වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




කෙල්ලෝ දෙන්නාම වුණත් ඌට දෙන්ඩ වැරැද්දක් තියේවිද?

කෙල්ලෝ දෙන්නාම වුණත් ඌට දෙන්ඩ වැරැද්දක් තියේවිද? 08

ආචාර්ය සෝමරත්න දිසානායකයන් ගේ සිරි පැරකුම් තිර නාටකය ඇසුරෙන් සරසවිය ගෙන එන වෘතාන්තය

 

කළු එතනා නිවසට පැමිණියේ කෝපයෙනි.ඇයට මේ තරම් කේන්ති යන්නට හේතුව රනාවත්ත දුරයාගේ කට කැඩිච්ච කතාවය. රනාවත්ත දුරයා ඇයට මුණ ගැසුණේ ටික වේලාවකට කලිනි.ඇයත් සිරිමල් එතනා ත් අසල කැලයට ගියේ දර කඩා ගෙන එන්නටය.අප්පුවා ද ඔවුන්ගේ තනියට ආවේය. අප්පුවා සිරිමල් එතනා සමඟ ඕනෑවට වඩා ඇඟලුම් පාන්නේ යැයි ටික දිනක සිට කළු එතනාට සිතෙන්නට පටන් ගත්තේය.එය දකින ඇයට තරහක් උපදින. ඒ මන්දැයි ඇය නොදත්තාය.දර කඩා එන අතර මග රනාවත්තේ දුරයා මුණ ගැසිණ. ඔහු පැමිණියේ මීහරක් රංචුවක් දක්කා ගෙනය. යුවතියන් දෙදෙනා දර මිටි රැගෙන ගිය බැවින් දුරයා ඔවුන්ට යන්නට ඉඩ සලසා පසෙකට ගියේය.ඔහු මඟට පිවිසුනේ පසුපසින් පැමිණි අප්පුවාගේ මග අවුරන ආකාරයටය. එය අප්පුවාට නොවැටහිණ.එබැවින් ඔහු දුරයා සහ හරක් රැළට යන්නට ඉඩ හැරියේය.දුරයා අප්පුවා දෙස යටැසින් බලා හරක් දැක්වූවේය. දුරයාට හරක් සිටියේ නැත. එක් හරකෙක් අප්පුවා දෙස බලා ඉදිරියට යත්ම අප්පුවා හරක් රංචුව හඳුනා ගත්තේය.

‘කොහෙද හරක් රැල දක්කාගෙන යන්නේ ?’

අප්පුවා විමසුවේය.

‘ඇයි අහන්නේ ?”

දුරයා ගේ ස්වරයේ තිබුණේ අවඥා සහගත සැලකිල්ලකි.

‘අහන්නේ අපේ හරක් හින්දා නොවැ’

‘තොපේ වෙන්නේ කොහොමද බොල. මේ හරක් අපේ ගමරාළගේ”

‘ගමරාළ කියන්නේ අපේ අප්පච්චි”

දුරයා සමච්චල් සිනහවක් මුවඟට නගා ගත්තේය.ඔහු වට පිට බැලුවේ යුවතියන් ඈත් මෑත් වන තෙක්ය.

අනතුරුව අප්පුවාගේ මුහුණට ම මෙසේ පැවසුවේය.එහෙත් එය ද හඬ නොනැගෙන්නටය.

‘තෝ හිතා ගෙන ඉන්නේ, එහෙමද බොල.? තොගෙ මහ එකී අර හඟවත්තේ රෙදි හෝදන ගොළු එකීනේ බොල. අප්පා නම් කවුද දන්නේ.ඒ දවස්වල උන්දැත් ගමරාළ ගේ ගෙදර රෙදි හේදුවද දන්නේ නෑ.”

දුරයා ගේ කට කැඩිච්ච වදන් කළු එතනාට ඇසිණ.ඇය ගෙදරට ගියේ ඒ කෝපය සමඟය.

‘ඇයි අප්පච්චි අර දුරයාට හරක් දුන්නේ ?’

ගෙට ගොඩ වැදුණ අප්පුවා ඇසුවේය.

‘අපිට ඔය හරක් ඔක්කොම බලා ගන්න බෑනේ පුතේ.ඒකයි මම රනාවත්තේ දුරයට කිව්වේ”

‘මට බලා ගන්න තිබුණනේ”

අප්පුවා පැවසුවේ පිල මත වාඩි වෙමිනි.

“උඹ කියලා ඉතිං ඔය හැම දේම කරන්නේ කොහොමද? ගෙදර වැඩයි.පන්සලේ වැඩයි.කුඹුරේ වැඩයි.තනියම නේ කරන්නේ.”

ගමරාළ පැවසුවේ අනුකම්පා කරන ස්වරයෙනි.

‘අප්පුවා කරන වැඩ විතරනේ අප්පච්චිට පේන්නේ’

එය ඇසුණු කළු එතනා පැවසුවේ නොමනාපයෙනි.

‘මම කිව්වේ නෑනේ උඹල වැඩ කරන්නේ නෑ කියලා.”

ගමරාළ පැවසුවේ මේ කතාව මෙතනින් ඉවර කළ යුතු යැයි සිතමිනි. ඔහු උන් තැනින් නැගිට ගේ ඇතුළට යන්නට සැරසිණ.

“ අපිත් ඉතින් රෙදි නැන්දාගේ ළමයි උණා නම් අප්පච්චි අපටත් හොඳ කියයි”

ගෙට යන්නට ගිය ගමරාළට එය ඇසිණ.ඔහු ආපසු හැරුණේය.

“මොකක් බොල ඒ අලුගුත්තේරු කතාව ?”

කළු එතනා ට බය සිතුනේ අප්පචිචිගේ විලාසයටය. මෙතුවක් තමා තුළ උපන් තරහව මේ ආකාරයෙන් පිට වෙතැයි ඇය නොසිතුවාය.

‘රනාවත්තේ දුරයා තමා කිව්වේ”

ඇය අඩියක් පසුපසට ගියේ සිය පියා ගෙන් බේරෙන්නටය.ගමරාළ සිය වේගය අඩු කළේය.

‘උඹල මොකටද ඌත් එක්ක කතාවට ගියේ.උන් එක්ක අපිට මොන කතාවක්ද?

“ඒ උනාට අප්පච්චි”

කළු එතනා තවත් යමක් කියන්නට ගියාය.

“උඹ උඹේ වැඩක් බලා ගනින්”

කළු එතනා පියා සමඟ එකට එක කියන්නට ගියේ නැත. අප්පුවා ගෙයින් මිදුළට බසිනු ගමරාළ බලා ගෙනය.මේ කතාව අසන්නට වෙනත් කිසිවකු එහි නොවීම සිරිමල් එතනා ගේ සතුටට හේතු විය.

“උඹ කොහේද යන්නේ ?”

ඔහු ඇසුවේය.

‘පන්සලට”

අප්පුවා උත්තර දුන්නේය.ගමරාළ එදෙස බලා උන්නේය.ඔහුට අප්පුවා ගැන දුකක් සිතිණ. එහෙත් ඒ සිතුවිල්ලේ වැඩි දුරට රඳන්නට ඔහුට නොහැකි විය.එවර කඩුල්ල පැන්නේ කපුරාළය. ඉතා මෑතක දිනක වැව් කණ්ඩියේ දී හමු වූ කපුරාළ තම දියණියන් පිළිබඳ විමසා සිටියේය.හිටි අඩියේ තමා මහලු ව ඇතැයි එදා ගමරාළට සිතිණ. කපුරාළ ඇවිත් තිබුණේ තමා සිතූ කාරණයටය.

‘මේ මිනිස්සුන්ගේ මොන අඩුවක් ද මස්සිනේ.විදානේ රාළහාමිගේ වැඩිමල් කොල්ල කිව්වම”

කපුරාළ තවත් විස්තර පවසා සිටියේය. ගමරාළට ඔවුන් පිළිබඳ හඳුන්වා දෙන්නට අවශ්‍ය ද නැත. හේ ඒ ඉලන්දාරියා ගැන හොඳීන් දැන සිටියේය. කුඩාකල පන්සලේ දුව ඇවිද ගිය ඒ දරුවා ද දැන් ඉලන්දාරියෙක් ව ඇත්තේය.තමා සිය බිරින්දෑ කැන්දාගෙන ආවේ ඇයට දහසයක් පිරෙන්නට කලිනි.

එය සිදු වී කොපමණ පෝයක් ගෙවන්නට ඇත් දැයි සිතා ගත නොහැක්කේය.ඉර බැස ගෙන යන්නට ආසන්නය.ගමරාළ උදැල්ල ගෙන එළියට බැස්සේය.ඒ සමඟ කපුරාළ ද එළියට බැස්සේය.

“ළමයි දෙන්නා කැමැති වුනොත් අපි කෙල්ලො දෙන්නම දෙමු.”

කපුරාළ පැවසුවේය.මේ කතා බහ තව ටිකක් දුරට කතා කරන්නට ඔහුට වුවමනාවක් තිබෙන ගානය.

“අපි තව ටිකක් කතා කරල තීන්දුවකට එමු.මට වක්කඩ බඳීන්න තියෙනවා,”

ගමරාළ පැවසුවේය.ළමයින්ගේ අම්මා සමග මේ ගැන කතා කළ යුතුය.ගමරාළ තනිවම සිතා ගත්තේය.එහෙත් තමා ගේ සිතේ තියෙන්නේ තව දෙයකි. ඔහු කුඹුරට යන ගමන් කල්පනා කළේය.

ඉර බැස ගොස් හෝරාවක් ගතවන විට මුළු ගමම නිදිය.තම බිරින්දෑ පිටි කොටමින් සිටිනු දුටු ගමරාළ එහි ගියේය.දීග දෙන්නට යෝජනා ගෙනාව ද කෙල්ලන් දෙදෙනාම නිදිය.දීග දෙන්නට සිතුව ද උන් දෙන්නාම තවම පොඩි එවුන්ය.බිරින්දෑ තනිවම වෙහෙසෙනු දුටු ගමරාළට දියනියන් අවදි කොට මවට උදව් කරන්නට කිව යුතුයැයි හැඟුන ද ඔහු ඒ අදහස යටපත් කළේය.කපුරාළගේ යෝජනාව පිළිබඳ කතා කරන්නට හොඳම වේලාව මේ යැයි ඔහුට වැටහිණ.

“ඔය විදානේගේ පුතාගේ අඩුව මොකක්ද?”

බිරින්දෑ ඇසුවාය.ඔහු මෙතැනට පැමිණියේ තම දරුවන් පිළිබඳ විමසන්නටය.

“වැරැද්දක් නැති වග ඇත්ත.”

බිරින්දෑ පිටි කොටන වංගෙඩියට අත දැමූ ගමරාළ එයින් පිටිගෙන වට්ටියකට හැලූවේය.

‘එහෙනම් ඉතින් අදි මදි කොරන්නේ.දැන් ලොකු එකී ගෙට වෙලා පෝය කීයක් නම් ගෙවුනද?.පොඩි එකීත් එහෙම නේ.”

දෙමාල්ලෝ කතා කළේ හඬ නොනැගෙන්නටය.අප්පුවා දැන් නිදි යන්නේ පිලේය. කෙල්ලන් ගේ ඇතුළේය..

‘මයෙ හිතේ තියෙනවා. ඊටත් වැඩි හොඳ කාරණාවක්”

ගමරාළ බංකුවක් මත හිඳ ගත්තේය.ගෙයි පහන බිරින්දෑගේ මුහුණට හොඳීන් එළිය වැටෙන්නට සලස්වා ඇත්තේය.කලකට ඉහත ඇය කැන්දාගෙන එන විට ඈ සිටියේ කළු එතනාගේ වයසේම විය. බිරින්දෑ තමන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටින්නීය.

“මොකද අප්පුවා ගැන සිතන්නේ ?’

ගමරාළ ඇසුවේය. හාමිනේ එය බලා පොරොත්තුවූවක් නොවේ.

“මේ අපේ අප්පුවා ?”

ඇය ඇසුවේ එබැවිනි.

“ඔව්.අපේ කිව්වට අපි දෙන්නගේම නෙමෙයිනේ,”

‘මේකා රෙදි නැන්දාගේ එකෙක් කියලා කියන එකේ”

“රෙදි නැන්දා එක්කන් ආවාට මේකා උන්ගේ එකෙක් නෙවෙයි. කොහේද ඒක හොයා ගන්නත් බැහැනේ. මේ ගෑනි ගොළු වුනානේ.මේකා කවුරු උනත් අපිට අපේම එකෙක් වගේ නේ”.

බිරින්දෑ නිහඬව යළිත් පිටි කෙටුවාය. අප්පුවා ගැන ගම්මු කියන කතා ඇය දනියි. එහෙත් මේ දරුවා දැන් තමුන්ගේම එකෙකි. කෙල්ලන් දෙන්නාම ඔහුට කැමැතිය.

“එහෙනම් ඉතින් ඉස්සෙල්ලාම කළු එතනාගෙන් අහල හිටියනම්”.

ගමරාළ උන් තැනින් නැගිට්ටේය.

‘කළු එතනා නෙමෙයි. කෙල්ලො දෙන්නම වුණත් ඌට දුන්නට වැරැද්දක් පෙන්නුව නම් එහෙම”

“අනේ එහෙමට වැරැද්දක් නෑ.ඉඩ කඩම් උනත් ඉතුරු වෙනවනේ”.

ඇය පැවසුවේ අතුල්පත මැටි බිත්තියේ එල්ලා දමමිනි.පසුවදා උදෑසනින්ම කෙල්ලන් සමඟ මේ ගැන කතා කළ යුතු යැයි ඇය සිතා ගත්තාය.

පසුදා උදෑසනින් ගමේ සියල්ල අවදි වූයේ අණ බෙරයක් සමඟය.රාජ පුරුෂයා ද අණ බෙර කරු සමඟ යනු ගැමියන් බලා උන්හ.

“දඔදෙණි රාජ මාලිගාවේ සිට අප මහා විජයබා රජතුමන් විසින් දන්වා සිටින රාජ ආඥාවයි.කාලිංඝ දේශයේ සිට අප රටට කඩා වැදී සිටින මාඝ නම් පර සතුරා අපගේ මාතෘ භූමියෙන් පළවා හැරීම සඳහා ..”

අණ බෙරය සම්පූර්ණ වන්නටත් පෙරාතුව ගම්වැසියෝ පෙළ ගැසුණාහ.මහ රජතුමන් පිළිබඳ මිනිසුන්ගේ තිබුණේ විශ්වාසයකි. එහෙත් සතුරා සමඟ කරන සටන වරින් වර දිග් ගැස්සෙයි.තවමත් මාඝ මවිබිමින් මුළුමනින්ම පළවා හරින්නට විජයබා රජුට නොහැකි ව ඇත්තේය.කවදාක හෝ රජු ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරනු ඇත. මිය යන්නේ එක් වතාවකි.එබැවින් රජ අණත් සමග හයිය ඇති සියලු දෙනා පන්සලට පිරුණාහ.කම්මලේ යකඩ තැලීම ඉක්මන් විය. ඒ උදැලි සඳහා නොවේ. මුවහත් අසිපත් සඳහාය. එයට වෙහෙස වන්නට කුල මල කියැවුණේ නැත.පංගු පේරුවකින් තොරවම එකා වන්ව වෙහෙසෙන්නට ගැමියෝ සූදානම් වූහ. ගිනියම් වන අසිපත හැඩ ගැසෙන දකින තරුණයන්ගේ කය උණුසුම් ව ගියේය.ඒ අසිපත මුවහතේ තම අතින් සතුරු හිස් කැපෙන අයුරු ඔවුහු මනසින් මවා ගත්තාසේය.ඔවුන්ට පුහුණුව දෙන්නට රාජ පුරුෂයා හැමවිටම සූදානම් විය.නායක හාමුදුරුවන් සටන් පුහුණු වන පිරිස මැදට වැඩියේය.පිරිස මදක් සිය පුහුණුව නැවැත්වූවේ හිමිපාණන්ට ඉඩ දෙන්නටය.ඔවුහු උන් වහන්සේට වැන්දාහ.උන් වහන්සේ පිරිස සිසාරා බැලූහ.සාමනේර හිමිනමක් සටන් පුහුණු වන්නට පැමිණ සිටන වග උන් වහන්සේ දුටුවේ එවිටය. සාමනේර හිමියන් හෙමින් සැරේ කිසිවකුට මුවා වන්නට බලනු නායක හිමියන්ට පෙනිණ.තම රහස ගුරු හිමිපාණන් හමුවේ අනාවරණය වීම පිළිබඳ එ හිමියන් බිය පත් වූ වග නායක හිමියන්ට වැටහිණ.

“අංගම් කියන්නේ ඇඟේ පතේ හයිය ව්තරක් නෙවේ බොලව්.හිතේ හයියයි මොළේ හයියයි දෙකම තියෙන්න ඕන දෙයක්.මාත් ඉලංදාරි කාලේ ඉගෙන ගත්තා විතරක් නෙවෙයි.හත් දෙනෙක් පොළවේ ගහල මරපු එකෙක්”

නායක හිමියන් රහසක් එළි කළේය.සාමනේර නම බියට පත් වනු පතිරාජට පෙනිණ.

“නිකං මිනිස්සු නෙවෙයි. පොළොන්නරුවේ පන්සල කඩන්න ආපු සොලී.ඒවාට පව් නෑ බොලව්.ඒවාට පව් නෑ.අපේ රට,අපේ වෙහෙර විහාර,අපේ ගොවිතැන් බත්,අපේ වැව් පොකුණු විනාශ කරන මේ පරදේශක්කාර හැති කරය පන්නා දමන්න විජයබා රජ්ජුරුවන් ගෙන යන සටනට අපි එක් වෙන්න ඕනෑ බොලව්.ලබන පෝයට අපේ ගමෙනුත් හත් දෙනෙක් චතුරංගනී සේනාවට තෝරා ගන්න එනවා ‘.

පිරිස මියට පිම්බා වැනි විය.වෙනදා සාන්තව බණ දෙසන නායක හිමිපාණන් අද කතා කරන්නේ ඒ ස්වරයෙන් නොවේ.ඒ හඬ තියුණුය.එය තම හදවත් සිසාරා ගොස් ඇට මිදුලුවලටම කා වදිනු ගැමියන්ට දැනිණ. නායක හිමිපාණන් පැවසුවේ රාජ පුරුෂයා පැවසිය යුතු දේය.එහෙත් එය එලෙස උන් වහන්සේ මුවින් පැවසීම ගැන පතිරාජ සතුටු වූවේය.ඒ ඇසූ සැනින් අප්පුවාට වෙනත් කටයුත්තක් නොමැති තරම් විය.ඔහු නින්දේ ද දුටුවේ යුද්ධයට යන හැටිය.රට බේරා ගන්නට නම් යුද්ධයට යා යුතුය.එසේ යන්නට ලැබෙන්නේ පිනැත්තන්ට පමණකි.යුද්ධයේ දී මිය යතොත් සුර ලොවය. ජීවත් වුව හොත් මව්බිමය. ඒ දෙලොවම දෙව් ලොව හා සමානය.

දිනෙන් දින කාලය එළැඹිණ.චතුරාංගනී සේනාවට බඳවා ගන්නා දිනය එළැඹිණ.මුළු ගමම එතැනට රොක් විණ.අප්පුවා සිටියේ ද තමන් වාරය එනතුරුය. ඔහු මල්ලව පොරයේ දී ප්‍රති මල්ලවයන් අල්ලා පොළවේ ගැසුවේය.අප්පුවා දෙස බලා සිටියේ ගමරාළගේ දියනියන් පමනක් නොවේ .බොහෝ යුවතියන් ද ඔහු දෙස බලා උන්නේය. අන්තිමට සත් දෙනා තෝරා ගැනීමේ අවස්ථාව පතිරාජට පැවරිණ. ඔහු එකිනෙකා තෝරා ගත්තේය.ඒ හැම විටම තෝරා ගැනීමේ දීම අප්පුවා ඉදිරියට එන්නට තැත් කළේය.එහෙත් තෝරා ගැනුණේ අනිකෙකි.අප්පුවාව තෝරා ගැනීම අනිවාර්ය වනු ඇතැයි සැක කළ ගැමියන් පවා හෙමින් කොඳුරන්නට විය. එහෙත් රාජ පුරුෂයාට ඇති බිය නිසාම ඔවුහු හඬ පිට නොකළහ.සය වැන්නාත් තෝරා ගෙන අවසන්ය.ඉතිරිව ඇත්තේ එක් අයෙකි. නායක හිමිපානන් පතිරාජට අප්පුවා පෙන්වූයේය. එහෙත් ඔහු එදෙස හිස ඔසවා බැලුවා විනා එය ගණනකට ගත් වගක් පළ කළේ නැත.

“තව එක්කෙනයි”

අප්පුවා හීන් සීරුවේ ගමරාළට කෙඳුරුවේය.ගමරාළ අප්පුවාගේ හිස අත ගෑවේය.පතිරාජ අප්පුවා දෙස නොබලා ඉදිරියට ගියේය. සාමනේර හිමි නම ළඟ නතර වූයේය. ඒ පෙර දවසක නායක හිමි නමට හොරෙන් පුහුණුවට වැඩි හිමියන්ය.

“මුන්නාන්සෙත් හොඳයි.නමුත් චීවරයක් දරා ගෙන බෑ.’

පතිරාජ පැවසුවේය.

සාමනේර හිමියන් උන් තැනින් නැඟිට්ටේය.අනතුරුව නායක හිමියන් ළඟට වැඩි උන් වහන්සේ දණ ගසා වැන්දේය.

‘අවසර.මම සටනට යනවා.මේ රට කියන්නේ මගේ අම්මා.අම්මා නිදහස් කර ගන්නට මම ජීවිතය දෙනවා.අම්මා බේරා ගත්ත දවසට මම ජීවත් ව සිටියොත් අපේ හාමුදුරුවනේ ආපහු සසුන් ගත වෙන්න මට අවසරයි”

සාමනේර හිමිපානන් සිය සිවුර ගලවා ගන්නට සැරසිණ.නායක හිමිපානන් ගේ ඇසට කඳුළක් උපන්නේය.එහෙත් ඒ බැව් නොපෙන්වා ඉන්නට උන් වහන්සේ සමත් විය.

‘දුටුගැමුණු රජ්ජුරුවන්ගේ මහ සෙනෙවියෙක් තමා ථෙරපුත්තාභය.උන් වහන්සේත් එහෙමයි.ඉතින් අවසර තියෙනවා”

නාහිමියන් පැවසුවෙන් සාමනේර හිමි පානන් යළිත් දොහොත් මුදුන් දී වැඳ වැටුණේය. එය දුටු ගැමියන් මහ හඬින් සාදු කර දුන්හ. තෝරා නොගත් ඇතැමෙකුගේ රුධිරය උණු වනු දැනිණ.තෝරා ගත්තන් ගේ මව්වරුන් සතුටින් ඉකි බින්දාහ. තම පුතු රට වෙනුවෙන් පුද කිරීම මහත් පිනක්ය ඒ අම්මාවරුනට සිතිණ. එය හැම මවකටම කළ හැකි පිනක් නොවේ. ඉතිහාසයේ එබඳු මව්වරු හැමදාම මෙම පින්බිමෙහි සිටි වග අම්මාමවරු දැන උන්හ.

අප්පුවාගේ නොසන්සුන් කම ගමරාළට දැනිණ.ඔහු අප්පුවා නතර කරන්නට වෙර දැරුවේය.සිරිමල් එතනා අප්පුවාගේ අතින් ඇද්දාය. එහෙත් ඇගේ අත ගසා දැමූ අප්පුවා රාජ පුරුෂයා සමීපයට ගියේය.

“ආයුබෝවන්ඩ මං කැමතියි.අපේ රට වෙනුවෙන්”

පතිරාජ අප්පුවාගේ කතාව නතර කරන්නට සං කළේය.

‘අවශ්‍ය හත්දෙනා තෝරා ගෙන ඉවරයි.”

පතිරාජ එක් වරම පැවසුවේය.

‘සමාවෙන්ඩ හාමුදුරුවනේ”

අප්පුවා අභියාචනයක් කරන්නට සැරසුණි.

“රාජ පුරුෂයාගේ තීරණය අවසාන තීරණයයි”

පතිරාජ තම අසු පිට නඟින්නට සැරසිණ.

‘මම හොඳ නැද්ද හාමුදුරුවනේ.”

අප්පුවාගේ හඬ ඉකි බිඳීන ස්වරයක් ගත්තේය.පතිරාජ අප්පුවා දෙසට නැමිණ.

“ඔබ හොඳයි. ඉතා හොඳයි.ඒක හින්දා තමයි තෝරා නොගත්තේ.”

“ඉතින් හොඳ නම්”

අප්පුවාගේ හඬ වඩා බැගෑපත් විය.පතිරාජ අසු ට සන් කළේය.

“’රාජ පුරුෂයාගේ තීරණය අවසාන තීරණයයි.ඔබ පරිස්සමින් ගෙදර යා යුතුයි”

ලබන සතියේ

ඌට රජ වෙලා උල තියන්ඩ කියාපිය