වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




‘තාල් නයිට් නිර්මාණ හා සම්මාන රාත්‍රිය’ අද ලුම්බිණියේදී

‘තාල් නයිට් නිර්මාණ හා සම්මාන රාත්‍රිය’ අද ලුම්බිණියේදී

ලංකා චාමරගේ ප්‍රධානත්වයෙන් ගෙන එන ‘තාල් නයිට් නිර්මාණ හා සම්මාන රාත්‍රිය’ අද දින (18 වැනිදා) ලුම්බිණිියේදී පැවැත්වීමට නියමිතය. ප්‍රචාරණ ක්ෂේත්‍රයේ වසර දහඅටක් පුරා සිය නිර්මාණකරණයේ අලුත් ඉසව් සොයා ගිය තරුණයකු ලෙසින් ඔබ හමුවට පැමිණෙන ලංකා චාමර කලා කෙතෙහි විවිධ මං පෙත් සොයා සැරිසරන්නෙකි.

‘මා මාස්ටර් වයින්ඩිස්’ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම්කරු වුණත් ඒ තිබෙන කාර්යබහුලත්වයත් සමඟ ගෙවන්නේ බොහොම අවිවේකී ජීවිතයක්. ඒ් අවිවේකී ජීවිතය අතර මා බොහොම ආදරය කරන කලා කටයුතුවල නියැලීමට යම් කාලයක් සොයා ගැනීමට මට හැකි වුණා. එහි ප්‍රතිඵලයක් තමයි ‘තාල්’ ඇකඩමිය බිහි වෙන්නේ. ඒ හරහා විවිධ කලා නිර්මාණ වේදිකාවට රැගෙන පැමිණෙමින් කලාවට හා සමාජයට යම් මෙහෙවරක් කිරීමයි මගේ පරමාර්ථය වුණේ. ඒ පරමාර්ථය සැබෑ කරමින් අපි තාල් ඇකඩමිය හරහා කළ මුල්ම නිර්මාණය වුණේ ’ශ්‍රී ලංකන් කැරොකේ’ වේදිකා නාට්‍යයයි.

අද ලංකාවේ කලා ක්ෂේත්‍රයේ දිදුලන අසන්ති නාලිකා වගේ ශිල්පිනියක් වේදිකාවට පැමිණියේ මේ වේදිකා නාට්‍යය හරහායි. ඊට පස්සේ ‘තාල භාවනා’ මුද්‍රා නාට්‍යයත්, 2008 වසරේදී ‘ඇඳිරිය’ වේදිකා නාට්‍යයත් සමඟ අපි වේදිකාවේ සැරිසැරුවා. 2010 වසරේදී ගීත 134 ක් අඩංගු ‘දෑල’ ගීතාවලිය මා නිර්මාණය කර එළි දැක්වූවා. ඒක මගේ ජීවිතයේ බොහොම සුවිශේෂී මොහොතක්. ගායනය, සංගීතය, නර්තනය, රංගනය කියන මේ සියලු අංශයන් ඔස්සේ ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමේ හැකියාව අපි සතුයි.

කලාකරුවෙක් විදියට සමාජයට සිදු විය යුතු මෙහෙවරක් තිබේ යැයි මා විශ්වාස කරනවා. මගේ නිර්මාණ හරහා මා කරන්නට බලාපොරොත්තු වන්නේ එවැනි මෙහෙවරක්. ළඟදීම මගේ පළමු සිනමා නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ කිරීමට මා අදහස් කරනවා. යුද්ධය නිසා අන්ධ වූ යුවතියකගේ හැඟීම් පිළිබඳ හා ඇයට සමාජයේදී විඳින්නට වූ කරදරකාරී මිනිසුන්ගේ පීඩාව පිළිබඳ කියනා පසුබිම් මුල් කර ගනිමින් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මෙතෙක් යුද්ධය පිළිබඳ නිර්මාණ අපේ රටේ බිහි වී තිබුණත් ඔවුන්ගේ හැඟීම් පිළිබඳ කතාබහ කෙරෙන නිර්මාණවල අඩුවක් මා දකිනවා. මේ සිනමා නිර්මාණයෙන් උත්සාහ ගන්නේ ඒ රික්තය පිරවීමයි.

තාල් ඇකඩමිය හරහා කෙටි කාල සීමාවකදී විශාල ශිල්පීන් පිරිසක් කලාවට දායාද කරන්නට මට හැකියාව ලැබුණා. ඔවුන්ව දිරි ගන්වන්නට මේ අවුරදු දහය ප්‍රමාණවත් කියලා මට සිතුණා. අවුරුදු දහයේ සංවත්සරය මූලික කර ගනිමින් තාල් නයිට් නිර්මාණ හා සම්මාන රාත්‍රිය සංවිධානය කරන්න හිතුවේ ඒ නිසාමයි. මා මෙවැනි ප්‍රසංගයක් කරන්නේ පළමු වතාවටයි. එය දැවැන්ත ප්‍රසංගයක් වේවි. ඒ වගේම අද අපේ රටේ තරුණ තරුණියන්ට තමන්ගේ දක්ෂතා ඔස්සේ නිර්මාණ සඳහා දායකවීමට අවස්ථාවක් ලබාදීමටත්, නිර්මාණකරුවන්ට තම නිර්මාණ සඳහා සුදුසුම ශිල්පීන් සොයා ගැනීමේ පහසු මඟක් ලෙස ආධුනික හා ප්‍රවීණයන්ගේ තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ජනගත කිරීමත් සිදු කරන්නේ එදිනමයි. මා මෙතෙක් කළ නිර්මාණ කිහිපයක් රැගත් ගීත කිහිපයක් ද එදිනට එළි දැක්වෙනවා. එන්න ඔබටත් මේ ප්‍රසංගය විවෘතයි. මා ඔබට මේ ආරාධනා කරන්නේ’තාල්’ ප්‍රසංගය නරඹන්නයි.