්ට් සීරෝ, බග්සි, ස්නීකර්ස්, ඩේව්, සර්චිං ෆො බොබී ෆිෂර්, ස්කින්ඩ්ලර්ස් ලිස්ට්, ඩෙත් ඇන්ඩ් ද මේඩ්න්, සෙක්සි බීස්ට් සිනමා රංගනයන්ට ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සහාය නළුවා ලෙස නිර්දේශ විය. ඔහු හවුස් ඔෆ් සෑන්ඩ් ඇන්ඩ් ෆොග් රංගනයට හොඳම නළුවා ලෙසින් ද සම්මානයට නිර්දේශ විය.

1998 දී බෙන් හතළිස් අට වැනි බර්ලින් අන්තර් ජාතික සිනමා උළෙල ජූරි සභාව නියෝජනය කළේය. ඔහු ටෙලි සිනමාපටවලට ද දායක වී ඇත. මේ වසරේ අප්‍රේල් මාසයේදී ඔහු රැඟූ ‘අයන් මෑන්’ තිරගත විය.

දෙවැනි එළිසබෙත් රැජනගේ ශ්‍රීමත් නාමයෙන් පුද ලද ඔහු 1984 දී හොඳම වචන උච්චාරණය සඳහා ග්‍රැමී සම්මාන දිනා ගත්තේය. ඒ වසරේදීම ඉන්දියාවෙන් ඔහුට පද්ම ශ්‍රී සම්මානය පිරිනැමුණි. හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් හි ඔහු සම්මානලාභී තරුවක් ලෙසින් (2010 මැයි) නම් කෙරුණි.

බෙන් කිංස්ලි මේ වන විට සිව් වරක් විවාහ වී දරුවන් සිව් දෙනකු ලබා සිටියි. ඇන්ජෙලා මොරන්ට්, ඇලිසන් සට්ක්ලිෆ්, ඇලෙක්සැන්ඩ්‍රා ක්‍රිස්ට්මන්, බෙන්ගෙන් දික්කසාද වූ බිරියන්ය. 2007 වසරේ සිට ඔහු විවාහ වී සිටින්නේ බ්‍රසීලියානු නිළි ඩැනියෙලා ලැවෙන්ඩා සමඟයි.