වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ඩෙංගු රෝගයෙන් මෙලොව හැරගිය රිකීට ආදරණීය තාත්තා සුනිල් ටී. ප්‍රනාන්දුගෙන් සංවේදී ඇමතුමක්

ඩෙංගු රෝගයෙන් මෙලොව හැරගිය රිකීට ආදරණීය තාත්තා සුනිල් ටී. ප්‍රනාන්දුගෙන් සංවේදී ඇමතුමක්

පුතෙක් වෙනුවෙන් ධවල මන්දිරයක්

ආදරණීය රිකී, ඔයා අපෙන් වෙන්වෙලා ගිහින් මේ ජූලි 20 වැනිදාට අවුරුදු තුනක් පිරෙනවා. ඒත් ඔයා ගැන මතකය තවමත් අපේ සිත්වලින් ගිලිහිලා නෑ. රත්තරං පුතේ, මට හිතෙන්නේ ඔයා තවම අපිත් එක්ක ජීවත් වෙනවා කියලයි. නිවෙසේ හිටියත්, කාර්යාලයට ගියත් මට ඒ හැම තැනකම පේන්නේ පුතාගේ ඔය සුදු මුහුණ. ඒක ‘සිහිනයක්’ වුණත්, ඒ සිහිනෙන් මිදෙන්න මට බැහැ රිකී පුතේ.

අපේ ආගමේ හැටියට මට හිතෙන්නෙ දෙවියන් වහන්සේ ඔයාව, එයා ළඟට ගන්න ඇති. මේ මිනිස් පුරයට වඩා දෙව්ලොව ඔයාට වඩාත් හොඳයි කියලා දෙවියන් වහන්සේ හිතන්න ඇති. කොහොම වුණත් ඔයා හොඳ තැනක ඉන්නවා කියලා මං දන්නවා. ඒ ඔයා පින්වත් දරුවෙක් නිසා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒකනම් මම දුක් වෙන්නේ නෑ පුතේ. මොකද ඔයාවයි, නංගිවයි දෙන්නම මට දුන්නේ දෙවියන් වහන්සේමනේ.

ඔයාගේ මහප්පත් මේ ළඟදි අපෙන් වෙන්වෙලා ගියා. එයාගේ දේහය තැන්පත් කළේත් ඔයා ගාවමයි. මොකද මහප්පා ඉල්ලීමක් කරලා තිබුණා ඔයා ඉන්න තැනම එයාවත් මිහිදන් කරන්න කියලා. පුතාට, මහප්පි මුණ ගැහුණාද..? දැන් ඔයාට තනියක් නැතුව ඇති.

මේ ලෝකේ කිසිම දෙයක් ස්ථිර නෑ කියන පරම සත්‍යය මම වටහා ගත්තේ ඔයා අපිව දාලා ගිය දවසේ. මිල, මුදල්, වත්පොහොසත්කම් කොයිතරම් තිබුණත් ඒ කිසිම දෙයක් අපට අයිති නෑ. රිකී පුතා නෙවෙයි, මට මාවත් අයිති නෑ. දෙවියන් වහන්සේ අඬ ගැහුවොත් එදාට අපි හැමෝටම යන්න වෙනවා.

අම්මා තාමත් ඉන්නේ හැඬූ කඳුළින්, හැමවෙලාවෙම එයා පුතා ගැන මතක් කරනවා. තාත්තටත් වැඩිය පුතා ගැන දුක් වෙන්නේ ඔයාගේ අම්මා. අම්මා ගොඩක් වෙලාවට ගෙදරම ඉන්න නිසා ඔයා ගැන නිතරම එයාට කල්පනා වෙනවා ඇති. තාත්තා ගොඩක් කාර්ය බහුල ජීවිතයක් ගත කරන නිසා හිතේ දුක යන්තමින් හරි තුනී වෙනවා.

වෙලාවකට හිතෙනවා ‘ජීවිතය’ ලොකු මායාවක් කියලා. අපි එනවා දන්නේ නෑ. යනවා දන්නේ නෑ. ඒත් ජීවිතේ කවදාහරි දවසක මේ සේරම දාලා හිස් අතින්ම අපිට යන්න වෙනවා. ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන් ජීවත්වෙන මිනිස්සු මේ ගැන හිතන්නෙ නැතුව ඇති. මේ සේරම අපි ඉන්නකල් විතරයි.

පුතේ ඔයාගේ පොත්,පත්, පරිගණකය, බයිසිකලය, සෙල්ලම් බඩු තාම ඒ තිබුණ තැන්වලමයි. ඔයාගේ කාමරයට ගියාම අදත් දැනෙන්නේ ඔයාගේ සුවඳ. ලොකු කල්පනාවකට මැදි වෙලා ‘කම්පියුටර් ගේම්’ එකක් සෙල්ලම් කරන ඔයාගේ සුදු මුහුණ ඒ වෙලාවට මට මැවිලා පේනවා.

ඔයාගේ ආදරණීය නංගී, ඔයාට ආදරේට කතා කළේ ‘සුදු පූසා’කියලා. රිකීට මතකයි නේද? නංගී වැඩිය කතා කරන කෙනෙක් නෙවේ, ඔයා දන්නවනේ.ඒත් එයාගේ හිතට ඔයා නැති අඩුව ගොඩක් දැනෙනවා කියලා අපට තේරෙනවා. එයා ඒ ‘දුක’ හිතේ තියාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. නංගි තාම හොයනවා ඇති එයාගේ ‘සුදු පූසා’ කෝ කියලා.

පුතා දන්නවද මම ‘දරුවනේ’ චිත්‍රපටය නිෂ්පාදනය කළේ පුතා වෙනුවෙන්. ඒ කතාව මම ලිව්වෙත් පුතා පාදක කරගෙන. ‘රිකී’ කියන චරිතයත් ගොඩනැගුණේ ඔයා වෙනුවෙන් පුතේ, ඒ චිත්‍රපටයට සමාජයෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා ගොඩ දෙනෙක් ඒ අයගේ අම්මලා, තාත්තලා එක්ක ‘දරුවනේ’ චිත්‍රපටය නැරඹුවා. ඒ හැමෝගෙම හදවත්වල අදටත් ‘රිකී’ ජීවත් වෙනවා ඇති.

‘දරුවනේ’ චිත්‍රපටය ආදායම් අතිනුත් ගොඩක් සරු වුණා. ඒ ලැබුණු මුදලින් අපි අලුත් නිවෙසක් මිල දී ගත්තා. බොල්ගොඩ ගඟ අද්දර හරිම සුන්දර, නිස්කලංක පරිසරයක තමයි ඒ නිවෙස පිහිටා තියෙන්නේ. තාත්තා නිෂ්පාදනය කරන ‘සිනහව අතරින්’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් රූගත කළේත් ඒ නිවෙසේ. පුතාව සිහිපත් වෙන්න ‘රිකී’ස් වයිට් හවුස්’ කියලයි අපි ඒ නිවෙසට නම තිබ්බේ. ‘දරුවනේ’ චිත්‍රපටය මේ තරම් සාර්ථක වුණේ පුතාගේ ආශීර්වාදය නිසයි කියලා මට හිතෙනවා. එක දිගට අලුත් චිත්‍රපට කිහිපයක්ම මම නිෂ්පාදනය කළා. ඒ අතරින් ‘දෝණි’ චිත්‍රපටය මම හැදුවේ ඔයයි නංගියි වගේ මේ රටේ ජීවත්වෙන දූලා, පුතාලා වෙනුවෙන්. සමාජයට යම් පණිවිඩයක්, ආදර්ශයක් දෙන්න පුළුවන් හොඳ චිත්‍රපට විතරයි ආයෙත් තාත්තා හදන්නේ. ඒ ‘පාඩම’ මට කියලා දුන්නේ ඔයා.

පුතා අපිව දාලා ගියේ එහෙම ජීවිතයෙන් සමුගන්න ඕනෑ වෙලාවක නෙවෙයි. ඔයා අකලට පරවුණ මලක්. මල් කැකුළක්. ඔයා අපෙන් වෙන්වෙලා යනකොට ඔයාට වයස අවුරුදු දහයයි. අද හිටියානම් ඔයාට වයස අවුරුදු දහතුනක්. පුතා අපිට අහිමි වුණේ ඩෙංගු රෝගය නිසා. මේ මාරාන්තික උවදුර අපේ රටෙන් දුරු කරන්න තාමත් බැරි වෙලා තියෙනවා පුතේ. ඔයා වගේ අහිංසක තවත් මල් කැකුළු ගොඩක් අකාලේ පරවෙලා ගියා. හෙටත් ඒ මල් කැකුළු මිලාන වේවි. ඒත් තාමත් ඩෙංගු මාරයා පරදවන්න කාටත් බැරි වෙලා තියෙනවා. එහෙම අවශ්‍යතාවක් නැති විදිහටයි සමහරු කටයුතු කරන්නේ. ඔයාගේ නාමයෙන් මම වගකිව යුතු හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා මේ ජාතික උවදුරෙන් අපේ ළමා පරපුර වගේම වැඩිහිටි කොයි කවුරුත් බේරා දෙන්න කියලා. පුළුවන් හැම දෙයක්ම මමත් ඒ වෙනුවෙන් කරනවා.

අපේ ආගමේ හැටියට නැවත ඉපදීමක් නැති බව පුතා සමහර විට දන්නේ නැතුව ඇති. ඒ නිසා ඔයාවත්, මාවත් අපි කවුරුවත් ආයේ කිසිම දවසක මේ ලෝකෙ එකට මුණ ගැහෙන එකක් නෑ. එහෙම අපි ආයේ මුණ ගැහෙනවානම් ඒකට මම තරම් සතුටු වෙන කෙනෙකුත් නැහැ පුතේ. ඒත් මම දන්න විදිහට, අපේ ආගමේ උගන්වන විදිහට එහෙම වෙන්නේ නෑ. දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ඒකනම් අපි ඒකට ඉඩ දෙමු.

මේ 20 වැනි දා උදේ 6.15 ට මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ අපි ඔයා වෙනුවෙන් පූජාවක් පවත්වනවා. ඊට පස්සේ ඔයා සිහිපත් කරලා ළමා නිවාස කිහිපයක දානමය කටයුතු සිදුකරනවා. පුතා වෙනුවෙන් අපට කරන්න පුළුවන් හැමදේම අපි කරනවා. ඒත් ඔයා අපේ ළඟට කවදාවත් එන්නේ නෑ කියලා අපි දන්නවා. මේ ලෝකෙ මට හමු වූ ලොකුම වස්තුවත්, අහිමි වූ ලොකුම වස්තුවත් ඔයා. එක කාලෙක ජීවිතයේ ලොකුම සතුට, සහනය, බලාපොරොත්තුව මගේ ලෝකයට අරගෙන ආපු ඔයා, ඒ සුන්දර ලෝකයෙන් නික්ම ගියේ පුංචි කඳුළු බිංදුවක් වගේ. ඒත් පුතේ හැමදාම, මගේ පන නල රැඳී තිබෙන තුරු ඔයා මගේමයි. මගේ රත්තරං පුතා ඔයාමයි.

ඔයාට මොක් සුව...