ආචාර්ය ලයනල් එදිරිසිංහයන්ගේ අවසන් ගෝලයා මම
ආචාර්ය ලයනල් එදිරිසිංහයන්ගේ
අවසන් ගෝලයා මම
ප්‍රවීණ ගායන ශිල්පී
විශාරද බණ්ඩාර අතාවුද කියයි
‘රුවන් තාරකා’ නරඹන්න
20 වැනිදා
මියුසියස් රඟහලට එන්න
‘රුවන් තාරකා
නුවන් පායලා
හිඳින් හදවතේ රැඳී
වේදනා නිවා . . .’
සැබැවින්ම ඒ මියුරු ගී හඬ හෙළ ගී අඹර පහන් කළ රුවන් තාරකාවක් මෙනි. හදවතේ වේදනා
නිවා සනහා ලූ ඒ රන් ස්වරය ගීත ලෝලී සහෘද සන්තානයේ ලැගුම් ගෙන ඇත්තේ සදාතනික
සෙනෙහසිනි.
‘සිතිවිලි සිර වී හදවත පතුලේ
ඉකි බිඳ වැලපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා’
ප්‍රේමයේ සංතාප වේදනාවෙන් අබියස සුසංවේදී වූ ඒ මෘදු ස්වරය වරෙක එසේ ගීතවත් වූයේ
වැලපෙන පෙම් සිතක කඳුළට තනි රකිමිනි.
මේ සොඳුරු ගායන ශිල්පියා අනිකකු නොව විශාරද බණ්ඩාර අතාවුදයන්ය. ඔහුගේ සිව් දශකයක
ස්වර්ණ ගායනා සමඟින් ‘රුවන් තාරකා’ ගී ප්‍රසංගය හා ‘දහසක් පිපි මල්’ ගීත එකතුව මෙම
20 වැනිදා රාත්‍රී 7.00 ට කොළඹ මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී එළි දකියි. මේ
කතාබහේ නිමිත්ත එයයි.
‘සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ
නිදන නෙත් යුග සනසනා . . .’
ඒ සිහිනයෙන් අවදිව බණ්ඩාර අතාවුදයන් සහෘද ඔබ හමුවේ ගී ගයන්නට පැමිණෙන පුවත පවා ඔබේ
හදවතට මහත් ආනන්දනීය හැඟීමක් දනවන බව නොකිවමනාය. සුවහසක් ගී මල් විකසිත වෙන ඒ
සොඳුරු රැයට පෙරාතුව බණ්ඩාරයන් මා හා මේ කතාබහට එක් වූයේ මෙතෙක් ආ ගමන් මඟ දෙස
විමසුම් නෙත් හෙළන්නටය.
මම ඉපදුණේ මහනුවර, අංකුඹුර කියන ගමේ. මගේ පියා විදුහල්පතිවරයෙක්. මව ගුරුවරියක්.
අපේ පවුලේ මාත් එක්ක සහෝදරයන් තුන් දෙනයි. සහෝදරියන් තුන්දෙනයි. මට මතක් වෙන්නේ මගේ
පුංචිම කාලේ. ඒ කියන්නේ අවුරුදු හයක්, හතක් විතර කාලෙදි මට මතකයි අපේ පියා ඒ පාසලේ
ගුරුවරුත් එක්ක විවේක වේලාවන්වල සර්පිනාවක් වාදනය කරමින් පැරැණි ගී ගායනා කරනවා.
‘මුනි නන්දන සිරිපාද වඳිම්’, ‘සිරිබුද්ධ ගයා’ වගේ ගීත. තාත්තා ගාව පුංචි
සර්පිනාවකුත් තිබුණා. ඉතිං ඕවා තමයි මුලින්ම මගේ කනට වැටුණේ.
බණ්ඩාරයන් මතක මං පෙත දිගේ එසේ ඇවිද යන්නේ සොම්නස් සහගත හැඟීමකින් යුතුවය. මම
නිසොල්මන්ව ඒ අතීතාවලෝකනයට ඉඩහසර විවර කර දෙමි.
ඒ කාලේ ගුරුවරු මේ අද වගේ නෙවෙයිනේ. බොහෝ දේවල් දැන කියාගත් උදවිය. සාහිත්‍ය, කලාව,
සංගීතය විතරක් නෙවේ වඩු වැඩ වගේ දේවල් ගැන පවා ඔවුන්ට ප්‍රාමාණික දැනුමක් තිබුණා. ඒ
කාලේ බිබිල සේනාපතිය විද්‍යාලයේ තමයි පියා සේවය කළේ. හරිම සුන්දර පළාතක්. අපි කැලැ
මැදින් ගිහිල්ලා දිය ඇලිවලින් නානවා. මට තාම මතකයි. අවුරුදු කිහිපයකට පස්සේ
තාත්තටයි, අම්මටයි දෙන්නටම මාරුවක් ලැබෙනවා මහනුවර අංකුඹුර විද්‍යාලයට. අපි සේරම
නුවර එනවා. ඒ විදුහලට මුලින්ම ආ සංගීත ගුරුවරයා තමයි කේ. සී. ලියනගේ. එතුමා මගේ
මුල්ම සංගීත ගුරුවරයා.
පාසලේ ඔබ වඩාත් දක්ෂතා පෙන්නුවේ මම හිතන්නේ සංගීත විෂයයට?
ඒ කාලේ පන්ති තිබුණේ උදෙයි හවසයි දෙකේම. මම ගියේ හවස පංතියට. මට මතකයි උදේ වරුවේ
ලියනගේ සර් ඇවිත් අපට සංගීතය උගන්නනවා. මම ඉගෙන ගත්තේ වයිලීනය. ගීත ගායනයටත් මගේ
දක්ෂතාවයක් තිබිලා තියෙනවා. ජන කවියක් ගායනා කරන්න දුන්නම මම ඒකේ තියෙන අර දේශීය ආර
ඉස්මතු වෙන විදිහට ආයාසයකින් තොරව ගායනා කරනවාලු. ඇත්තටම පසු කලෙක මගේ ගුරුතුමා
තමයි ඒවා කිව්වේ. ඉතිං පංතියෙන් පංතියට මාව එක් කරගෙන ගිහින් කවි ගායනා කරවලා
‘මෙන්න මේ වගේ ගයන්න කියලා අනෙක් ළමයින්ට කියනවා. ආරෝහණ අවරෝහණ ක්‍රමයට
ස.රි.ග.ම.ප.ධ.නි.ස එක සැරයලු කියන්න ඕනෑ. ඊට පස්සේ මම ඒක හරියටම ගායනා කරනවලු.
ඇත්තටම මට ඒ ගැන පැහැදිලි මතකයක් නෑ. මේ ළඟදී මම ගුරුතුමා බලන්න ගිය වෙලාවේ එතුමන්
ඒ අතීතය සිහිපත් කළා.
ගෙදරින් කැමැත්තක් තිබුණ ද මේ සංගීතය පැත්තට යොමු වෙනවාට?
නෑ, විශේෂයෙන්ම තාත්තගේ කැමැත්තක් තිබුණේ නෑ. නමුත් සංගීත ගුරුවරයා ගෙදරින් මගේ
කේන්දරය එහෙම ඉල්ලගෙන බලලා කිව්වලු මාව සංගීතය පැත්තට යොමු කරන්න කියලා. පියා ඇයි
කියලා ඇහුවාම ඔහු කිව්වලු ‘නෑ මේ ළමයා කවදා හරි කටෙන් වැඩක් ගන්න කෙනෙක් වෙනවා’
කියලා. සෞන්දර්ය පැත්තෙන් ඉහළටම යන කෙනෙක් කිව්වලු. එතුමාට ජ්‍යෙතිෂ්‍යය ගැනත් හොඳ
දැනුමක් තිබිලා තියෙනවා.
සංගීත ගුරුවරයාගේ මැදිහත්වීම මත බණ්ඩාරයන් හට පියාගේ ආශිර්වාදය හිමි වූවා පමණක් නොව
වයලීනයක් ද තෑගි වශයෙන් ලැබිණ. ඒ ගුරුවරයාගේ ඉල්ලීම මතය.
අනේ මන්දා මම බොහොම ඉක්මනට මේ වයලීනය වාදනය කරන්න ඉගෙන ගත්තා. සුළු කාලයකින් රාග
පහක්, හයක් වාදනය කිරීමේ හැකියාව මම ලබා ගත්තා. මුලින්ම අංකුඹුර මහා විද්‍යාලයේ
ප්‍රසංගයක් පැවැත්වූවේ ලියනගේ ගුරුතුමාගේ මූලිකත්වයෙන්. ඒ් ප්‍රසංගයට වයලීන් වාදනය
කරන්න මාවත් දායක කර ගත්තා.
බණ්ඩාරයන් සිය ද්විතීය අධ්‍යාපනය සඳහා යොමුවන්නේ නුගවෙල මහා විදුහල වෙතය. එහිදී ද
ඔහුගේ සංගීත අධ්‍යාපනයට ලැබෙන්නේ මහගු අත්වැලකි.
නුගවෙල විදුහලේදී මට මුණ ගැසුණ සංගීත ගුරුවරයා තමයි එම්. ඒ. ගණකාධාර. ඔහු ලයනල්
එදිරිසිංහ සූරීන්ගේ හොඳම ශිෂ්‍යයෙක්. ඒ කාලේ නුගවෙල මහා විද්‍යාලයේ හවසට සීයක්,
දෙසීයක් විතර සංගීතය පුහුණු වෙනවා. වයලීන් වාදනය කරනවා. නමුත් මේ ගුරුවරයා මට මොකක්
හරි ස්වර අභ්‍යාසයක් දීලා ඔන්න ඕක පුහුණු වෙලා එන්න කියනවා මිසක මොකුත් අලුත් දෙයක්
උගන් වන්නේ නෑ. මම එතකොට නැවතිලා හිටියේ වෙන නිවසක. අඬ අඬා ගෙදර ආපු දවස් මට මතකයි.
නමුත් ගුරුවරයා එදා බලලා තියෙන්නේ මෙයා මේ වැඩේ හරියට කරයිද, ශිල්පය හදාරන්න කැප
වෙයිද කියන එකයි. ඉස්සර ගුරුවරුන්ගේ එහෙම එකක් තිබුණනේ. පස්සේ මම එතුමාගේ හොඳම
ශිෂ්‍යයෙක් වුණා. මුළු පාසලෙන්ම හොඳම ශිෂ්‍යයා.
රජයේ සංගීත විද්‍යාලයට ඔබ ඇතුළත් වෙන්නේ කොයි අවධියේද?
1966 වසරේ පමණ. පියාට විස්තර කියලා මාව හේවුඩ් එකට රැගෙන යන්නේත් ගණකාධාර ගුරුතුමා.
මම පළමු වසරේ ඉන්දැද්දී මම දකිනවා මට ඉහළ පන්තිවල ඉන්න අද ක්ෂේත්‍රයේ දැවැන්තයෝ. මම
ලෝකය ගැන දැනගත්තේ ඇත්තෙන්ම හේවුඩ් ආයතනයේදී. සංගීත විෂයයෙන් කොපමණ දුරක් යන්න
පුළුවන්කම තියෙනවාද කියා මට අවබෝධ වුණේ සංගීත විද්‍යාලයේදී.
ඇත්තෙන්ම එය සෞන්දර්ය නිකේතනයක්?
ඔව්. වර්තමානයේ විශිෂ්ට සංගීත ශිල්පීන් රැසකගේ සංගීත ඥානය පෑදුණේ එතනින්. වික්ටර්
රත්නායක, සරත් දසනායක, සුජාතා අත්තනායක, අමිතා වැදිසිංහ, බර්ටි රණසිංහ, විජේරත්න
රණතුංග, අමරසිරි පීරිස්, මර්වින් පෙරේරා. ඒ අය මට වැඩිමහල්. ඒ අය කරන දේවල් අපි
බලාගෙන හිටියා. උදේට ඔවුන් කැන්ටින් එක ළඟ තාප්පය ළඟ ඉඳන් වයලීනය වාදනය කරනවා.
ඉතින් අපි ඕව බලාගෙන ඉන්නවා. නොටේෂන් පේපර් එකක් නැතිව මතකයෙන් එයාලා වාදනය කරන්නේ.
අපිත් ඒ වගේ වාදනය කරන්න ඕනෑයි කියලා හිතුණේ ඒ ලබපු ආභාසයෙන්.
වාදනය වගේම ගායනයත් ඔබ ප්‍රගුණ කළා?
අවුරුදු පහක් මම ගායනය සහ වාදනය හැදෑරුවා. ඒ අංශයන් දෙකෙන්ම මට විශාරද මට්ටමට එන්න
හැකියාව ලැබුණා. අවුරුද්දකට මාස තුනක් අපට නිවාඩු ලැබෙනවා. මගේ වයලීන ගුරුවරයා වුණේ
එස්. ඩී. ගුණසේන ද සිල්වා. වරක් එතුමා අපි දහ දෙනෙක් අරගෙන ඉන්දියාවේ ගියා. එතකොට
මට මතකයි දයාරත්න රණතුංග, අමරා රණතුංග, ආනන්ද ජයසිංහ වගේ අය ඒ පිරිසට ඇතුළත් වුණා.
මට එතකොට වයස අවුරුදු දහ අටක්, දහ නවයක් විතර ඇති. ඒ මාස තුනේදී අපි ඩිප්ලෝමා
පරීක්ෂණයකට පෙනී සිටිනවා. මම තමයි ඒ පරික්ෂණයෙන් මුළු භාත්ඛණ්ඩයෙන්ම පළමුවැනියා
වුණේ.
රජයේ සංගීත විද්‍යාලයේ එවකට විද්‍යාලයාධිපතිවරයාව සිටියේ ආචාර්ය ලයනල්
එදිරිසිංහයන්ය. බණ්ඩරා අතාවුදයන් එහි සිප් සතර හැදෑරූ වසර පහ පුරවටම නවාතැන්ගෙන
සිටියේ එතුමන්ගේ නිවහනේය.
ඇත්තෙන්ම එය මා ලද විශාල භාග්‍යයක්. ලයනල් එදිරිසිංහයන්, ගණකාධාර ගුරුවරයා මඟින් මා
හඳුනා ගත්තේ මට වයස අවුරුදු දහයේදී පමණ. එතුමා එදා ඉඳලාම මට හරි ආදරෙයි. ඒ ගෙදරම
ඉඳලා තමයි මම ශිල්පය හැදෑරුවේ. නිදහස් වෙලාවට එතුමන් මගේ කාමරයට ඇවිත් මගේ ඇඳ උඩ
ඉඳගෙන මට පාඩම් කියා දෙනවා. එතුමාගේ අන්තිම ගෝලයා වුණෙත් මම.
ඔය අතරේ ඔබ ගුවන් විදුලියේ ශාස්ත්‍රීය ගායන ශිල්පියකු හා වාදකයකු බවට පත් වෙනවා?
ඔව් . . . මහාචාර්ය දේවදර් ගේ ප්‍රධානත්වයෙන් ශාස්ත්‍රීය ගායන සහ වාදන පරීක්ෂණයක්
පැවැත්වුණා. එදා අමරදේවයන්, බී. වික්ටර් පෙරේරා, ශාන්ති ගීතදේව වැනි සංගීත
ශිල්පීනුත් ඊට පැමිණ සිටියා ඒ පරික්ෂණයට මුහුණ දෙන්න. එතනදි මම ඒ ග්‍රේඩ් ආර්ටිස්ට්
කෙනෙක් හැටියට සමත් වුණා. එතනින් පස්සේ තමයි මම ගුවන් විදුලියට ශාස්ත්‍රීය ගායන
ශිල්පියකු හා වාද්‍ය ශිල්පියකු ලෙස සම්බන්ධ වෙන්නේ.
ඔබ ‘සරල ගී’ ශිල්පියකු බවට පත්වෙන්නේ ඊට පසුවයි?
1974 හෝ 1975 දී ගුවන් විදුලි සරල ගී ශිල්පීන් ශ්‍රේණිගත කළා. මමත් ඒ පරික්ෂණයට
පෙනී ඉඳලා ‘ඒ’ ශ්‍රේණීයේ ශිල්පියකු ලෙස සමත් වුණා. එයින් පසුව තමයි මම ගුවන්
විදුලිය හරහා රසිකයන් අතරට ගියේ. රසිකයෝ මාව හඳුනා ගත්තේ සහ මම ඔවුන් අතරේ
ජනපි‍්‍රයත්වයට පත්වුණේ ‘රුවන් තාරකා’ ගීතයෙන්. එය ලිව්වේ කුමාරදාස සපුතන්ත්‍රී.
සංගීතවත් කළේ රෝහණ වීරසිංහයන්. නමුත් ඊටත් පෙර ගුවන් විදුලියේ ‘නව පදමාලා’ කියන
සංගීත වැඩ සටහනින් තමයි මගේ හඬ අවදි වුණේ.
‘දහසක් පිපි මල්
අබියස ඇය ගැන
පවසන්නට ඇත දහසක් දේ
එනමුදු බිඳුවක සිතැඟි කියන්නට
ඇය ළඟ එවදන් පෙළ නොගැසේ’
ලූෂන් බුලත්සිංහල රචනා කළ, විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළ එම ගීය ද ‘නව පදමාලා’
තුළින් බිහි වූ බණ්ඩාරයන්ගේ එක් සාර්ථක ගීයකි. 20 වැනිදා එළිදකින ඔහුගේ නවතම
සංයුක්ත තැටිය නම් කොට ඇත්තේ ද ‘දහසක් පිපි මල්’ නමිනි.
බණ්ඩාර අතාවුද යනු ගීත මහා ගොඩක් ගැයූ ගායකයකු නොවේ. එනමුදු ඔහු ගැයූ සෑම ගීතයක්ම
රසික අවධානයට පාත්‍ර වූවා සේම අතිශයින්ම ජනප්‍රියත්වයට ද පත් විය. 1975 දී සරල ගී
ගායකයකු වූ බණ්ඩාර සිය කුලුඳුල් ගී එකතුව ‘රුවන් තාරකා’ සමඟ රසිකයන් අබිමුවට
පැමිණෙන්නේ 1989 වසෙර්ය.
වරින් වර ගුවන් විදුලි සරල ගී වැඩ සටහන් සඳහා මා ගැයූ ගීත කිහිපයක් සමඟ තමයි ‘රුවන්
තාරකා’ කැසට් පටය රසිකයන් හමුවට ගෙන ආවේ. ඒවා මම කැමැති වගේම මගේ රසිකයනුත් ප්‍රිය
කළ ගීත.
ඔබේ සෞන්දර්ය චාරිකාව දෙස විමසුම් නෙත් හෙළද්දී අපට පෙනෙන දෙයක් තමයි ඔබ බොහෝ
සෙමින් ගමනක් ඇවිත් තියෙන බව. එයට විශේෂ හේතුවකුත් ඇති?
මට ගුරුවරවයෙක් ලෙස කටයුතු කරන්න සිදු වුණේ නුවර ප්‍රදේශයේ. එකක් තමයි නුවර - කොළඹ
අතරේ තිබුණ දුරස්ථභාවය. නිතර, නිතර කොළඹ නොගියත් ගුවන් විදුලි සරල ගී වැඩ සටහන්
සඳහා ආරධනා ලැබුණාම මම ඒවට ගියේ බොහොම භක්තියකින්, ආදරයකින්. ඇත්තටම හැල්මේ දුවන්න
මට එදා ඉඳන් ඕනෑකමක් තිබුණෙත් නෑ. මා ලද සංගීත ඥානය ඉවහල් කරගෙන තමයි හැම තනුවක්ම
මම ගායනා කරලා තියෙන්නේ. ගැයූ ගීත සංඛ්‍යාත්මකව අල්ප වුණත් ඒවා බොහොම හොඳින් ගායනා
කළා කියන තෘප්තිමත් හැඟීම මට තියෙනවා. ඒ ඇති මට.
ගැයූ ගීත තරමටම මේ සමාජයේ ඔබගේ නම ඉස්මතු වුණේ නෑ කියා මම සිතනවා. ප්‍රසිද්ධිය,
ප්‍රචාරය හඹා නොගිය පුද්ගලයකු නිසා ද ඒ?
‘ප්‍රසිද්ධියක් මට ඕනෑ නෑ. මම ඔහේ සිංදු කියනවා’ එච්චරයි මගේ අදහස තිබුණේ. නමුත් මේ
වෙලාවේ මට කතා කරලා, දැන් ඔයා වගේ ගොඩක් පිරිසක් මාධ්‍ය මඟින් මට අනුග්‍රහය
දැක්වූවා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය දෙකෙන්ම. ඇත්තටම අසංක මම හිතන්නේ අපේ වැඩේ
හරියට අපි කළොත් අවශ්‍ය තැනදි ඒ අවශ්‍ය වැඩ ටික කෙරෙයි.
විශේෂයෙන්ම කතා කළ යුතුª දෙයක් තිබෙනවා. ඒ තමයි ඔබේ දැනුම, ඥානය නව පරපුරකට බෙදා
දෙමින් අභිනව සංගීත පරම්පරාවක් තනන්නට ඔබ ලබා දෙන අප්‍රමාණ දායකත්වය?
අවුරුදු දාහතරක් මම ගුරුවරයෙක් හැටියට ඉගැන්නුවා. මගේ මුල්ම පත්වීම ලැබුණේ මාතලේ
විජයපාල විද්‍යාලයට. අම්පාර වගේ ප්‍රදේශවලත් මම උගන්වලා තියෙනවා. ඉන් පසු ගිරාගම
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් විදිහට මම සේවය කළා අනුයුක්ත
කථිකාචාර්යවරයකු විදිහට. බොහොම කෙටි කාලයක්. පරිපාලනය පැත්තෙන් ඉදිරියට යන්න ඕනෑ
නම් මට කඩා බිඳගෙන එහෙම යන්න තිබුණා. ඒත් එදා ඉඳන්ම නිලතලවලට මගේ එච්චර කැමැත්තක්
තිබුණේ නෑ.
‘නිලය’ට වඩා ඔබ ‘රාජකාරිය’ට අවංක වූ පුද්ගලයෙක්?
ලංකාවේ විද්‍යා පීඨ ආරම්භ කලේ 1985 වසරේ. මමත් සංගීත කථිකාචාර්ය තනතුරකට අයදුම්
කළා. ඒ කාලේ මේ සංගීත ගුරුවන්ට උසස්වීම් හෙම තිබණෙ නෑ. මේ තනතුරට තෝරා ගන්න
අමාත්‍යාංශයේ පරීක්ෂණ පහක්, හයක් විතර තිබුණා. ලංකාවේ ඕනෑම තැනකට යන්න කැමැති ද
කියලා පරීක්ෂණ මණ්ඩලය මගෙන් ඇහුවා. මම කිව්වා ‘නෑ’ කියලා.
ඇයි එහෙම කිව්වේ?
මගේ ගම තියෙන්නේ නුවර. ඒ ප්‍රදේශයට කිට්ටුවෙන්ම තියෙන විද්‍යා පීඨයට පත්වීම දෙනවා
නම් යන්නම් කියලා මම කිව්වා. මට දුන්නා ඒක. වෙන කෙනෙක් නම් එහෙම කියන්නේ නෑනේ, අර
වගේ තනතුරක් ලබා ගන්න ඕනෑ දේකට ‘හා’ කියනවා. මම අධ්‍යාපන ක්ෂේත්‍රයේ හොඳටම වැඩ කරපු
කෙනෙක්. ඒකයි මම බය නැතිව අරහෙම කිව්වේ. අර නිලයට වඩා මට ඕනෑ වුණේ වෘත්තීය ගරුත්වය
රැකගෙන රැකියාව කරන්න. ඉතින් 1985 අවුරුද්දේ ඉඳන් 2008 වසරේ විශ්‍රාම යනතෙක් මම
පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ සංගීතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්යවරයකු විදිහට සේවය කළා.
නමුත් අදටත් ඔබ, ඒ සේවාව වෙනත් අයුරකින් ලබා දෙනවා?
වර්තමානයේ මම පේරාදෙණිය සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු විදිහට
සේවය කරනවා.
කලකට පෙරාතුව අපේ රටේ ගායක, ගායිකාවන් බිහි වුණේ රජයේ සංගීත විද්‍යාලය හරහා එහෙම
නැතිනම් භාත්කණ්ඩේ, ශාන්ති නිකේතනය වැනි විශ්ව විද්‍යාල හරහා. එසේ නොමැති නම් ජාතික
ගුවන් විදුලියෙන්?
ඔව්.
නමුත් අද වන විට ගායක, ගායිකාවන් බිහි වෙන්නේ සුපර් ස්ටාර් තරගවලින්. ප්‍රවීණ
සංගීත ආචාර්යවරයකු ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?
අද ඉන්න පරම්පරාව බලන්නේ ඉක්මන් ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය. ගායකයෙක් වෙලා මුදල්
හම්බ කිරීමේ පරමාර්ථය ඔවුන් වැඩි දෙනා ළඟ තියෙන්නේ. ඇත්තෙන්ම මම සංගීතය ඉගෙන ගන්න
කොට මම යන්නේ කොහාට ද කියා ඉලක්කයක්, අරමුණක් මගේ තිබුණේ නෑ. මගේ තිබුණේ විෂයය
හොඳටම ප්‍රගුණ කරනවාය කියන අදහස. මම දවසකට පැය අටක්, දහයක් වගේ කාලයක් අභ්‍යාස කරපු
පුද්ගලයෙක්. ඉතින් දැන් ඉන්න සංගීතය හදාරන අය පවා එහෙම අභ්‍යාසයෙන් තොරයි.
නමුත් තරුණ පරපුරේ දක්ෂයන් සිටිනවා?
ඒක ඇත්ත. මොකද පරම්පරාවෙන් පරම්පරාවට බුද්ධිය වැඩි වෙනවායි කියනවානේ. දක්ෂයෝ
ඉන්නවා. නමුත් ඔවුන් බලන්නේ ඉක්මනින් ප්‍රසිද්ධ වෙන්න. මොනවා හරි ගයනවා. භාෂාවේ හෝ
තනුවේ හෝ විවිධත්වයක් නෑ. අපූර්වත්වයක් නෑ. තමාගේ කියලා අනන්‍යතාවක් නෑ. ඒ මගේ
පෞද්ගලික අදහස.
තත්පර කටුව, මිනිත්තු එකිනෙක පසු කරමින් වේගයෙන් පියා සලන්නේ අප සොඳුරු කතාබහට
හෝරාවකටත් වැඩි කාලයක් ගතව ඇති බව මතක් කර දෙමිනි. බණ්ඩාරයන් සමඟ බොහෝ දෑ කතාබහ කළ
ද තවත් බොහෝ දෑ ඔහු හා බෙදා හදා ගන්නට ඇතැයි මට සිතේ. එහෙත් අකැමැත්තෙන් වුව ඊට
විරාමය තැබිය යුතුව ඇත.
‘ප්‍රේමයේ රුදු වේදනා
ගින්නේ දැවී තියෙනා පැයේ
මා හෙළූ කඳුළක් ලෙසින් ඔබ
ඇයි මගෙන් වෙන් වී ගියේ’
කුමාරදාස සපුතන්ත්‍රි ලියූ මේ ගේය පද සංකල්පනාවට මියුර සත්සර නද මුසු කොට ඇත්තේ
රෝහණ වීරසිංහයන්ය. බණ්ඩාර අතාවුදයෝ සිය නවතම සංගීත තැටියට මේ මියුරු ගීය ද එක්කර
ඇත.
මේ 20 වැනිදා ‘රුවන් තාරකා’ ගී ප්‍රසංගගයේදී මගේ පැරැණි ජනප්‍රිය ගීත සහ අලුත් ඛ්.
ච්. එකේ ගීත කිහිපයකුත් ගායනා කරනවා. ඊට අමතරව මගේ කෙටි වයලීන වාදන අංගයකුත්
ඇතුළත්. ප්‍රසංගයට යුග ගායනයෙන් දායක වන්නේ නෙලූ අධිකාරි, නුවන් සලං අතාවුද සහ
බුද්ධික අතාවුද. ප්‍රවීණ සංගීතවේදී විශාරද රෝහණ ධර්මකීර්ති මෙම ප්‍රසංගයට සංගීත
අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා. රෝහණ මගේ සිතැඟි තේරුම් ගත් හොඳ මිත්‍රයෙක්. ‘රුවන්
තාරකා’ නිර්මාණ අධ්‍යක්ෂණය බන්දුල නානායක්කාරවසම්. ප්‍රසංග අධීක්ෂණය සුදත් ලක්මන්
රත්නායකගේ. ප්‍රවීණ නිිවේදක වසන්ත රෝහණ සහ නිශාන්ති සල්පිටිකෝරාළ ප්‍රසංගයේ විස්තර
කථනයට එක් වෙනවා. මගේ මල්ලී ජයන්ත අතාවුද තමයි මෙහි සංවිධාන කටයුතු මෙහෙයවමින් ඒ
අවශ්‍ය කටයුතුª සම්පාදනය කරන්නේ. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනෑ ඕමානයේ පදිංචි
ශ්‍රියා සුමනසේකර ප්‍රනාන්දු මහත්මිය. ඈ මගේ හොඳ රසිකාවක්. මේ ප්‍රසංගයේ අනුග්‍රාහක
දායකත්වය ඇගේ. මේ සියලු දෙනාටම බොහොමයක්ම ස්තුතිවන්ත වෙනවා. අවසන් වශයෙන් මගේ
ආදරණීය රසික සහෘදයන්ට මා සෙනෙහසින් ආරාධනා කරනවා එදාට මා සමඟ එක්වෙන්න කියා.
‘සඳවට තරු ගනිමු
රැයේ අපි හමු වී මේ අඳුරේ
කාත් කවුරුවත් නොදකින මොහොතේ
සිතින් සිනාවෙමු, සිර වි නෙතු කඳුළේ’
- අසංක දේවමිත්ර පෙරේරා
|