|
|
මං තවම යන්නේ බස් එකේ චූලා මෙන්ඩිස්
චූලා දේශපාලනයට පැමිණි කතාව ඇත්තද?
චූලා මෙන්ඩිස් නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලඥයෙක්ද?
මොකක්ද ඔබේ පිළිතුර? නිසැක වශයෙන්ම ඔහු නළුවෙක් වගට පිළිතුරු දේවි. ඊළඟට කුහුලක් නැගෙන්නේ චූලා දේශපාලනයට කොහොමද සම්බන්ධ වන්නේ කියාය. ඇත්ත වශයෙන්නම හෙතෙම කුරුණෑගල ප්‍රදේශයේ සක්‍රීය දේශපාලඥයෙකි. මේ දිනවල ස්වර්ණවාහිනියේ ඇම්ඩන් ටෙලි සිතුවමේ අපූරු චරිතයකින් ඔබ හමුවට එන ඔහු පසුගියදා විකාශය නිම වූ සිටු මැදුර හි මේනක රාජපක්ෂගේ යාළුවා හැටියට කැපී පෙනෙන චරිතයක් නිරූපණය කළා. දේශපාලනයත් කලාවත් දෙඅතේ සමබරව තබාගෙන ජීවන අන්දරය ගෙත්තම් කරන චූලා දේශපාලඥයෙකු වූවායින් පසුව කෙරෙන පළමු පුවත්පත් සංවාදයට මෙලෙස එක් වුණා. මං දේශපාලනයට ඇවිත් ටිකක් කල්. ඒත් පුවත්පතක් එක්ක ඒ ගැන මුල්වරට අදයි කතා කරන්නේ. කුරුණෑගල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හැටියට දිවුරුම් දුන්නයින් අනතුරුව මං බොහෝම කාර්යබහුල වුණා. මගේ ජීවිතය කලාවටයි දේශපාලනයටයි බෙදුණා. එබැවින් මං ගැන තොරතුරු හොය හොයා හිටපු අයටවත් මං මොනවද කරන්නේ යැයි දැනගන්නට විදිහක් තිබුණේ නැහැ. ඒකයි ‘සරසවියෙන්’ මගේ රසික රසිකාවන්ට කතා කරන්න හිතුවේ.
සමහරු හිතනවා ඔබ දේශපාලනයට පිවිසුනායින් පසුව ටිකක් ගණන් උස්සලා කියලා? ඒක හරි අසාධාරණ කතාවක්. මං තවමත් පරණ සුපුරුදු චූලා මෙන්ඩිස්ම තමයි. නළුවන් මන්ත්‍රීවරයකු වුණාට මං මේ වෙන කොටත් වැඩිපුරම යන්නේ එන්නේ බස් එකේ. හරිම සරල දිවි පෙවෙතක් තමයි ගෙවන්නේ. දේශපාලනයට ආවට චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ මං.
මේ දිනවල ඇම්ඩන්ලාගේ කට්ටියත් එක්ක නේද ජීවිතය ගෙවන්නේ? ඇම්ඩන් ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක්. එහි ප්‍රධාන චරිතය වන කුමාරිගේ අයියාගේ චරිතයකුයි මං රඟපාන්නේ. කාලෙකට පසුව හාසෙේයීත්පාදක ටෙලි නාට්‍යකට සම්බන්ධ වුණා. ඊට අමතරව ගිරිකුල සහ ඉතිං ඊළඟට වැනි නාට්‍යවල වැඩ කළා.
ඔබ රඟපෑ චරිත අතරින් වඩාත් ප්‍රේක්ෂක ජනාදරයට පත් වූ චරිතය කුමක්ද? දෙතුනක්ම තියනවා. සවීණා හි සවීණගේ පියා හැටියට කළ රංගනයට අදටත් මිනිසුන් අගය කරනවා. ගොඩක් අයට හොඳට මතකයේ තියෙන චරිතයක් ඒක. ඒ වගේම මෑතකදී නිමාව දුටු අතිශය ජනප්‍රියත්වයට පත් ‘මලී’ නාට්‍යයේ ග්‍රාමසේවක. ඒ තුළින් ලොකු කුඩා බේදයකින් තොරව ප්‍රේක්ෂක කණ්ඩායම් අතර මං ජනප්‍රිය වුණා. ඒ වගේම සිටු මැදුරහි මහේෂ්. අග්නි හි විපුල හාමු යන චරිතවලට හොඳ ප්‍රතිචාර ලැබුණා.
නාට්‍ය කරන්න ගිහින් බොහොම රසවත් අත්දැකීම්වලට මුහුණ දෙන්නත් ඇති නේද? නැතිනං. මේක වුණේ ‘සඳ තාරකා’ නාට්‍යය රූගත කරන කාලේ දර්ශන තල තිබුණේ දඹුල්ලේ. මමයි නැසීගිය තරිඳු විජේසිංහයි මෝටර් බයික් එකක් හෙයාගෙන පොඩි රවුමක් ගියා. වෙලාව රෑ දොළහට විතර ඇති. කැලයක් මැදදී පෙට්‍රල් ඉවර වුණයි කියමුකෝ. අප්පේ අපි දෙන්නා ඒක තල්ලු කරගෙන මහ පාරකට ආවේ පැය ගාණකට පස්සේ. එක සැරයක් මරු වැඩක් වුණා. රූගත කිරීමකට බොරලැස්ගමුවට යන්න මං 120 බස් එකේ නැග්ගා. ඊට කලින් දවසේ ටිකක් නිදිමරලා හිටියේ. ඒක නිසා සිටි එකට පොඩ්ඩක් ඔළුව තියා ගත්තා. 120 බස් එකේ ගමනාන්තය වන පිළියන්දලට එනකම් මං නිදි. බොරලැස්ගමුවට ආයෙ ආපස්සට, ඒ කියන්නේ කොටුව පැත්තට එන්න ඕනෙනේ. එහෙම යන බස් එකක නැග්ගා. ආයෙ නින්ද ගිහින් බොරලැස්ගමුව පහු වුණා. මං ටක්ගාලා එවලෙ හිටිය හෝල්ට් එකෙන් බැහැලා ත්‍රීවිල් එකක ගියේ.
කලාකරුවා දේශපාලනයේ යෙදීම හොඳද? ඒක ඉතින් තමාගේ මට්ටමට අනුව තමයි. කල්පනාවෙන් කරනවා නම් ගැටලුවක් නැහැ.
එතකොට කලාකරුවා දේශපාලඥයන්ගෙන් උදව් ඉල්ලන එක? ඒක අවස්ථානුකූලයි. දේශපාලඥයකුගෙන් උදව් ඕනෙ නම් එය ලබා ගන්න එක කලාකරුවකුට වරදක් නෙවෙයි.
කලාව ද දේශපාලනය ද ඔබට වඩාත් වටින්නේ? අනිවාර්යයෙන්ම කලාව. කවදා හෝ දේශපාලනය කෙසේ වෙතත් කලාවෙනුයි මං ජීවිතයේ ඉදිරිය දකින්නේ.
ඇයි වෘත්තීමය කලාකරුවෙක් නොවුණේ? ඒක මං හිතන්නේ දෛවය. දෛවය විසින් මාව දේශපාලනයට ගෙනාවා. ඒත් කලාව මං අත හැරියේ නැහැ. හැබැයි මා විනෝදාංශය විදිහට කලාව කරන කෙනෙක් නෙවෙයි. කලාව විනෝදාංශයක් විදිහට කරන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් ඒක දරුණු ප්‍රකාශයක්. ඉදිරිය කෙහොම වෙයි ද මං දන්නේ නැහැ. ඇතැම් විට අනාගතයේදී මං වෘත්තීමය කලාකරුවකු වේවි.
පවුලේ විස්තරත් කියමු? මගේ බිරිය චිත්‍රා අයිරාංගනී ඇය හෙද නිලධාරිනියක්. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතාට අවුරුදු 18 යි. ඔහු චතුරංග ශචිත් මෙන්ඩිස්. දැනට කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. දෙවැන්නා රුචිත් යශෝධ මෙන්ඩිස්. ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබනවා.
ඔබේ රඟපෑම් ඉදිරියේදී දැක ගත හැකි ටෙලි නාට්‍ය මොනවාද? සුබ ප්‍රාර්ථනා, සිහිනයක් ඇවිත්, කටකලියාව, සිහිනයක් අද්දර, දෙරණගමනය, අහස් පව්ව.
|



