වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

ප්‍රවීණ හා ජනපි‍්‍රය නළු නිළියන් රාශියක් රඟපෑ එකම සිංහල චිත්‍රපටය ‘සාගරයක් මැද’ චිත්‍රපටය යැයි කියා මට සිතේ. මෙය නිවැරැදිද යන්න දැන ගැනීමට කැමැත්තෙමි.

ධර්මා ඒකනායක – මාතලේ.

අපොයි නැහැනේ ධර්මා. ඒ වගේ චිත්‍රපට තව බොහොමයක් තියෙනවානේ.

සිංහල සිනමාවේ ප්‍රථම රහස් පරීක්‍ෂක කතාව කුමක්ද?

ඩඩ්ලි ගෝමස් - මොරටුව.

ශ්‍රී 296 චිත්‍රපටය.

ප්‍රවීණ රංගන ශිල්පිනී දමයන්ති ෆොන්සේකා ගේ ලිපිනය පළ කරනවාද?

දයාරත්න ගනේගොඩ – කැලණිය.

අංක 09, දෙවැනි පියවර, ජාතික නිවාස සංකීර්ණය, මත්තෙගොඩ.

දුලීකා මාරපන ප්‍රවීණ රංගන ශිල්පිනිය ගේ ලිපිනය පළ කරනවාද?

පාලක සමන් පෙරේරා - හැඳල.

අංක 37/5, උපනන්ද බටුගෙදර මාවත, චැපල් ලේන්, නුගේගොඩ.

සිනමාවේ ගාමිණී ෆොන්සේකා සමඟ කරට කර සටනට හුරු එච්. ඩී. කුලතුංග නොවේද?

ඊ. දයානන්ද ද සිල්වා - හික්කඩුව.

එච්. ඩී. කුලතුංගත් එසේ ගාමිණී සමඟ සටන් කළ එක් අයෙක්.

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, සිරිසේන විමලවීර යන සිනමාව වෙනුවෙන් කැප වී වැඩ කළ නිෂ්පාදකවරුන්ගේ චිත්‍රපට සංරක්‍ෂණයකර තිබේද? ඒවායෙහි ඩී. වී. ඩී. පිටපත් ලබාගත හැකිද?

ජයම්පතී නවරත්න – මාතලේ.

එසේ පෞද්ගලිකව හෝ ඒවා සංරක්‍ෂණයකර ඇත්තේ, තිස්ස නාගොඩවිතාන වගේ කෙනෙක් ළඟ පමණයි. මා දන්නා තරමින් ඒවායේ ඩී. වී. ඩී. නිකුත් වී නැහැ.

සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගයන ‘ආදරෙයි මම ආදරෙයි...දම්මි තවමත් ආදරෙයි’ ගීතය ලියුවේ ‘ගොළු හදවත’ නව කතාව ලියූ කරුණාසේන ජයලත් විසින්මද?

විමල් රණසිංහ - කොළඹ 14.

ඔව්, කරුණාසේන ජයලතුන් විසින්. ඒ ගීතයේ මුල් පද වෙන්නේ ‘නුහුරු නුපුරුදු රහස පිළිබඳ....මිහිර ආදරයයි කියා’ යනුවෙන් විමල්.

සිංහල චිත්‍රපට සඳහා සිනමා ශාලා 35 තිරගත කිරීම ගැන ඔබේ මතය දැනගැනීමට කැමැතියි.

ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව.

ප්‍රේක්‍ෂකයන් වූ අප සල්ලි වියදමි කරන්නේ විනෝදාස්වාදයක් උදෙසායි. ඒ නිසා ප්‍රේක්‍ෂකයෙක් වන මට පෞද්ගලිකව තිස්පහද, පනහද, දහයද නෙවෙයි ප්‍රශ්නෙ. අලුත් චිත්‍රපටයක්ද නැද්ද? අපි වියදම් කරන ගානට අපට වින්දනයක් ලැබෙනවාද කියන එකයි. හැබැයි එක පිටපතක්වත් නොදැම්මත් ප්‍රශ්නයක් නැත්තේ අපි වැඩි වශයෙන් චිත්‍රපට නරඹන්නේ සිනමා ශාලාවේ නොව ගෙදර ඉඳන්.

සිනමා ශාලාවක චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට ප්‍රථම ‘ශ්‍රී ලංකා ජාතික ගීය’ වාදනය කිරීම චිත්‍රපට සංස්ථාව මඟින් අනුමතකර තිබුණත්, කෑගල්ලේ සිනමා ශලාවල පමණක් එය ක්‍රියාත්මක නොවන්නට හේතුව මොකද කියා දෙන්නකෝ?

තිලකරත්න විල්වල – කෑගල්ල

හේතුව නම් දන්නේ නැහැ තිලක්. කොළඹ නගරයේ නම් එසේ කරන්නේ රීගල් ඇතුළු සිලෝන් තියටර්ස් සිනමා ශාලාවල පමණයි.

නයාදෝර්, මෝගල් ඉ අසාමි හින්දි චිත්‍රපට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරද්දී ‘කළු සුදු ලෙස තිරගත වුවත්, දැනට එම චිත්‍රපට ඩී. වී. ඩී. තැටි ලෙස වෙළෙඳපොළේ ඇත. ‘කළුසුදු’ චිත්‍රපට තාක්‍ෂණය මඟින් වර්ණගත කළ හැකිද?

ජේ. නවරත්න – රාහුල මාවත, මාගලේ.

වර්තමානයේ බොහෝ කළුසුදු චිත්‍රපට පරිගණකය ආශ්‍රයෙන් වර්ණගත කරනවා. මෙය මුලින්ම සිදුකළේ ඇමෙරිකාවේ. එහෙත් කලා කෘතිවල ඇති ඓතිහාසික ගුණ වෙනස් කිරීමක් ලෙස මෙය සමහරු හෙළා දකිනවා.

ඔබ චිත්‍රපට සංස්ථාවේ සභාපති තුමා නම් චිත්‍රපට පිටපත් 35 හා 55 ගැටලුවට විසඳුම් දෙන්නේ කොහොමද?

චාමර ප්‍රේමනාත් – පිළියන්දල, මිරිස්වත්ත.

දෙගොල්ලොම එකම ගෝනියකට දමා කාගන්න ඇරලා ඉතුරු වුණාම විසඳුමක් දෙනවා.

පැරැණි චිත්‍රපටවල බොහෝ ගීත හින්දි තනු අනුව රචනා කළ ගීතයි. එම ගීත රචනාකළ රචකයන් අතුරෙන් කරුණාරත්න අබේසේකර, හර්බට් එම්. සෙනෙවිරත්න, බෙනඩික්ට් ප්‍රනාන්දු, ඩී. ටී. ප්‍රනාන්දු, හියුගෝ ප්‍රනාන්දු යන අයගේ ගීත රචනා ගැන ඔබ දරන අදහස අපට කියන්න.

එල්. එම්. ප්‍රේමරත්න පෙරේරා, ඥානා කුමාරි – කළුබෝවිල.

මෙම ගීත අනුකාරක තනු අනුව සැකසුනත්, ගීත රචකයන් බොහෝ විට තමන්ගේ අනන්‍යතාව ගොඩනගාගෙන තියෙනවා. සමහර ගීතවලට නම් සක්ක ගසා තියෙනවා.......චප් චප් චප් - හර්දෙ නැත දුක් එම සක්ක ගහපු අවස්ථාවක්.

ඉන්දීය සිනමා වංශ කතාවේ පියා වශයෙන් හඳුන්වන්නේ ‘දාදා සහීබ් පාල්කේ’ යි. හෙළ සිනමා වංශ කතාවේ පුරෝගාමියා හෝ පියා කවරෙක්ද?

පොල් පෙරේරා - කුලියාපිටිය.

එහි වැඩි ගෞරවය ලැබිය යුත්තේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නටයි. එයට හේතුව අපේ රටේ ඉතිහාසය සොයාගෙන යද්දී ශාන්ති කුමාර් නොවන්නට නායගම් හෝ සිලෝන් තියටර්ස් හෝ චිත්‍රපට නිෂ්පාදනයට පෙළඹෙන්නේ නැත. මේ නිසා ඉතිහාසය ශාන්ති කුමාර්ව සඟවා තබනවා. ඉන්දියාවේ පාල්කේට ගෞරවය ලබා දුන්නත් සිංහල සිනමාවට පියවරු කිහිපදෙනෙක් ඉන්නවා. එක් අයෙක් ශාන්ති කුමාර්, අනෙක් අය එස්. එම්. නායගම්, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩිනර් යන තිදෙනාටම එහි ගෞරවය ලබා දිය යුතුයි. අපේ සිනමාවට මෙහෙම වෙලා තියෙන්නේ තාත්තලා වැඩි නිසානේ.

නිළියන් බොහොමයක් සැලෝන් පමණක් අමතර ව්‍යාපාර විදියට ආරම්භ කරන්නේ ඇයි?

සුජාතා ගුණවර්ධන – කඩවත.

හැමෝම නෙවේ සුජාතා. සමහරු හොඳින්ම දන්නේ අන්දන ක්‍රමය නිසා.

ඒ. අර්දේයර්, එම්. අයිරානි නිර්මාණය කළ ‘අලම් අරා’ චිත්‍රපටයේ පිටපත තිබෙනවාද?

සරත් රණසිංහ – මාළිඳ.

පිටපත් නැහැ.

හිතවත් අර්ජුන්,

අප සතිපතා සරසවිය පුවත්පත මිල දී ගන්නෙමු. අර්ජුන් ගේ පැන විසඳුම් සඳහා අප තැපැල්පත් මඟින් පැන යොමු කළෙමු. නමුත් ඒ කිසිවක් පළ වූයේ නැත. මින් ඉදිරියටවත් අප එවන තැපැල්පත්වල ඇති පැනයක් දෙකක් හෝ පළ කරන්න.

මල්කෝනෙන් – ජයලත්.

ඉතින් ප්‍රශ්නයක් අහන්න.

සටන් නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපට මොනවාද?

වික්ටර් පල්ලියමුල්ල – හැඳල.

ඇගේ ආදර කතාව, සරදියෙල්ගේ පුතා, ශ්‍රී මධාරා ඇතුළු චිත්‍රපටවල ඇලෙක්ස් ප්‍රධාන චරිත රඟපෑවා.

සිනමාවේ අමරණීය පෙම්වතා වූ විජය කුමාරණතුංග ‘මධුසමය, කැඩපතක ඡායා’ යන චිත්‍රපටවල විශිෂ්ට රංගනයකත් තවත් සිහින කුමරෙක්ව සිටි සනත් ගුණතිලක ‘සිසිල ගිනි ගනී, විරාගය’ වැනි චිත්‍රපටවල දක්‍ෂ රංගනයකත් යෙදුනත්, රන්ජන් රාමනායක තවමත් වාණිජ සිනමාවට පමණක් කොටුවෙලා ඉන්නේ ඇයි අර්ජුන්.

කරු මන්දාවල – නාත්තන්ඩිය.

රන්ජන් දක්‍ෂ නළුවෙක් බව පෙන් වූ අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් පිට ගම්කාරයෝ ටෙලි නාට්‍යය. අනික දුවට මවක මිස චිත්‍රපටය මතක නැද්ද කරු.