වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




විදෙස් උළෙලක සම්මානයට පත්වන මුල්ම ඉන්දියානු චිත්‍රපටය

විදෙස් උළෙලක සම්මානයට පත්වන මුල්ම ඉන්දියානු චිත්‍රපටය

ඉන්දියානු සිනමාව ආරම්භයේ සිටම එයට එක් වාසියක් වූයේ නූතන ඉන්දියාව නිර්මාණයෙහිලා කැපවූ බොහෝ නායකයක් ද චින්තකයන් ද සිනමාවේ අගය වටහා ගැනීමයි. කාන්තාවන් සිනමාවට පැමිණීම වැනි ගතානුතගතික මති මතාන්තර වෙනස් කිරීම සම්පූර්ණයෙන් කළ නොහැකි වුවත් සන්නිවේදන මාධ්‍යයක් ලෙස සිනමාවේ අගය වටහා ගන්නට ඉන්දියානු නායකයෝ සමත් ව සිටියහ.මහත්මා ගාන්ධි මෙන්ම සුභාශ් චන්ද්‍රබෝස් ද මේ අතරින් මුල් වූයේ ඔවුන් සිය මතවාදයන් ජනතාව වෙතට ගෙන යෑමට සිනමාව ඉණි මගක් කොට ගත් හෙයිනි.එමෙන්ම තවත් වාසියක් වූයේ පුරෝගාමී සිනමාකරුවන් බහුතරය ආකල්ප වශයෙන් හෝ ඉන්දියානු නිදහස් සටනේ අනුගාමිකයන් වීමය.

එමෙන්ම රබීන්ද්‍ර නාත් තාගෝර් මහා කවීන්ද්‍රයන් ද සිනමාව සම්බන්ධව දැක්වූයේ යහපත් ප්‍රතිචාරයකි. මේ මහා කවීන්ද්‍රයාණෝ ගේ බොහෝ කෘති සිනමාවට නැගුණා පමණක් නොව තාගෝරයන් ද සිනමා කෘතියක් නිර්මාණය කිරීමට දායක වීමෙන් ඒ බැව් සනාථ වෙයි.ඒ නිව් තියටර්ස් වෙනුවෙන් නිර්මාණය කළ ‘නෘතිර් පූජා’ චිත්‍රපටයයි.එය සිනමාවට නැගෙනුයේ 1932 වසෙර්ය.එහි වැදගත් ම කරුණ නම් නම් සිය මුල්ම හා එකම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන විට තාගෝරයන්ගේ වයස අවුරුදු හැත්තෑ එකක් වීමය. 1861 වසරේ ජන්ම ලාභය ලබන තාගෝරයන්

මිය යනුයේ 1941 වසෙර්ය. ඔහුගේ කෘතියක් ඇසුරෙන් මුල්වරට සිනමා කෘතියක් නිර්මාණය වනුයේ 1927 වසෙර්ය. ඒ බලිදාන්ය.තාගෝර් අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය වන ‘නෘතිර් පූජා’ සඳහා පාදක වනුයේ 1926 වසරේ දී නිර්මාණය කරන ලද සංගීතමය නාටකයකි. එය පසුව බිරේන්ද්‍ර නාත් ගේ ඇරයුමෙන් රූ ගත කරන ලද්දේ නිව් තියටර්ස් චිත්‍රාගාරයේ ය.

පුරා දින හතරක් මුළුල්ලේ චිත්‍රපටය රූප ගත කෙරුණ ද එය බෙහෙවින් ම නාට්‍යයක් සිනමාවට නැඟීමක් විය. මේ චිත්‍රපටයේ තාගෝරයන් ද රඟපෑවේය. එහි සෙසු නළු නිළියන් වූයේ එවකට තාගෝරයන්ගේ ශාන්ති නිකේතනයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ය.සංගීතය මෙහෙය වන ලද්දේ ඒ වන විට ශාන්ති නිකේතනයේ විදුහල්පති ධුරය හෙබවූ ධිරේන්ද්‍රනාත් තාගෝරයන් ය.

දිරේන්ද්‍ර නාත් මහා කවි රබින්ද්‍ර නාත්ගේ වැඩිමහල් සොහොයුරුගේ පුතණුවන් විය.චිත්‍රපටය ආරම්භ වනුයේ තාගෝරයන් විසින් කුඩා දරු දැරියන් පිරිසක් සමඟ පසු කලෙක ඉන්දියාවේ ජාතික ගීතය වූ ‘ජන මන ගන’ ගීතය ගායනා කරන දර්ශනයකිනි.තාගෝරයන් මේ ගීතය මුලින් ගයන ලද්දේ එයට වසර ගණනාවකට පෙර 1911 වසෙර්ය.

චිත්‍රපටය සදහා භාවිතා කරන ලද්දේ සම්පූර්ණ නාට්‍ය පිටපත විය. එහි රූ ගැන්විමේ දී නාට්‍යයම ඒ ආකාරයෙන් දකින්නට ලැබීම තාගෝරයන්ගේ කැමැත්ත විය.චිත්‍රපටයේ මංගල දර්ශනය 1932 මාර්තු 22 දින නිව් තියටර්ස් සමාගමේ චිත්‍රා සිනමාහලේ පැවැත්විණ.එහි ආදායමෙන් සියයට පනහක් ශාන්ති නිකේතනයේ අභිවෘද්ධිය උදෙසා පරිත්‍යාග කළ යුතු බව එකඟතාවය පළ වුවත් චිත්‍රපටය වාණිජමය වශයෙන් සාර්ථක වූයේ නැත.පසු කලෙක බිරේන්ද්‍ර නාත් ශ්‍රීකාර් ගේ මතය වූයේ එයට හේතුව සිනමා කෘතියකට වඩා එය සම්පූර්ණ ගීත නාටකයක් ලෙස එළි දැකීම බවයි.

නිව් තියටර්ස් සමාගමේ වඩාත්ම විචාරක ප්‍රශංසාවට බඳුන් වූ එමෙන්ම වඩාත්ම ජනප්‍රිය වු චිත්‍රපටය වනුයේ ‘චන්දිදාස්’ය. බෙංගාලි බසින් නිර්මාණය වූ එය අධ්‍යක්ෂණය කරන ලදදේ දේබකී බෝස් විසිනි.දේබකී ඉන්දියානු සිනමා ඉතිහාසයේ ඉතා වැදගත් සිනමාකරුවෙක් වෙයි.1898 නොවැම්බර් 25 වැනි දින ඉපිද 1971 නොවැම්බර් 17 වැනි දින මිය යන දේබකි කුමාර් බෝස් එවකට කල්කටාවේ නීතිපති වරයා වූ මධු සුධාන් බෝස් ගේ පුත්‍රයෙකි.

දේබකී ගේ පාසල් ගුරුවරයා වනුයේ පසු කලක සිනමාකරුවෙක් ද වන සිසිර් කුමාර් බාදූර්ය.සිය ගුරුවරයාගේ ආභාසය මත ඉන්දියානු නිදහස් සටනට දායක වන ඔහුට එබැවින් අකාලයේ පාසල හැර යන්නට සිදි විය.සිය නිදහස් මතවාද සඳහා ‘ශක්ති’ නම් සඟරාවක් පළ කළ දේබකීගේ රචනා ශෛලියට ඇළුම් කළ සිනමාකරු ධිරෙන් ගංගුලි ගේ ආරාධනයෙන් ඔහු සිනමාවට පිවිසෙනුයේ තිර රචකයකු හැටියටය.ඔහු ගේ මුල්ම තිර නාටකය කමෝනර් අගන් නම් විය.

දේබකී ගේ මුල්ම අධ්‍යක්ෂණය ‘අපරාධි’ නිහඬ චිත්‍රපටයක් විය. ඔහු ගේ මුල්ම කතානාද චිත්‍රපටය වූයේ ‘චන්දිදාස්’ ය.එයට පාදක වනුයේ 15 වැනි සියවසේ ජීවත් වන වංශවත් කවියකු වන චෛතන්‍ය සහ රජක කුලයේ කාන්තාවක වන රමි අතර ඇති වන ප්‍රේම පුරාවෘත්තයයි.චිත්‍රපටය සඳහා දේබකී විසින් චෛතන්‍ය ගේ කාව්‍ය ග්‍රන්ථ රාශියක් භාවිත කළේය.

එහි දුර්ගාදාස් බැනර්ජි,කේ.සී.දේ, අමර් මලික්, ආදින් චරිත නිරූපණය කළ අතර රායි චන්ද් බොරාල් ගේ සංගීතය විශිෂ්ට එකක් විය.එහි කැමරාව මෙහෙය වන ලද්දේ නිතින් බෝශ් විසිනි.ඉන්දියානු චිත්‍රපටයක් සඳහා පසුබිම් සංගීතය මුල් වරට අර්ථ පූර්ණ ලෙස භාවිත කරන ලද්දේ ද ‘චන්දිදාස්’ සඳහාය.ඒ වන තුරු ඉන්දියානු සිනමාව ශබ්ද භාවිත කරන ලද්දේ රූප රාමු හිස් තැන් පිරවීමට විනා ඒ පිළිබඳ විෂයානුබද්ධ අවබෝධයකින් යුතුව නොවීය. එහෙත් දේබකී සිය චිත්‍රපට සඳහා ශබ්දය උපයෝගී කර ගනුයේ වඩා අර්ථාන්විත ආශ්වාදයක් ගෙන ඒමටය.

1933 වසරේ දී නිව් තියටර්ස් වෙනුවෙන් දේබකී විසින් නිර්මාණය කරන ලද ‘පූරන් භක්ත්’ ද බෙහෙවින් විචාරක අවධානයට පත් වූවකි.ඔහු 1934 වසරේ නිර්මාණය කරන ලද සීතා ඊස්ට් ඉන්ඩියා ෆිල්ම්ස් වෙනුවෙන් නිපදවූවකි.එය මුල් වරට අන්තර් ජාතික සිනාම උළෙලක තිර ගත කළ ඉන්දියානු චිත්‍රපටය වීමේ ගෞරවය දිනා ගත්තේය.ආර්.එල්.කෙම්කේ විසින් ඊස්ට් ඉන්ඩියා ෆිල්ම්ස් ගොඩ නංවන ලදදේ නිව් තියටර්ස් සහායෙනි.

දේව පුරාණයන් ඇසුරෙන් තැනුණ ඉන්දියානු චිත්‍රපට අතර අද පවා විශිෂ්ටතම චිත්‍රපටය ලෙස සලකනුයේ දේබකී බෝස් විසින් නිර්මාණය කරන ලද ‘සීතා’ චිත්‍රපටයයි.එයට පාදක වනුයේ රාමායනයේ උත්තර කාණ්ඩවය වන අතර එනම් රාවණා පරදා යළි අයෝධ්‍යාවට ගිය පසු රාමා සීතා වන් පිළිබඳ පුවතයි. සීතා ට ලැබෙන නිවුන් පුතුන් වූ ලව් සහ කුෂ් මෙහි ප්‍රධාන චරිත වන අතර චිත්‍රපටය පුරාවටම රාමාට වඩා ශක්තිමත් චරිතයක් ලෙස සිතාගේ චරිතය ගොඩ නැංවීමට සිනමාකරු වග බලා ගත්තේය.

එය එම වසරේ පැවැත් වූ වැනිස් සිනමා උළෙලේ තිර ගත කළ අතර එහිදී එයට ගෞරව සම්මානයක් දිනා ගැන්මට හැකි වීම ද වැදගත් විය. ඒ අනුව ඉන්දියානු චිත්‍රපටයක් අන්තර් ජාතික අවධානයට පත් වන මුල්ම අවස්ථාව එය විය.පසු කලෙක එනම් 1959 වසරේ දී දේබකී බෝස් නිර්මාණය කරන ලද සාගර් සංගමේ චිත්‍රපටය බර්ලින් සිනමා උළෙලේ පිරි නැමෙන ඉහළම චිත්‍රපටය වූ රන් වළහා සම්මානයට නාම යෝජනා දිනා ගත්තේය. තාගෝරයන්ගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් 1961 වසරේ දී තැනුණ ‘ආග්යා’ නිර්මාණය කරන ලදදේ ද දේබකී බෝස් විසිනි. දේබකී 1945 වසරෙන් පසු චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ දේබකී නිෂ්පාදන නම් ස්වීය සමාගම වෙනුවෙනි.

ජීවත් ව සිටි සමයේ ඉන්දියානු සිනාමකරුවන් අතර දේබකී ඉහළම සිනමාකරුවෙකු ලෙස සැලකුම් ලද්දේ සිනමා කරුවෙතු ලෙස ඔහු පෙන්වන ලද ශාක්‍යතාව හේතුවෙනි.සිනමා සංගීතය භාවිතයේ දී දේබකී ඉන්දියානු රාගධාරි සංගීතයෙන් මෙන්ම ගැමි සංගීතයෙන් ද චිත්‍රපටයට ජීවයක් ලබා ගැන්මට සිය සංගීතඥයන් මෙහෙය වීය. රායි චන්ද් බොරාල් මෙන්ම පන්කජ් මලික්, තිමිර් බරන්, කේම්චන්ද් ප්‍රකාශ්, විශ්ණුදාස් ශිරාලි, අනිල් බිස්වාස් සහ රවි ශංකර් ඔහුගේ චිත්‍රපට සඳහා සංගීතය සැපයූ සංගීත අධ්‍යක්ෂවරුන් විය.

දේබකී බෝස් ගේ චිත්‍රපට සියල්ලම පාහේ පුරාවෘත්ත පාදක කොට ගත්තේ වී නමුදු ඔහු එම චරිත නිර්මාණය කරන ලදදේ සර්වකාලීන මානව හැඟීම් ඉස්මතු කරන ආකාරයෙනි.දේබකී බෝස් පිළිබඳ පසුකලෙක සත්‍යජිත් රායි පවසනුයේ නියත වශයෙන්ම ඔහුගේ සිනමා චරිත මානව හැඟීමෙන්, සහ සම්බන්ධයන්ගෙන් පිරුණු ඒවා බවය.එමෙන්ම රායි ඔහු එය ඉදිරිපත් කරන විලාසය භාවාතීශය නොවන බව ප්‍රශංසනාත්මකව සඳහන් කරයි.

නිව් තියවර්ස් වෙනුවෙන් ම දේබකී නිර්මාණය කරන ලද රාජ්රාණී මීරා(1933) විද්‍යාපති (1937) ද සිනමා විචාරකයන්ගේ ද රසිකයන්ගේ ද නොමද පැසසුමට හේතු විය. ‘විද්‍යාපති’ චිත්‍රපටයට පාදක වනුයේ 14 වැනි සියවසේ මෛතිලි බසින් නිර්මාණකරණයේ යෙදුණ විද්‍යාපති නම් කවියකු පිළිබඳ පුරාවෘත්තයකි.මිථිල රජුගේ රාජකීය කවියා වන විද්‍යාපති කෙරෙහි රජුගේ අග බිසව අනුරාගී සිතක් පහළ කර ගැන්ම මේ වෘතාන්තයට නිමිති වෙයි.

රජු සහ කවියා අතර ඇත්තේ ඉතා දැඩි මිත්‍රත්වයකි.චිත්‍රපටය නිම වනුයේ ශෝකාන්තයකිනි. බිසව වස පානය කරන අතර රජු එයින් හද සිදුරුව මිය යයි.නිව් තියටර්ස් සමාගම සමඟ ගිවිසුම් ඇති කරගත් සිනමාකරුවන් අතර වෙනත් සිනමා සමාගම් සමඟ චිත්‍රපට නිර්මාණයට අවසර ලැබුණේ දේබකී බෝස්ට පමණී.ඔහු චිත්‍රපටයක් නිර්මාණය සඳහා කිසි විටෙකත් ඉක්මන් නොවූ අතර රූ ගැන්විමට දීර්ඝ කාලයක් ගත කළේය.

එයට ගත කරන කාලය ඔහු වැදගත් කොට සැලකුවේ නැත.එමෙන්ම චිත්‍රාගාර සැලසුම් තුට්ටුවකට මායිම් කළේ නැත. ඔහුට අවශ්‍ය වනුයේ තම චිත්‍රපටය අංග සම්පූර්ණයෙන් නිර්මාණය කිරීමය. එමෙන්ම සිනමාකරුවකු ලෙස ඔහු ඉහළම මිලක් අය කළේය.ඔහු ගේ සිනමා නිර්මාණයන්ගේ ශක්‍යතාවයම නිර්මාණකරුවකු ලෙස ඔහුගේ පැවැත්මට අහිතකර විය. පසු කලෙක තමන්ගේම නිෂ්පාදන සඳහා යොමු වන්නට දේබකී බෝස්ට සිදු වනුයේ එහෙයිනි.නිව් තියටර්ස් සමාගමේ අනිත් සිනමාකරුවා වූයේ පී.සී.බරුවා ය.

මතු සම්බන්ධයි