වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ගිම් සඳ පායා - අවරේ ගිලුනා

ගිම් සඳ පායා - අවරේ ගිලුනා
කොහේදෝ නිශාලියේ අත්හැරදා මා සැඟවුණේ

මම රැල්ලට ගීත නිර්මාණය කරන්න කැමැති නැහැ. මම හිතන්නේ ප්‍රවීණයන්ගේ සහාය ලැබෙන්නත් එය හේතුවක් වෙන්න ඇති කියලා. සිංදුවෙන් සිංදුවට වෙනසක් කරන්න තමයි මම හැමදාම බලාපොරොත්තු වෙන්නේ.

හැන්දෑව එනකං ගං ඉවුරේ දුර
ඉම පෙනේ
ආගිය හැටි තුරුලු වී
සිහිවේ සැමදා හසකැන් පෙම්නුරා -
නිශාලියේ
හිරිකඩ පොද වැස්සේ ගත
පෙළෙනා රුදු හීතලේ
සැඟවුණු හැටි පපුතුරේ
හිඳිමී සැමදා මතකයේ හද දරා -
නිශාලියේ

ආදරයේ විරහව ගැන කියවෙන මේ අපූරු ගීතය ඔබ මේ වන විටත් රස විඳලා ඇති. වර්තමානයේ එළිදකින බොහොමයක් ගීත අතර වෙනස්ම ආකාරයේ නිර්මාණයක් ලෙස බිහි වූ නිශාලියේ (ගිම් සඳ) ගීතය ගායනා කරන්නේ මනීෂ කුඹුකගේ.

මුලින්ම මේ ගීතය සහ එහි රූප රචනය ගැන කියමු?

මෙය ආදරයේ විරහව තේමා කර ගත් ගිතයක්. වෙන් වුණු ආදරවන්තයන් දෙදෙනෙක් දෙපසට වී වෙන්වීම ගැන පසුතැවෙන කතාවක් තමයි මෙයින් කියවෙන්නේ. නමුත් අපි එය සෘජුවම වීඩියෝව හරහා ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නේ නැහැ. ගීතය රචනා කළේ චාමින්ද රත්නසූරිය. ගී තනු නිර්මාණය කළේ මමයි හර්ෂණ විජයසිංහයි. සංගීතය ප්‍රියාත් සඳ කැලුම් පෙරේරා සහ හර්ෂණ විජයසිංහ. වීඩියෝ එකේ ග්‍රැෆික් සංස්කරණය කළෙත් මා විසින්මයි.

කොහොමද ගීතයට ලැබෙන ප්‍රතිචාර?

ගුවන් විදුලි නාලිකා වගේම රූපවාහිනී නාලිකා හැම එකකම ගීතය විකාශය කෙරෙනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අනෙක් ගීත අතර වෙනස් වූ ගීතයක් කියලා හැමෝම කියනවා.

ඉදිරියේදී එළිදකින්න නියමිත තවත් ගී නිර්මාණ එහෙමත් ඇති නේද?

මීට පෙර මම ‘හෙමින් - හෙමින්’ නමින් ගීතයක් නිර්මාණය කළා. එය තවම ගුවන් විදුලි හෝ රූපවාහිනී නාලිකාවලට ලබා දුන්නේ නැහැ. එය මේ වන විට අන්තර් ජාලය ඔස්සේ රස විදින්න අවස්ථාව තියෙනවා. ඒ හැරුණාම තවත් ගීත 2 ක් එළි දකින්න නියමිතයි. ඒවායෙත් ගී තනු සහ සංගීත නිර්මාණය කරන්නේ මම. ඉදිරියේදී ඒ ගීත එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

මනීෂ සංගිත ක්ෂේත්‍රයට පැමිණි ගමන ගැනත් කියමු නේද?

මගේ තාත්තා සමන් කුඹුකගේ. ඔහු සංගීත ශිල්පියෙක්. ඒ ආභාසය තමයි මට ලැබුණේ. පුංචි කාලෙදී සංගීතය හැදෑරුවා. උසස් අධ්‍යාපනයට යොමු වුණේ ඉංජිනේරු අංශයෙන්. මේ වන විට ව්‍යාපාරික කටයුතු සමඟින් තමයි සංගීත කටයුතුවල නිරත වෙලා ඉන්නේ.

ඉංජිනේරු ක්ෂේත්‍රයේ කටයුතු කරන ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසීමේදී ලැබුණු සහාය ගැනත් සඳහන් කළොත්?

ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා. ප්‍රවීණ ශිල්පීන් රැසක් මගේ නිර්මාණ ගැන අදහස් දක්වලා තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. මම රැල්ලට ගීත නිර්මාණය කරන්න කැමැති නැහැ. මම හිතන්නේ ප්‍රවීණයන්ගේ සහාය ලැබෙන්නත් එය හේතුවක් වෙන්න ඇති කියලා. සිංදුවෙන් සිංදුවට වෙනසක් කරන්න තමයි මම හැමදාම බලාපොරොත්තු වෙන්නේ.

කලා ක්ෂේත්‍රයේ ඉදිරි ගමන?

ව්‍යාපාරික කටයුතු වගේම සංගීත කටයුතුත් දෙකම සමබරව කරගෙන යනවා. අනාගතයේදී චිත්‍රපට අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.