වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




වෙනසකට සැරසෙන ‘උමිත්‍රෝ’

වෙනසකට සැරසෙන ‘උමිත්‍රෝ’

කණ්ඩායම් නායක තනුෂ්ක  ෂෙල්ටන් පෙරේරාගේ මුනුපුරෙක්

‘උමිත්‍රෝ ලයිව් ඉන් කොන්සට්’ ප්‍රසංගය 19 (හෙට) වැනි දා සවස 6.00 ට මරදාන ටවර් රඟහලේ දී.

සංගීත ක්‍ෂේත්‍රයේ පෙරළි කරන කණ්ඩායම් අතරට එකතුවන අලුත්ම සංගීත කණ්ඩායමයි ‘උමිත්‍රෝ’. හෙට (19) වැනි දා සවස 6.00 ට මරදාන ටවර් රඟහලේ දී ‘උමිත්‍රෝ ලයිව් ඉන් කොන්සට්’ ප්‍රසංගයත් සමඟින් ඔවුන්ගේ කලඑළි මංගල්‍යයත් සිදුවෙනවා.

පැරැණි ගීතයට, පැරැණි දේට පෙම් බඳිමින් දීර්ඝ ගමනක් යන්නට සැරසෙන ඔවුන් තවමත් පාසල් ශිෂ්‍යයන් වීම විශේෂයක්. කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඔවුන්ගේ කණ්ඩායමේ නායකයා වන්නේ දාහත් වැනි වියේ පසුවන තනුෂ්ක ගයාන් පෙරේරා. කලා පරපුරකට උරුමකම් කියන තනුෂ්ක දක්‍ෂ තබ්ලා වාදන ශිල්පියකු සේම ගායකයකු, රංගන ශිල්පියකු ද වෙනවා. ‘සත්සර රංගන වගේම සිරි රජ සිරි’ චිත්‍රපටයටත් ඔහු රංගනයෙන් එක්වූවා. දැනට තබ්ලා විශාරද දක්වා හදාරා ඇති ඔහු 2009 සහ 2010 වසරවල සමස්ත ලංකා ඒකල තබ්ලා වාදනයෙන් පළමු ස්ථානය දිනා ගැනීමටත් හැකි වුණා.

අපේ රටේ විශාලම කලා පරපුරක් ලෙස සැලකෙන ටවර් හෝල් යුගයෙන් ඇරඹෙන නාඩගං ජේන් නෝනා, සෝම කාන්තා, විල්මට් පෙරේරා, ෂෙල්ටන් පෙරේරා, සූරියරාණි, ඩෙවිෂන් පෙරේරා, රෙක්‍ෂන් පෙරේරා, ඩන්ස්ටන් පෙරේරා, කුමාරි පෙරේරා, කුසුම් පෙරේරා, සතිශ් පෙරේරා, අනුරාධා පෙරේරා වගේම ‘තෙත් සහ වියළි’ ටෙලි නාට්‍යයෙන් හොඳම ළමා නිළිය ලෙස සම්මාන දිනූ හර්ෂිකා මාධවී පෙරේරා දක්වා විහිදෙන මේ කලා පරපුරේ තනුෂ්ක අයත් වන්නේ විශාරද ෂෙල්ටන් පෙරේරා ගේ සහෝදරයකුවන රෙක්‍ෂන් පෙරේරා ගේ පුතකුවන චිත්‍ර සහ නිර්මාණ ශිල්පී දිනේෂ් සුරංග පෙරේරා ගේ පුතකු ලෙසටයි.

මේ නිසා තනුෂ්කට ඇත්තේ තම උරුමයෙන්ම එන සංගීත ආභාසයත් සමඟ ඈඳුනු සංගීත රසඥතාවක්. ‘උමිත්‍රෝ’ තුළින් ඔවුන් අපේ රසිකයන්ට දෙන්නට සැරසෙන්නේ එම රසයයි.

“ඇත්තටම අපේ පරණ දේවල් මේවෙන කොට නැතිවේගන යනවා. ඒ නිසා ඒවා අලුත් පරම්පරාවට ගේන්න තමයි අපේ මේ උත්සාහය. ඒ අනුව පැරැණි නූර්ති, නාඩගම් ගීත ග්‍රැමෆෝන් යුගයේ ගීත, පැරැණි චිත්‍රපට ගීතත් යුග යුග පසුකර ගෙනආපු දේවල් අපි නැවත අපේ ප්‍රසංගයෙන් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ කාලයේ ගීතත් අපේම අලුත් ගීතයකුත් එදාට හඳුන්වා දෙනවා. ඒ වගේම පුන්සිරි සොයිසා, ප්‍රියංකර පෙරේරා, ටෝනි හසන්, තිස්ස ජයවර්ධන, කුසුම් පෙරේරා මෙහිදී ආරාධිත ශිල්පීන් වශයෙන් සහභාගි වෙනවා.” තනුෂ්ක ‘උමිත්‍රෝ’ පිළිබඳවත් ප්‍රසංගය ගැනත් පැහැදිලි කළේ එහෙමයි.

දැනට එස්. ඩබ්ලිව්. රන්දූව මහතා යටතේ තබ්ලා වාදනය හදාරන තනුෂ්ක මේවන විට එහි විශාරද දක්වා හදාරා තියෙනවා. “ඇත්තම කිව්වොත් රන්දූව සර් මට පුදුමාකාර ආදරයක් තියෙන්නේ. මගේ පළමුවෙනි තබ්ලාව දුන්නෙත් සර්. තබ්ලාවක් කැඩුනොත් අලුත් එකක් අරන් දෙනවා. ඒ විදිහට මට තබ්ලා ගොඩාක් අරන් දීලා තියෙනවා. ඒ වගේම ගොඩක් ආදරෙයි මට. ගෙදරට ගියත් කන්න බොන්න දීලා තමන්ගේ දරුවෙකුට වගේ සලකනවා. ඒකට හේතුව මං පස්සෙයි දැන ගත්තේ. අපේ ෂෙල්ටන් සීයයි (ෂෙල්ටන් පෙරේරා) රන්දූව සර්යි ඉන්දියාවේ එකම ගුරු කුලේ එකම තැන ඉඳලා සංගීතය ඉගෙනගෙන තියෙන්නේ.

ඒ මිත්‍ර කමට තමයි මට මේ සැලකිළි ලැබෙන්නේ. ඒකට හේතුව ෂෙල්ටන් සීයගේ දරුවො කවුරුත් තබ්ලා ගහන්න ආවේ නැහැ. සතිශ් අයියා වුණත් තබ්ලා ගැහැව්වා නමුත් දුරට ගියේ නැහැ. ඒ හින්දා අපේ සර්ට සීයා කියලා තියෙනවා මගේ කාට හරි කවදා හෝ තබ්ලාව උගන්නන්න කියලා. ඒකට තමයි ඔහුගේ දරුවෙක් වගේ මට සලකන්නේ.” තනුෂ්ක ඒ අපූරු සිදුවීම සිහිපත් කළේ නැසීගිය සිය සීයාගේ ගුණවත්බව සිහිපත් කරමින්. ඒ වගේම සතිශ් ගේ අභාවයෙන් පසු ඔහුන්ගේ ගීත රැක ගනිමින් ප්‍රසංග තුළින් ඉදිරියට ගෙන යාමට ද තනුෂ්ක බලාපොරොත්තුවෙන් සිටී.

අලුත් ගමනක් අලුත් විදිහට යන්නට සැරසෙන ‘උමිත්‍රෝ’ සංගීත කණ්ඩායම හඳුන්වා දෙන්නටත් ඔහු අදතක කළේ නැහැ. තාල තරංග - තනුෂ්ක ගයාන් පෙරේරා සහ උදාර දෙමටහෙට්ටිගේ, ඩ්‍රම්ස් - ලක්‍ෂිත රංගන, ලීඩ් ගිටාර් – අකිල හේවාසුරගේ, බේස් ගිටාර් - ශෂික අමන්ද පෙරේරා, රිදම් ගිටාර් – චානක රෝෂන, ඕගන් – නලීන් චතුරංග සහ ගායනයෙන් තාරුක නයනජිත් සහ කනිෂ්ක ධනංජයයි. කථනයෙන් එක්වන්නේ වසන්ත රෝහන සමඟින් කුමාරි පෙරේරායි. මෙහි ඕගන් ශිල්පියාවන නලීන් දැටමත් ක්‍ෂේත්‍රයේ යම් දුරක් පැමිණි අයෙක්. ‘සොනාටා ස්ටුඩියෝ’ නමින් පිළියන්දල, මිරිස්වත්තේ ශබ්දාගාරයක් පවත්වාගෙන යන ඔහු මේවන විට ගීත රැසක් නිර්මාණය කර තියෙනවා.

අවසන් වශයෙන් ‘උමිත්‍රෝ සංගීත කණ්ඩායම වෙනුවෙන් අතහිත දුන් සියලු දෙනාවම ආදයෙන් සිහිපත් කළ තනුෂ්ක විශේෂයෙන්ම තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, කණ්ඩායමේ සියලු දෙනාගේ මවු පියවරුන්ටත්, නිතරම කලාකටයුවලට අතහිත දෙන කුමාරි පෙරේරා, කුසුම් පෙරේරා දෙපළටත් ටවර් හෝල් අධ්‍යක්‍ෂ ජනරාල් ඩග්ලස් සිරිවර්ධන මහතා සහ එහි කළමනාකරු ඇතුළු සැමටත් සිය ගෞරව පූර්වක ස්තුතිය පුදකර සිටින අතරම තාරුන්‍යයේ අසිරිය විඳගැනීමට ‘උමිත්‍රෝ’ සමඟ එදිනට එක්වන්නැයි සැමට ආරාධනා කරයි.