අපි හඳ පෙන්වූයෙමු
‘සැමී ගේ කතාව’ පිළිබඳ තවත් නොකී කතාවක් ...
අපි හඳ පෙන්වූයෙමු
ඔවුහු ඇඟිල්ල දෙස බලා සිටියහ
සැමී ගේ කතාවේ නොකී කතාව යන මැයෙන් මවිසින් සරසවියට ලියන ලද ලිපියටත් සිළුමිණ
පුවත්පත සදහා එහි මාධ්‍යවේදී වසන්ත ජයසිංහ ආරච්චි විසින් ලියන ලද ලිපියටත්
පිළිතුරක් ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව මගින් එවන ලද ලිපිය පසුගිය සතියේ අප විසින්
පළ කරන ලද්දේ පිළිතුරු දීමේ අයිතිය සළකා ගෙනය. එහෙත් එහි එන ඇතැම් කරුණු මගේ මුල්
ලිපිය නොසලකා වෙනත් අරමුණකින් ලියන ලද්දක් සේ හැඟෙන්නකි. මගේ ලිපියේ එන කරුණු සඳහන්
කරන ලද්දේ අවලාද නැගීමේ අරමුණින් නොවේ.එය අලුත් සිනමාකරුවන් ගේ චිත්‍රපට හරහා නව
සිනමා වෙළඳ පොළක් නිර්මාණය කර ගැනීමේ ඇති හැකියාව පිළිබඳ විමසා ලියන ලද්දකි.
එහෙත්
එකි කරුණු පිලිබඳ නොසලකා ලිපියේ ඇති වෙනත් කොටස් පමනක් සළකා අවලාද නැගුයේයැයි චෝදනා
පත්‍රයක් එවන්නේ මන්දැයි නොවැටහෙන්නකි. එබැවින් මේ ලිපිය ලියනුයේ සංස්ථාව අපවාදයට
ලක් කිරීම සඳහා නොවන බැව් තරයේ සිහිපත් කර ගත යුතුය. සංස්ථාව අපවාදයට ලක් කළ හැකි
කරුණු ඕනෑ තරම් අප සතුව ඇතත් ඒ එකක් වත් නොලියන්නේ සංස්ථාව පිළිබඳ පෞද්ගලිකව මා තුළ
ඇති කෘතවේදී හැඟිම නිසා බැව් සඳහන් කරන්නට කැමැත්තෙමි. මන්ද 1988 වසරේ සංස්ථාව
මගින් මෙරට මෙන්ම විදේශීය සිනමාකරුවන්ගේ ද සහභාගිත්වයෙන් පවත් වන ලද සිනමාකරණ
පාඨමාලාව හදාරන්නට තෝරා ගත් සිසුන් අතර මම ද එක් අයෙක් වීමය.
එය මගේ ජිවිතයේ හැරවුම්
ලක්ෂයක් සේ මා ගණන් ගන්නා බැවිනි.පසුව එහි සිසුන්ගේ සාමාජිකත්වයෙන් පිහිටුවා ගෙන
කොළඹ අගනා සිනමා සමාජයක් ලෙස පවත්වා ගෙන ගිය 88 සිනමා කවයේ සභාපති පදවිය හොබ වන
ලද්දේ ද ම විසිනි. එබැවින් සංස්ථාව කෙරෙහි මා සතු හැඟීම ගෞරවනීය එකකි.
සැමී ගේ කතාව පිළිබඳ සංස්ථාව මගින් කරන ලද්දේ යැයි කියනු ලබන කටයුතු එසේ සිදු වී
නම් ප්‍රශංසනාත්මකය.අනර්ඝය.උත්කෘෂ්ටය.එහෙත් චිත්‍රපටයක් තවමත් රැඟුම් පාලක මණ්ඩලයට
බාර දෙනු ලබනුයේ චිත්‍රපට සංස්ථාව හරහාය.සැමීගේ කතාව චිත්‍රපටය ද එලෙසමය. එහෙත්
සැමීගේ කතාව චිත්‍රපටය ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට අනුමැතිය සඳහා යවනු ලබන්නේ
සංස්ථාව හරහා වුවත් එය ආපසු එවන්නේ සංස්ථා ගබඩාවට වුවත් සංස්ථාව පවසන පරිද්දෙන් ඉන්
එහා කිසිදු ලිපියක් චිත්‍රපටය සඳහා ලිපි ගොනුවේ නැත කියා සංස්ථාව පවසයි.
අපවාදයක්
නොවූවත් ඒ පිළිබඳ මම විමසා නොසිටින්නෙමි.දේශීය සිනමාව පිලිබඳ ගවේෂකයකුට ඒ පිලිබද
සොයා යා යුතු තැනක් වෙත් දැයි අනාගතයේ හෝ වෙත්දැයි මම නොදනිමි.සරසවිය සිනමා උළෙල
වාර්ෂිකව සංවිධානය කරන සමයේ චිත්‍රපට බෙදා හැරීම කවර සමාගමක් අතින් සිදු කළ ද අදාල
චිත්‍රපට තිර ගත වීම පිළිබඳ අප මුල් සහතික ලබා ගන්නේ චිත්‍රපට සංස්ථාවෙන්ය.ඒ එය කවර
ආයතන තිබුණ ද මෙරට සිනමාවේ බලධාරියා යන විශ්වාසය නිසාය. එසේ සිතීම අවලාදයක් නම් ඒ
පිළිබඳව නොසිතා සිටින්නට මම උත්සාහ කරමි.
එමෙන්ම සැමී ගේ කතාව තිර ගත කළ හැක්කේ 2015 වසරේ යැයි පැවසුවේ වෙනත් පෞද්ගලික සිනමා
සමාගමක් යැයි මා ලියු ලිපියේ පැහැදිලිව සඳහන් ව ඇත.එයට සංස්ථාවේ නම ඈඳා ගැනීම ලිපිය
උඩින් පල්ලෙන් කියවා පිළිතුරු දීමක් දැයි යන සැකයක් මසිත උපදී. අවලාද නැඟීමක් ලෙස
සිතන බැවින් ඒ ගැන නොවිමසමි.එහෙත් එක් දෙයක් කිව යුතුය.කිසියම් ආයතනයක් පිළිබඳ
ලිපියක් ලිවීමට පුවත්පත් කලාවේදියකුට අයිතියක් ඇති බවය.විශේෂයෙන් එය රාජ්‍ය ආයතනයක්
නම් එහි වගකීම වැඩි වනුයේ එබඳු ආයතනයක් යනු රටේ බදු මුදල් බැවිනි. එහි අක්‍රමිකතා
ඇතොත් එය හෙළිදරව් නොකිරීම රජයක් පවා නොමග යැවීමක් වන බව නම් සදහන් කළ යුතුය.
මගේ ලිපියේ අවධාරණය කර සිටිනුයේ යහපත් සිනමාකරුවන් වෙනුවෙන් හොඳ වෙළෙඳපොළක් සකසා
ගැනීම පිණිස අවධානය යොමු විය යුතු කාරණා කිහිපයක් විනා වෙනත් අවලාදයක් නොවේ. එය වඩා
අර්ථවත් කර ගත හැක්කේ මේ වන විට අවධානය දිනා ඇති සැමීගේ කතාව චිත්‍රපටය මුලින්ම තිර
ගත කරවීමෙනි. ඒ එයට මේ වන විටත් මෙරට යම් ප්‍රසිද්ධියක් ඇති වී ඇති හෙයිනි. එමෙන්ම
එබඳු චිත්‍රපට පිළිබඳ අලුත් වෙළෙඳපොළක් ඇති කර ගැනීමේ මාර්ග පිළිබඳව ද මම එහිලා
අවධානය යොමු කළෙමි.එහෙත් හඳ පෙන්වද්දි ඇඟිල්ල දෙස බලා සිටියා වැනි පිළිතුරු ලිපියක්
ලිවීමෙන් කර ඇත්තේ වෙනත් විස්තරයකි. තිර ගත වූ සිනමා කෘති කිහිපයක් පිළිබඳ
පුරසාරමක් ලෙස චිත්‍රපටවල නම් කිහිපයක් සඳහන් කළ ද ඒ අතරින් සිනමාව ලෙස හඳුනා ගත
හැකි චිත්‍රපට ඇත්තේ කීයද? ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවීමේ දී එක් සංකල්පයක්
වූයේ යහපත් සිනමාවකි.
එය පේ‍්‍රක්ෂකයන්ගේ බුද්ධියට නිගා නොදෙන සිනමාවකි.පස් වන
මණ්ඩලය බිහි කරන ලදදේ දේශපාලන අවශ්‍යතාවක් මත වුවත් එය හොඳ චිත්‍රපට පිළිබඳ කදිම
සහතිකයක් විය. මේ නිසාම ඇතැම් සිනමාකරුවන් පවා තම චිත්‍රපට නියමිත සහතිකය නොමැතිව
හෝ එහි තිර ගත කරවා ගැන්මට උනන්දු වු වග රහසක් නොවේ.එහෙත් අද බොහෝ විට සිදුවනුයේ එය
නොවේ.එනම් බොහෝ විට සංස්ථාවට කිසිදු ප්‍රමිතියකින් තොරව චිත්‍රපට පෙන්වීමට සිදු
වීමය. මා මගේ මුල් ලිපියේ සදහන් කොට ඇත්තේ සංස්ථාව මගින් තිර ගත කරනු ලබන බොහෝ
චිත්‍රපට යනුවෙනි. බොහෝ යන වචනයේ අර්ථයක් ඇති වග නොවැටහුනේ මන්දැයි ඇසීම අවලාද
නැගීමක් නොවන්නේයැයි සිතමි. එහෙත් එක් දෙයක් කිව යුතුය. එහි සඳහන් කරන ලද වැදගත්
චිත්‍රපටයක් වන 'ආගන්තුකයා' චිත්‍රපටය වාණිජමය වශයෙන් අසාර්ථක වූයේ මන්දැයි වෙනම
සොයා බැලිය යුතුය.
මන්ද එහි තේමාව අතින් ද නිර්මාණය අතින් ද වැදගත් එකක් වූ
බැවිනි.පසුව සරසවිය සම්මානයට පාත්‍ර වූ සංස්ථාවේ එම නිෂ්පාදනය මෙරට ටෙලිවිෂන නාළිකා
මගින් හෝ ගෘහස්ථ සිනමාව මගින් හෝ තිර ගත කරමින් සංස්ථාවට අමතර ආදායමක් ලබා ගත
නොහැකියැයි සිතීම අවලාදයක් ලෙස වටහා ගනු ඇතැයි සිතමි. එමෙන්ම සිනමා මණ්ඩල අතර හොඳම
නාගරික ජනාවාස ආශ්‍රිත සිනමාහල් ඇත්තේ සංස්ථාව සතුව යැයි අප සඳහන් නොකරන්නේ එය
අවලාදයක් යැයි සිතා ගත හැකි බැවිනි.පුරසාරම් සඳහා නම් කළ ඇතැම් චිත්‍රපට සිනමා
විචාරයේදී සැළකිය යුත්තේ කවර මට්ටමින් ද යන්න වෙනම සුන්දර හැඟීමක් ගෙන එන්නේය.
පසුගිය කාලයේ සංස්ථාව පිළිබඳ ඇතැම් වැදගත් පුවතක් පමණක් නොව 1983 වසරේ ගින්නට
අසුවුණා යැයි පවසන ඇතැම් චිත්‍රපට පිළිබඳ සරසවිය මගින් කළ හෙළිදරව්ව පිළිබඳවත් නොවූ
උනන්දුවක් සැමීගේ කතාව හරහා ඇති වීම පිළිබඳ සතුටක් ඇති වේ. එය මෙහි ලා සටහන් කරනුයේ
එයත් අවලාද මට්ටමින් සළකතැයි යන සැකයෙන් යුතුවය. කෙසේ වෙතත් වසර ගණනාවක් මෙරට
මාධ්‍යවේදීන්ට සංස්ථාව මගින් ලබා දුන් චිත්‍රපට නැරඹීමේ අවසර පත්‍රය පසුගිය වසර වන
විට බොහෝ සිනමාහල් විසින් ප්‍රතික්ෂේප කරණ ලදී. ඒ පිළිබඳ සිංහ සෙයියාවෙන් යුතුව කතා
කළ සංස්ථාව අවසානයේ, මාධ්‍යවේදියා සහ ඔහු සමග එන තවත් අයෙකුට යනුවෙන් එතෙක් තිබූ
අවසර පත මාධ්‍යවේදියාට පමණක් සංශෝධනය කළේය. එය ද නිකුත් කරන ලද්දේ සීමිත පිරිසකට
පමණී. අවසානයේ එලෙස නිකුත් කළ අවසර පත්‍රය ද සිනමාහල් විසින් ප්‍රතික්ෂේප කරන බව
මාධ්‍යවේදීන් කියා සිටිනුයේ සංස්ථාවේ හැකියාව ඉතා ලඝු කොට වුව ද අප ඒ බව පවා මෙහි
සඳහන් කරන්නේ නැත. අවලාදයක් ලෙස සිතන බැවිනි.
කෙසේ හෝ වේවා අපි 'සැමී ගේ කතාව' සමග යහපත් චිත්‍රපට නැරඹීමේ මණ්ඩලයක් සංස්ථාවෙන්
බිහිවේ යැයි අපේක්ෂා කර සිටින්නෙමු. එසේ අපේක්ෂා කරන්නේ අවලාද අසන්නට නොවේ.
අරුණ ගුණරත්න
|