වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මානනීය පෝරිසාදයා පිරිවර සමඟ කතාබහක්

සම්මානනීය පෝරිසාදයා පිරිවර සමඟ කතාබහක්

මෙවර ශ්‍රී ලංකා යූත් ජාතික සම්මාන උළෙල උත්සවශ්‍රීයෙන් නිමාවට පත් වූයේ ‘පෝරිසාදයා’ හොඳම නාට්‍ය නිෂ්පාදනය කරමින්. ඒ වගේම ‘පෝරිසාදයා’ හි පපෝවා සහ සමීර්නොව් හොඳම නිළිය සහ හොඳම නළුවා ලෙසත් සම්මානනීය වුණා. අද අපේ කතා බහට එක්වෙන්නේ පපෝවා, සමීර්නොව් සහ ඒ දෙපොළ වේදිකාවට කැඳ වූ පෝරිසාදයා හි අධ්‍යක්ෂවරයායි.

සම්මානනීය වූ පෝරිසාදයා ගැන කියමින් මේ කතාබහ ආරම්භ කරමු?

මම මුලින්ම හැරුණේ නාට්‍ය අධ්‍යක්ෂ පාලිත අබේලාල් දෙසට.

මෙය මගේ පළමු දිගු නාට්‍ය නිර්මාණයයි. මෙය පරිවර්තන නාට්‍යයක්. ඇන්ටන් චෙකොෆ්ගේ ‘ද බූර්’ කෘතිය ඇසුරෙන් තිස්ස කාරියවසම් මහතාගේ පරිවර්තනයකට අනුව තමයි පෝරිසාදයා නාට්‍ය නිර්මාණය වුණේ. රුසියානු රදළ වැඩවසම් සමාජ ක්‍රමය හා එහි චරිත ගැන තමයි මේ තුළින් කතා කෙරෙන්නේ.

මෙය තුළින් ලාංකේය සමාජයට ඔබ දෙන්නට උත්සාහ කරන්නේ?

වර්තමානයේ අපේ සමජය තුළ පවා තවමත් යටත් විජිත ලක්ෂණ දකින්නට ලැබෙනවා. තරුණ පිරිස් පවා මෙවැනි ආකෘති යටතේ හිර වෙලා සිටින ගතියක් තියෙනවා. එතැනින් එහාට ජීවිතය විඳීන කාරණාව ගැන තමයි මෙයින් කතා කෙරෙන්නේ. නීති රීති යටතේ සිටින මිනිස නොව එතැනින් එහාට ප්‍රකෘති මිනිසා තමයි පෝරිසාදයා තුළින් මතු කරන්නේ.

‘පෝරිසාදයාට’ සම්මාන රැසක් හිමි වුණා?

ප්‍රථම නිර්මාණය සම්මාන කිහිපයක්ම දිනා ගැනීම විශාල සතුටක්. පෝරිසාදයා නාට්‍ය හොඳම නාට්‍ය නිෂ්පාදනයට හිමි සම්මානය හිමි වෙද්දී එහි පපෝවාගේ චරිතයට පණ දුන් රොනිකා චාමලී හොඳම නිළිය ලෙසත් සමීර්නොව් ගේ චරිතයට පණ පෙවූ සුනෙත් ශාන්තප්‍රිය හොඳම නළුවා ලෙසත් සම්මාන දිනා ගත්තා. ඊට අමතරව හොදම රංගාලෝතයට හිමි සම්මානයත් හිමි වුණා.

ඊට පස්සේ මම හැරුණේ පපෝවාට පණ දුන් ඇය රොනිකා චාමලී. මං කැමතියි මුලින්ම රොනිකා ගැන විස්තර දැනගන්න.

මම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට ආවේ මීට අවුරුදු දහයකට විතර කලින්. ඊට පෙර මම අධ්‍යාපනය ලැබූ ගම්පහ යශෝදරා බාලිකාවේ චිත්‍රාංගනී ගුරු මෑණියන් යටතේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. පසුව දිලිප් ඕකඳපොල සමඟ රදාවාන මහගමසේකර කලා කවයේ වීදි නාට්‍යවලට සම්බන්ධ වෙලා කටයුතු කළා. 2004 වසරේදී පරාක්‍රම නිරිඇල්ල, එච්. ඒ. පෙරේරා ප්‍රමුඛ ජනකරළිය නාට්‍ය කණ්ඩායමට එකතු වුණේ. එතැන පටන් මම පූර්ණකාලීනව නාට්‍ය කලාවට යොමු වෙලා සිටින්නේ.

‘පපෝවා’ ගැනත් කතා කළොත්?

පැපෝවා කියන්නේ වැන්දඹු කාන්තාවක්. ඒ චරිතය වෙනුවෙන් ටිකක් මහන්සි වෙන්න සිදු වුණා. සැහැල්ලුවෙන් එම චරිතයට ප්‍රවේශ වෙන්න අපහසු වුණා. පුහුණුවීම්වල මුල් කාලයේදී විවිධ ආකාරවලට රඟපාලා බැලුවා. මට ඒ චරිතය දැනෙන කල්ම මම පුහුණණුවීම් කළා. විශේෂයෙන් කාන්තාවක් මේ වගේ චරිතවලට මුහුණ දෙන්නේ කොහොමද? නාට්‍ය ආරම්භයේ සිට අවසානය දක්වා දෙබස් හැසිරවීම ආදී හැම දේ ගැනම සැළකිලිමත් වෙමින් නාට්‍යයෝජිත අවස්ථා ගොඩ නඟමින් චරිතය තුළ රැඳී සිටින්න මට සිදු වුණා. රංගනයට පැමිණි මුල් කාලයේ සිට පියවරෙන් පියවර මට ලැබුණ චරිත අතර පපෝවාගේ චරිතය අමාරු චරිතයක්. ඇත්තටම පපෝවා මට අභියෝගයක් වුණ චරිතයක් කිව්වොත් නිවැරැදියි.

නමුත් ඔබ ඒ අභියෝගය ජයග්‍රහණය කළා?

සම්මානයක් හිමි වේවි කියලා පුංචි බලාපොරොත්තුවක් තිබුණා. නාට්‍යය නැරැඹූ හැමෝම මගේ රංගනය අගය කළා. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි.

ීට පෙරත් අවස්ථා කිහිපයකදීම ඔබ ලැබූ සම්මාන ගැනත් සිහිපත් කළොත්?

2010 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ ‘මැටි කරත්තය’ නාට්‍යය වෙනුවෙන් හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි වුණා. 2011 වසරේ යෞවන සම්මාන උළෙලේ මම සහ සෙල්වරාජ් ලීලාවතී එකතු වෙලා නිර්මාණය කළ ‘පයනිහල්’ දමිල නාට්‍යය, හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හෙඳම රංගාලෝකය, හොඳම ඇඳුම්, හොඳම අංග රචනය, හොඳම රංගවින්‍යාසය යන සම්මාන දිනා ගත්තා. ඊට අමතරව එය ලංකාව නියෝජනය කළ පළමු දමිළ නාට්‍ය ලෙස දිල්ලි ජාත්‍යන්තර නාට්‍ය උළෙල නියීජනය කළා. 2011 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ කෙටි නාට්‍ය අංශය යටතේ ‘අඳුර සහ එළිය’ නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය හිමි වුණා.

වේදිකාවට අමතරව ඔබ සිනමාවටත් පිවිසියා?

මට සිනමාවට පැමිණෙන්න අවස්ථාව ලැබුණේ ‘මචං’ චිත්‍රපටයෙන්. එහි රංගනයට එක්වන්න ලැබීම මට විශාල සතුටක්. ‘මචං’ හි එස්තර්ගේ චරිය වෙනුවෙන් මට සිග්නිස් ර්‍ණ ඛ් ධ් ඛ් සම්මාන උළෙලේ සම්මානයක් හිමි වුණා. පළමු චිත්‍රපටයෙන්ම එවැනි අවස්ථාවක් උදා වීම මේ ගමනට ශක්තියක්. ඉදිරියේදීත් හොඳ සිනමා නිර්මාණ සඳහා ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.

‘පෝරිසාදයා’ වේදිකා නාට්‍යයේ ‘සමීර්නොව්’ විශ්‍රාමලත් හමුදා නිලධාරියෙක්. ඒ චරිතය ජීවමාන කළේ සුනෙත් ශාන්තප්‍රිය. ඒ වෙනුවෙන් ඔහු මෙවර යෞවන සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පුද ලැබුවා. සුනෙත් අපි ඒ පිළිබඳ කතා කළොත්?

මෙය මා ලැබූ පළමු සම්මානයයි. පෝරිසාදයා හි ‘සමීර්නොව්’ චරිතය මම මීට පෙර කළ චරිත අතර සුවිශේෂ චරිතයක්. ඒ වගේම වෙනස්ම චරිතයක්. ඇත්තටම මට මුලදීම සමිර්මෝව් ගේ චරිතය තේරුම් ගන්න අපහසු වුණා. පාලිත අයියා, රොනිකා අක්කාගේ සහාය ඇතුව ඒ චරිතය සාර්ථක කර ගන්න මට අවස්ථාව ලැබුණා.

ඔබ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ පාසැල් වේදිකාවෙන්?

ඇත්තටම මට පාසල් කාලයේදී වේදිකා නාට්‍ය පිළිබඳ ලොකු උනන්දුවක් තිබුණා. පාසල් මට්ටමෙන් නාට්‍ය තරග පවා නියෝජනය කරලා තියෙනවා. උසස් පෙළින් පසු ජන කලා කේන්ද්‍රයේ නාට්‍ය පාඨමාලාව හදාරා පසුව තමයි ජන කරළිය නාට්‍ය කණ්ඩායමට එක්වෙන්න අවස්ථාව ලැබුණේ. එහිදී පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ‘චරන්දාස්’, ‘සෙක්කුව‘, ‘මැටි කරත්තය’, ‘මකරාක්ෂ’ වැනි නාට්‍ය වගේම හෙන්රි ජයසේන මතාගේ’ ‘හුනුවටය’ කේ. බී. හේරත් මහතාගේ ‘මායා දේවි’ සුදත් මහදිවුල්වැව මහතාගේ ‘සහතික නොකළ මරණය’ වගේ නාට්‍ය ඇතුළුව දිගු නාට්‍ය සහ කෙටි නාට්‍ය රැසකට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ දිනවල ජයලත් මනෝරත්නයන්ගේ ‘පුත්‍ර සමාගම’ නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී ටෙලි නාට්‍ය වගේම චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණොත් භාර ගන්න කැමැතියි.

ජන කරළිය නාට්‍ය කණ්ඩායම සමඟ ලැබූ අත්දැකීම් ගැනත් සිහිපත් කරමු?

ජන කරළිය නාට්‍ය කණ්ඩායම කියන්නේ රංගන පාසලක්. එහිදී නාට්‍ය හා රංග කලාව ප්‍රායෝගිකව හදාරන්න පරාක්‍රම නිරිඇල්ල, එච්. ඒ. පෙරේරා, රවින්ද්‍ර මාපිටිගම, දිලිප් රෝහණ ඇතුළු පිරිසෙන් විශාල පිටුවහලක් ලැබුණා. ජන කරළිය නාට්‍ය කණ්ඩායම සහ නාට්‍ය සමඟින් අපි ලංකාව තුළ නොගිය තැනක් නැති තරම්. හැම දිස්ත්‍රික්කයකම නාට්‍ය වේදිකා ගත කරලා ඒ හැම දෙයකින්ම රංගන ජීවිතයට අත්දැකීම් රැසක් ලබාගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව ජන කරළිය නාට්‍ය කණ්ඩායමට විශේෂයෙන් ස්තූති කළ යුතුයි.