|
|
|
ප්‍රාන් ප්‍රාණය අත හරියි1920 - 2013
‘ප්‍රාන්’ යන අකුරු දෙක තිරය ප්‍රාණවත් කළේ සීමා මායිම් නැතිවය. 2010 වසරේදී සීඑන්එන් මඟින් නම් කළ ආසියාවේ සර්වකාලීන නළු නිළියන් අතර ඔහුගේ නම ද ඇත්තේ ඒ නිසයි. ප්‍රාන් යන රංගධරයා ඉදිරියෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන ත්‍රිත්වයක් හොඳම සහාය නළුවා ලෙසින් ලියැවී තිබේ.
ජූලි මස 12 වැනි දින රාත්‍රිය උදාවූයේ භාරත සිනමාවම අඳුරු කරමිනි. රාත්‍රී 8.30 ට පමණ ලීලාවතී රෝහලේදී සදහටම දෙනෙත් පියා ගත්තේ සිය වසක් සපිරූ බොලිවුඩයේ දුෂ්ට රජුය. නොඑසේ නම් දුෂ්ට නළු පරපුරේ පියාය. කඩවසම් දේහදාරියකු ලෙස සෙස්සන් සේම ප්‍රාන් ක්‍රිෂන් සිකන්ද් යෞවනයා තිරයට එක්වූයේ පෙම්වතා වෙමිනි. එහෙත් සුරූපිනියන් සමඟ තුරු ගොමු අතරේ සැරිසැරීම රංගනය නොවන බව වැඩිකල් නොගොස් ඔහු තේරුම් ගත්තේය. භාරත රිදී තිරයට අතිශයින්ම භයානක දුෂ්ටයා බිහි වූයේ ඒ අනුවයි. එසේ නමුදු ඔහුගේ රංග පරාසයට දුෂ්ටත්වයට පමණක් සීමා මායිම් පැනවීමට නොහැකි විය.
‘ප්‍රාන්’ යන අකුරු දෙක තිරය ප්‍රාණවත් කළේ සීමා මායිම් නැතිවය. 2010 වසරේදී සීඑන්එන් මඟින් නම් කළ ආසියාවේ සර්වකාලීන නළු නිළියන් අතර ඔහුගේ නම ද ඇත්තේ ඒ නිසයි. ප්‍රාන් යන රංගධරයා ඉදිරියෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන ත්‍රිිත්වයක් හොඳම සහාය නළුවා ලෙසින් ලියැවී තිබේ. උප්කර් (1967), ආන්සූ බාන් ගයේ පූල් (1969), බේ – ඉමාන් (1972) ඒ සිනමාපට තුනයි. තිරයේ වීරයා හා සමානව හෝ තිරයේ වීරයාටත් වඩා රංගනයට මිල නියම වූ, මෙගා තරුව අමිතාබ් බච්චන්ටත් වඩා විශාල ලෙසින් පෝස්ටර්වල රුව සිත්තම් වුණු රංගන ශිල්පියකු බොලිවුඩයේ වේ නම් ඒ අන් කිසිවකු නොව ප්‍රාන්මය. සිනමාවටම උපන් මේ භාරත පුත්‍රරත්නය ළමා වියේදී තරු උමතුවකින් පෙළුණු අයකු නම් නොවෙයි. 1920 පෙබරවාරි 12 වැනි දින ඔහු පැරැණි දිල්ලියේ බල්ලිමාරන් හි උපත ලැබුවේ ධනවත් පන්ජාබ් පවුලකය. ප්‍රාන්ගේ පියා කේවල් ක්‍රිෂන් සිකන්ද් සිවිල් ඉංජිනේරුවකු හා රජයේ සිවිල් කොන්ත්‍රාත්කරුවකු විය. මව රාමේෂ්වරීය. ප්‍රාන්ට සහෝදරයන් තිදෙනෙක් සහ සොයුරියන් තිදෙනෙක් සිටියි. පියාගේ රැකියාව නිසා දරුවන්ට පාසල් ගණනාවකට මාරුවෙමින් අධ්‍යාපනය ලැබීමට සිදුවිය. කුඩා ප්‍රාන් වඩාත් දස්කම් දැක්වූයේ ගණිතයටයි. උසස් අධ්‍යාපනයෙන් පසු ඔහු දාස් සහ සමාගමට බැඳුණේ වෘත්තීය ඡායාරූප ශිල්පියකු වීමට ඇති වූ උනන්දුව නිසයි. ඡායාරූප ශිල්පියකු ලෙසින් මාසිකව රුපියල් 200 ක වැටුපක් ලැබූ ඔහුට සිම්ලා යාමට සිදුවීමෙන් අහඹු ලෙස රංගනයට පාර කැපුණේය. රාම්ලීලා වේදිකා නාට්‍යයේ සීතා ලෙස ඔහු රැගුවේය. මෙහි රාමා සේ රැඟුවේ මදන් පූරිය. මදන් පූරි ද ජනප්‍රිය හින්දි සහ පන්ජාබ් නළුවෙකි. ලේඛකයකු වූ සිනමා මොහොමඩ් වාලි මාර්ගයෙන් ඔහුට සිනමාවට පිවිසීමට හැකි විය. යම්ලා ජත් (1940) ඔහු රැගූ පළමු සිනමාපටයයි. ඔහුගේ කුලුඳුල් චරිතය දුෂ්ට චරිතයක් වීම දෛවෝපගත සිදුවීමකි. යම්ලා ජත් රංගනයට ඔහුට ලැබුණේ ඉන්දියානු රුපියල් පනහකි. එහෙත් සිනමාවට සිත ගිය ඔහු රුපියල් පනහේ වැටුපට රුපියල් දෙසීයේ වැටුප අත්හැරියේය. ප්‍රාන් බොලිවුඩයට පා තැබුවේ ‘කාන්දන්’ (1942) සිනමා පටයෙනි. තිරයේ සුපෙම්වතා ලෙස රැගූ ඔහුගේ පෙම්වතිය වූයේ යම්ලා ජත්හි ළමා නිළියක ලෙස රැගූ නූර් ජෙහාන්ය. අඩි 5 අඟල් 7 ක් උස ප්‍රාන් සමඟ වයස පහළොවක්වත් සම්පූර්ණ කර නොසිටි නූර් ජෙහාන්ට රැඟීම පහසු නොවූයේ නොගැළපෙන උස නිසයි. දෙදෙනාගේ උස ගැළපීමට නූර් ජෙහාන් ගඩොල් කැට මත සිටුවීමට අධ්‍යක්ෂවරයාට සිදු විය. ඉන්දියාවත් පාකිස්තානයත් 1947 දී දෙකඩවීමට පෙර ලාහෝරය ප්‍රාන්ගේ සිනමා නිවෙස විය. ඔහු රැඟූ පන්ජාබ් සිනමාපට ගණන 22 කි. ඉන් 18 ක්ම තිරගත විය. දෙකඩ වූ දේශයේ ප්‍රාන්ගේ සිනමා ගමන ද තාවකාලිකව අතරමං විය. ඔහු රංගනයේ නව පිටුවක් පෙරළීමේ පැතුම් ඇතිව බොම්බේ පැමිණියත් යළි සිනමාවට එක්වීම සිතන තරම් පහසු නොවීය. රඟන්නට අවස්ථාවක් ලැබෙන තුරු ඔහු වෙනත් රැකියාවල නිරත විය. ලේඛක සදාත් හසන්ගේ සහ නළු ශ්‍යාම් ගේ උපකාරයෙන් ප්‍රාන්ට යළි සිනමා ගමන ඇරැඹීමට හැකි විය. ‘සිද්දි’ (1948) ඔහුගේ රංගන පුනරුත්පත්තියයි. ඉන් පසු රංගනයෙන් මඳ විරාමයක් හෝ ලබන්නට ප්‍රාන්ට අවසර ලැබුණේ නැත. පනහ, හැට දශකයේදී ප්‍රාන් සුපිරි දුෂ්ටයා වූයේ දිලිප් කුමාර්, දේව් ආනන්ද් සහ රාජ් කපූර් වැනි සුපිරි වීරයන්ටය. වයස හතළිස් ගණන්වලදී ඔහු වයස අවුරුදු තිහවත් නොඉක්ම වූ ෂම්මි කපූර්, ජෝයි මුකර්ජී, රාජේන්ද්‍ර කුමාර්, ධර්මේන්ද්‍ර වැනි කතා නායකයන්ගේ තිරයේ පරම සතුරා විය. යොවුන් නළුවන්ගේ ආගමනයත් සමඟ දිලිප්, රාජ් වැනි යෝධ තරුවල කාන්තිය අඩුවෙද්දී ප්‍රාන් තව තවත් බැබළුණේය. දිල්ප්ට, රාජ්ට, දේව් ආනන්ද්ට පසු පරපුරේ රාජේන්ද්‍ර, ෂම්මි වැන්නන්ට ද ප්‍රාන් ඉදිරියේදී අත්වූයේ ඒ ඉරණමමය. 1969 – 1982 කාලයේ තිරයේ රජ කළ විනෝද් ඛන්නා, අමිතාබ් බච්චන්, ශතෘගන් සිංහ, රන්ධීර්, රිෂි කපූර්ට වඩා වැඩි මිලක් ලැබුණු නළුවා වූයේ ප්‍රාන්ය. එවකට (1970 – 1980 දශකවල) ඔහුට වඩා මිලක් ගෙවූ එකම නළුවා වූයේ බොලිවුඩයේ පළමු සුපිරි තරුව වූ රාජේශ් ඛන්නා පමණි. නවක තරුවක ලෙස සිටි අමිතාබ් බච්චන්ට සුපිරි තරුවක් ලෙස පෑයීමේ වාසනාව උදාකර දුන්නේ ද ප්‍රාන්ය. ඔහු ‘සන්ජීර්’ සිනමාපටයේ විජේගේ චරිතය සඳහා අමිතාබ් ගන්නා ලෙසට අධ්‍යක්ෂවරයාට යෝජනා කළේය. ඊට පෙර ඒ චරිතය සඳහා යෝජනා වී තිබුණේ දේව් ආනන්ද්, ධර්මේන්ද්‍ර යන නළුවන්ගේ නම්ය. එතැනින් ඇරැඹුණු ප්‍රාන් - බච්චන් මිතුදම සිනමාපට දාහතකින්ම දුෂ්ටයා - වීරයා සුසංයෝගයෙන් තිරයේ දිස් විය. සහෝදර නළු අශෝක් කුමාර් සහ ප්‍රාන් අතර පැවතුණේ නොමියෙන මිතුදමකි. දෙදෙනා එක්ව සිනමාපට 27 ක රඟපා තිබේ. ඉන් 20 ක්ම සුපිරි ආදායම් ලැබූ සිනමාපටයි. දිලිප්, ෂම්මි, මනෝජ් කුමාර්, ශෂි කපූර්, කිශෝර් කුමාර් ප්‍රාන්ගේ සමීපතම සිනමා සගයන්ය.
1990 දශකයේදීත් ප්‍රාන්ට ඇති ඉල්ලුම නම් අඩු වූයේ නැත. එහෙත් වියපත්කම පෙරදී මෙන් දස්කම් පෑමට බාධාවක් බව ඔහුට වැටහිණි. එනිසා ලැබෙන චරිත ප්‍රතික්ෂේප කළේය. අමිතාබ් බච්චන්ට සිනමාවේ නරක කල දසාවක් ලබා තිබියදී අමිතාබ් ප්‍රාන්ට ‘තෙරේ මේරේ සප්නේ’ (1996) සහ ‘ම්‍රිතියුදාතා’ (1997) රැඟීමට ආරාධනා කළේය. 1997 දී ‘ම්‍රිතියුදාතා’ රඟද්දී දෙපා වෙවුලන්නට පටන් ගත්තේය. එනිසා ප්‍රාන්ගේ සිනමාපටයේ අසුන්ගෙන කරන රංගනයන්ට පමණක් රංගනය සීමා කිරීමට සිදු විය. වසර 2000 ට පසු ඔහු සිනමාපටවල ආරාධිත දර්ශනවලට පමණක් පෙනී සිටියේය. ප්‍රාන් පුංචි තිරයේ ද රඟපා තිබේ. දූර්දර්ශන් මඟින් විකාශය කළ ‘බාප් සේ බඩා රුපෙයියා’ රූපවාහිනී මාලා නාටකයට ඔහුගේ රංගනය පුංචි තිරයට එක් වූ එකම අවස්ථාවයි. ප්‍රාන් යනු බොලිවුඩයට සදා අත්පොතකි. දශක හයකට වැඩි කාලයක් රංගනයට දායක වී ඔහු ඉගැන්නූ පාඩම් බොහෝය. පළමු රංගනයේ සිට අවසාන රංගනය දක්වාම ඔහුටම අනන්‍ය වූ සිනමා චර්යාවක් තිබුණි. අධ්‍යක්ෂවරයා පිටපත කියවන විට ඔහු එය අසා සිටියේ නවකයකු මෙන් සාවධානවයි. තමන් රැගූ චරිත රැසක්ම ඔහු සිතුවම්කර තිබුණේය. ඔහුව කිහිප වරක්ම අධ්‍යක්ෂණය කළ සුභාෂ් ගයි මෙසේ පවසයි. ‘ප්‍රාන් යනු වියපත් වන තරුවක් නොවෙයි. තිරයේ දුෂ්ටයා වුවත් ඔහු හදවතින් කුඩා දරුවෙක්. වෙලාවට පෙර දර්ශන තලයට පැමිණීම, රූගත කිරීමට යන දර්ශනය ගැන අදහස් පළ කිරීම ඔහුගේ සිරිතයි. සෑම අධ්‍යක්ෂවරයකුටම, නිෂ්පාදකයකුටම මේ ජ්‍යෙෂ්ඨයා හෘදයාංගම හා නම්‍යශීලී අයකු වුණා.’ ඒ ප්‍රාන්ගේ සිනමා දහමයි. ඔහු 1972 දී ‘බේ – ඉමාන්’ රංගනයට හොඳම සහාය නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුවත් ප්‍රාන් සම්මාන ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඒ, ඒ වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා සම්මානය ‘පාකීසා’ සඳහා හිමි නොවීම නිසයි. තිරයේදී වාගේම තිරයෙන් පිටතදීත් ප්‍රාන් සැබෑ මහත්මයකු විය. ඔහු 1945 දී ෂුක්ලා අලුවාලියා සමඟ විවාහ වුහ. අර්වින්ද්, සුනිල් පුතුන් දෙදෙනාත් පින්කි දියණියත් ප්‍රාන්ගේත් - ෂුක්ලාගේත් දූ දරුවන්ය. දුෂ්ට චරිත ප්‍රාන් කෙතරම් හොඳින් ජීවත් කෙරුවා ද කිවහොත් ඔහු රැගූ සිනමාපට නැරැඹූ කිසිදු රසිකයෙක් තම දරුවාට ප්‍රාන් කියා නම නොතබනු ඇති බවට රාවයක් පැවැතුණි. එහෙත් ඔහු දන්නා කවුරුත් ඔහු ඇමතුවේ ‘ප්‍රාන් මහත්මයා’ (‘ප්‍රාන් සහබ්’) කියායි. ‘බර්කුදාර්’ යනුවෙන් ඔහු පැවසූ වචනය ද මුව මුව පුරා රැව් පිළිරැව් දුන්නකි. ‘යළි ඉපදෙන්නේ නම් ඒ උපදින්නෙත් ‘ප්‍රාන්’ ලෙසමයි’. කලාවෙන් හා ජීවිතයෙන් තෘප්තිමත් වූ මේ ප්‍රවීණ රංගධරයා නිතර පැවසුවේය. ප්‍රාන්, ප්‍රාන් ලෙසින්ම දැකීම භාරත සිනමාවට සෙනෙහස බැඳී සැමගේම පැතුමයි.
|
|



සුදු චරිතවලදී ඔහු සාධු චරිතයක්ම විය. විකට චරිතවලදී තමන් දෙස බියෙන් වෛරයෙන් බැලූ
රසිකයන්ගේ දෑස් උතුරා යන හාස්‍යයෙන් පුරවාලන්නට ඔහු සමතකු විය.