|
|
අපි මේක සුහදව බේරා ගනිමුආචාර්ය සෝමරත්න දිසානායක
වත්මන් සිනමා ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතය ඔහු යැයි කිවහොත් එය නිවැරැදිය. ඇතැමුන් පවසන පරිදි අද අපේ සිනමාවේ ප්‍රධාන ‘දුෂ්ටයා’ ද ඔහුය. එහෙත් සිනමාව අරබයා වූ ඔහුගේ භූමිකාව එසේ ලඝු කොට දැක්වීම ඔහුට කරනා අසාධාරණයකි. එහෙයින් මම මෙසේ කියමි. ‘වත්මන් ලාංකේය සිනමාවේ ආකර්ෂණීය නොඑසේ නම් අධි ප්‍රතිචාර සිනමා රැල්ලේ පුරෝගාමියා’. ඔහු අනිකකු නොව ආචාර්ය සෝමරත්න දිසානායකය.
සෝමරත්න දිසානායක, අද අප මේ සංවාදයට එක්කර ගන්නේ මේ ප්‍රවණතාවේ කේන්ද්‍රීය චරිතය ඔහු වන බැවිනි.
* අද අපේ සිනමා ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතය ඔබ. එහෙම වෙන්නේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ප්‍රදර්ශනයත් සමඟ. අපි එතනින් මේ කතාව අරඹමු? මෙහෙමයි, ‘සිරි පැරකුම්’ චිත්‍රපටය තිරගතවීමටත් පෙර සිටයි මේ ආන්දෝලනය ඇති වුණේ. මේ ආන්දෝලනය ඇති වෙනවා පැති කිහිපයකින්. මේ චිත්‍රපටය දැවැන්ත නිර්මාණයක් නිසා එක්තරා විදිහක බලාපොරොත්තුවක් තිබුණා ප්‍රේක්ෂකයන්ගේ. ඔවුන් ‘සිරි පැරකුම්’ ප්‍රදර්ශනය කරන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ. අනෙක් පැත්තෙන් ආන්දෝලනයට තුඩුදුන් කරුණ වුණේ චිත්‍රපටයක් ප්‍රදර්ශනයේදී එය පිටපත් තිස් පහකට සීමා කිරීමට ගත් පියවර. නමුත් සහතික වශයෙන්ම මම දැනගෙන හිටියා එම සීමාව මගේ චිත්‍රපටයට අදාළ නොවන බව.
* ඒ ඇයි? ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මම ආරම්භ කළේ මේ නීතිය පනවන්න කලින්. ඒ නිසා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමටත් පෙර මම කියා සිටියා මේ නීතිය මට වලංගු නොවන බව. මොකද චිත්‍රපට සංස්ථාව පිටපත් තිස් පහේ නීතිය ක්‍රියාත්මක කළේ 2013 ජනවාරි පළමුවැනිදා සිට නිසා. මේ බව මම චිත්‍රපට සංස්ථා සභාපතිතුමාට කිව්වා. ඔහු පිළිගත්තේ නැති නිසා ඇමැතිතුමාටත්, ඊට පස්සේ ජනාධිපතිතුමාටත් මේ ප්‍රශ්නය යොමු කළා.
* එතකොට ඔබ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළේ කොයි කාලේද? 2010 වසරේ ඉඳන් මම මේ චිත්‍රපටයට සූදානම් වුණා. ඒ මොහොතේ රටේ මෙවැනි සීමාවක් පනවා තිබුණේ නෑ. එහෙම සීමාවක් තිබුණා නම් මම ‘සිරි පැරකුම්’ වගේ දැවැන්ත චිත්‍රපටයකට අත තියන්නේ නෑ. මම ඒ කටයුත්තට මුල පිරුවේ පිටපත් පනහට වැඩියෙන් මුද්‍රණය කරලා. ඒ ප්‍රචාරක කටයුතු දියත් කරලා මගේ වියදම් පියවා ගන්නවාය කියන සැලැස්ම ඇතිව. ඒ නිසා මම දැනගෙන හිටියා මේක කරන්න මට අයිතියක් තියෙනවා කියලා. සභාපතිතුමා එය පිළිනොගත්ත නිසා මට සිදු වුණා ඊට ඉහළ තැන්වලට මේ අවනඩුව කියන්න.
* ඇමැතිතුමාට මේ ගැන කිව්වා කියා ඔබ සඳහන් කළා. කවුද ඒ ඇමැතිතුමා? ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල. ඒ අමාත්‍යාංශය යටතෙනේ චිත්‍රපට සංස්ථාව පාලනය වෙන්නේ.
* ඇමැතිතුමා මොකද කිව්වේ? දැනට සිනමා ශිල්පින්ගේම විරෝධයක් මේ පිටපත් ප්‍රශ්නය නිසා මතුව තිබෙන හන්දා මේ බව ජනාධිපතිතුමන්ට දැනුම් දෙන්න කියලා එතුමා කිව්වා. මම ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළා. මම විතරක් නෙවේ, මහාචාර්ය සුනිල් ආරියරත්න, රෝහණ වීරසිංහ, ජැක්සන් ඇන්තනි, සුගත් සමරකෝන්, සුනිල් ටී. ප්‍රනාන්දු, ගයාන් රණධීර හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර වැනි අයත් ඒ ලිපියට අත්සන් කළා. * මොකක්ද ඔබේ ඉල්ලීම වුණේ? පිටපත් තිස් පහේ නීතියට ඉදිරියේදී බැඳී සිටින්නට එකඟ වෙන නමුත් ‘සිරි පැරකුම්’ චිත්‍රපටය ආරම්භ කළේ මෙම නීතිය පැනවීමට පෙර නිසා පිටපත් තිස් පහේ සීමාවෙන් එය මුදා හරින ලෙස තමයි අප ඒ ඉල්ලිම කළේ.
* ජනාධිපතිතුමන්ගේ ප්‍රතිචාරය? එතුමා අප ඒ ඉල්ලීම කළ පමණින් එය අනුමත කළේ නෑ. ඒක විභාග කරලා බලලා අදාළ බලධාරීන්ගෙන් විමසලා, සිනමාකරුවන්ට කතා කරලා, මම චිත්‍රපටය ඇත්තටම ආරම්භ කළේ කවදද කියලා හොයලා බලලා, ඒ විදිහේ ගවේෂණයකින් පස්සේ තමයි ජනාධිපති ලේකම්වරයාට උපදෙස් දෙන්නේ ‘සිරි පැරකුම්’ තිස්පහේ නීතියට වලංගු නෑ කියලා. ඊට පස්සේ ගාමිණී සෙනරත් මහතා තමයි ලිපියක් යොමු කරන්නේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත් මහතාට මේ චිත්‍රපටය ඒ කොන්දේසියෙන් නිදහස් කරන්න කියලා.
* ඒ ලිපියේ පිටපතක් ඔබ ළඟ තියෙනවාද? ඔව්. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂය යොදා චරිත හේරත් මැතිතුමාට යැවූ ලිපියේ පිටපත මා ළඟ තියෙනවා.
* සමහරු ඔබට අභියෝග කළා හැකි නම් මේ ලිපිය පෙන්වන්න කියා? ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ආචාර්ය මාලිනී ෆොන්සේකා මහත්මියත් ‘සරසවිය’ හරහා මට ඒ අභියෝගය එල්ල කර තිබුණනේ. ඇය වගකීමෙන් කළ බව කියන ඒ ප්‍රකාශය බොරුවක්. ඒ අභියෝගයෙන් එයා පරාදයි. මා ළඟ ඒ ලිපිය තියෙනවා. නමුත් ‘සරසවිය’ පුවත්පතට ඒ ලිපිය දීලා ඒක එහි පළ කළොත් එතුමියට මොකද වෙන්නේ. මම වගකීමෙන් යුතුව කළ ප්‍රකාශය බොරුවක් කියනවා නම් එතුමියට ඒ ගැන පියවරක් ගන්න තිබුණා. එතුමිය කියන විදිහට ජනාධිපතිතුමන් නොකළ දෙයක් කළාය කියලා මම බොරුවක් කරනවා. එහෙම නම් ඉතින් ජනාධිපති කාර්යාලයෙන් මට විරුද්ධව පියවරක් ගන්න ඕනෑනේ.
* ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මේ ලිපිය අදාළ බලධාරීන්ට යොමු කළ බවයි ඔබ පැහැදිලිව කියන්නේ? ඔව්. ජනාධිපතිතුමා කාටවත් ලියුම් ලිය ලියා ඉන්නේ නෑනේ. ජනාධිපතිවරයකුට ඊට වඩා වැඩ තියෙනවා. නමුත් එතුමන්ගේ නිල ලාංඡනය යටතේ ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කළ ලිපියක් කියන්නේ ඒක ජනාධිපතිතුමාගේ නියෝගයක්.
* ආන්දෝලනයට තුඩු දුන් ඔය ‘ලිපිය’ ප්‍රසිද්ධ මාධ්‍යයට නිකුත් කරන්න ඔබට පුළුවන්ද? පුළුවන්, ඒත් මම දන්නේ නෑ එක කොයි තරම් සදාචාරාත්මකද කියලා. ඇත්තටම ඒක මට දීපු පිටපතක්. ජනමාධ්‍ය ලේකම් චරිත හේරත් මහතාට යැවු ලිපියේ පිටපතක් තමයි මට යොමු කර තිබෙන්නේ. ඒ ලිපිය දැන් මේ මගේ ළඟ තියෙනවා. පුළුවන් නම් මේක පත්තරේ පළ කරන්න. මගේ විරුද්ධත්වයක් නෑ. මේක රහසක් නෙවේ. වෙනත් පුවත්පත්වලින් පවා මට අභියෝග කර තිබුණා මේක පෙන්නන්න කියලා. ඒ නිසා මේක දැන් මට පෙන්වන්න ඕනෑ. මම ඒ පුවත්පත්වලින් ඉල්ලා සිටිනවා මේ ලිපිය පළ කරන්න කියලා.
* ඔබේ විරුද්ධවාදින්, ඒ කියන්නේ පිටපත් තිස්පහේ පිරිස නගන ප්‍රබල තර්කයක් තමයි ඔබ මේ චිත්‍රපටයේ මුහුරත් උළෙල පවත්වන්නට පෙරාතුව මේ නීතිය අසවල් දවසේ සිට ක්‍රියාත්මක වන බවට පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබූ බව. ඊට ඔබ දෙන පිළිතුර? මේක හරිම සරල පිළිතුරක්. එහෙම ප්‍රකාශ කරන පිරිස දැනගන්න ඕනෑ ‘මුහුරත් උළෙලක්’ කියන්නේ මොකක්ද කියන එක. මුහුරත් උළෙල කියන්නේ චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු ආරම්භය නෙවේ. මුහුරත් උළෙල කියන්නේ චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කිරීමට පෙර පවත්වන උත්සවය. රූගත කිරීමට පෙරයි මම මුහුරත් උළෙල පැවැත්වූවේ. නමුත් මගේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නේ ඊට අවුරුදු දෙකකට කලින්. චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු මොනවද කියලාවත් ඔය සමහරු දන්නේ නෑ.
* සැකෙවින් කිව්වොත්? මූලික අදියර තමයි චිත්‍රපට සංකල්පයේ ඉඳලා තිර පිටපත සකස් කිරිම දක්වා කාලය. හොඳ චිත්‍රපටයක් කරනවා නම් අප ඒ පිළිබඳ ගවේෂණය කළ යුතුයි. පර්යේෂණ කළ යුතුයි. පොත පත පරිශීලනය කළ යුතුයි. සකච්ඡා කළ යුතුයි. මෙවැනි කාරණා අධ්‍යයනය කරලා තමයි තිර පිටපතක් ලියන්නේ. මේකට සෑහෙන කාලයක් යනවා. මුදල් වියදම් වෙනවා. ඊට පස්සේ චිත්‍රපටයට අදාළ පසුතල අපි නිර්මාණය කරගත යුතුයි. දර්ශන තල හොයා ලංකාවේ හතර දිග් භාගේ යන්න ඕනෑ. බ්ලොක් බස්ටර් ගණයේ චිත්‍රපටයක් හැදෙන්නේ එහෙමයි. ඊට පසුව නළු, නිළියන් සොයා ගන්න ඕනෑ. මේවා තමයි පෙර නිෂ්පාදන කටයුතු.
* මුහුරත් උළෙල පවත්වන්නට කලින් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බව සනාථ කිරීමට සාක්ෂි ඔබ ළඟ තියෙනවාද? 2010 වසරේ අවසන් කාලයේ තමයි මම ඒ කටයුතු ආරම්භ කළේ. ඒ පිළිබඳ පළ වූ පුවත්පත් වාර්තා, ඡායාරූප ආදිය මා ළඟ තිබෙනවා. නළු නිළි පරික්ෂණ මණ්ඩල පැවැත්වූ බවට වාර්තා තිබෙනවා. අපි වැඩමුළු තිබ්බා. නළු නිළියන් පුහුණු කළා. ඒවාට විශාල කාලයක් වැය වුණා. ඒ නිසා කවුරු හරි කියනවා නම් මුහුරත් උළෙලෙන් පස්සේ මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කළා කියලා ඒක සැබෑ තතු නොදැන කියන කතාවක්. ඒ වගේම මේ නීතිය පනවන්නට පෙර ‘සිරි පැරකුම්’ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බව සනාථ කිරීමට තවත් ප්‍රබල සාක්ෂියක් තිබෙනවා.
* ඒ මොකක්ද? මේ චිත්‍රපටයට අපි මුදල් යෙදෙව්වේ තනියම නෙවේ. ඊ. ඒ. පී. මණ්ඩලයත් මට ණයක් දීලා තියෙනවා. පොරොන්දු පත්‍රයකට අපි අත්සන් කරලා තියෙන්නේ. ඒක අත්සන් කරලා තියෙන්නේ 2012 වසරේ මුල. ඒ ඔය පත්තරවල දැන්වීම් යන්නත් කලින්. එතකොට මම ගිවිසගෙන, පොරොන්දු වෙලා ඉවරයි. ඒ නිසා මට සාක්ෂි ඇතුව ඔප්පු කරන්න පුළුවන් මේ තිස් පහේ සීමාව පිළිබඳ හෝඩුවාවක්වත් නැති කාලේ අපි චිත්‍රපටයට අත ගැසුවේ කියලා.
* හොඳයි, එතකොට ආකර්ෂණීය, දැවැන්ත එහෙම නැතිනම් බ්ලොක් බස්ටර්ස් වැනි නිර්වචන යොදා ගන්නේ ඔබේ චිත්‍රපටවලට වැයවෙන විශාල පිරිවැය පදනම් කරගෙනමද? නෑ.
* එහෙම නම් කොතනද ඔය දැවැන්තකම තියන්නේ? මෙහෙමයි. විශාල මුදලක් වැය කරලා චිත්‍රපටයක් තැනූ පමණින්ම එය බ්ලොක් බස්ටර් එකක් වෙන්නේ නෑ. බ්ලොක් බස්ටර් එකක් වන්නේ චිත්‍රපටයට යොදා ගන්නා තාක්ෂණය, නළු නිළියන්, පිටපත, ඇඳුම් ආයිත්තම්. එතකොට නිෂ්පාදන පිරිවැය සාමාන්‍ය චිත්‍රපටයකට වඩා ඉක්මවා ගිය විටයි. ඒ වගේම තමයි ඒක දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයකට ලක්වෙන්නත් ඕනෑ. චිත්‍රපටයකට ගොඩාක් වියදම් කළා කියලා ඒක බ්ලොක් බස්ටර් එකක් වෙන්නේ නෑ. ඒක දැඩි ප්‍රේක්ෂක අවධානයටත් ලක්විය යුතුමයි. එහෙම නැතිනම් ඒක ෆේලියර් එකක්.
* දැන් ඔබ චිත්‍රපටයක් තනන්ටත් පෙර කොහොමද පූර්ව නිගමනයකට එළඹෙන්නේ මේක ‘බ්ලොක් බස්ටර්’ එකක් කියලා? එහෙම පුළුවන් වෙන්න ඕනෑ. තමන් කරන වැඩේ පිළිබඳ විශ්වාසයක් තියෙන ඕනෑ කෙනෙකුට එහෙම පූර්ව නිගමනයකට එන්න පුළුවන්. එහෙම නැතුව ලොතරැයි දිනුමක් ඇදෙයි ද, නැද්ද වගේ අවිශ්වාසෙට මේක කරන්න බෑ. තමන් කරන වැඩේ පිළිබඳ දැනුමක්, අවබෝධයක් තියෙනවා නම් ඒ විශ්වාසය තිබිය යුතුයි. දැන් මම මීට කලින් කරපු වැඩවලින් ඒක සනාථ කරලා තියෙනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපටයක් හදනවා කිව්වොත් අපි දන්නවා ඒක අනිවාර්යයෙන්ම සම්මානනීය චිත්‍රපටයක් කියලා. අමරදේවයන් අලුත් ගීතයක් නිර්මාණය කරනවා නම් අපි දන්නවා ඒක සම්භාව්‍ය නිර්මාණයක් කියලා. මාලිනී ෆොන්සේකා මැතිනිය චිත්‍රපටයක රඟපනවා කිව්වොත් එහෙම අපි බලාපොරොත්තු වෙනවා, අපි විශ්වාස කරනවා ඇත්තටම ඒක සම්මානනීය රඟපෑමක් වෙයි කියලා. ඒ නිසා ඕනෑම කලාකරුවෙක් මින් පෙර තමන්ගේ නිර්මාණවලින් සනාථ කරපු දේවල් මත ඔවුන්ගේ ඊළඟ නිර්මාණය ගැන නිගමනයකට එන්න පුළුවන්. කලාකරුවාටත් ඒ අයිතිය තියෙනවා.
* මොන මත ගැටුම් තිබුණත් මාලිනී ෆොන්සේකා මහත්මිය පවා ඔබේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටය ඉහළින්ම වර්ණනා කළා? මාලිනී ෆොන්සේකා මැතිනිය ‘සිරි පැරකුම්’ චිත්‍රපටය නරඹා අතිශයින් තෘප්තියට පත් වෙලා ඒ ගැන ප්‍රකාශයකුත් කළා. මම ඇත්තටම ඒ ප්‍රකාශය අගය කරනවා. එතුමියගේ හෘද සාක්ෂියට එකඟව, ඉතාම නිහතමානීව මගේ චිත්‍රපටය අගය කිරිම ගැන මම සතුටු වෙනවා. මේ තිස්පහේ – පනස් පහේ ප්‍රශ්නෙදි මම හිතන්නේ එතුමියට යම් පටලැවිල්ලක් වෙලා තියෙනවා. මම කියන්නේ නෑ එතුමිය අර ‘ඉරිසියා පෙරමුණේ’ සාමාජිකාවක් කියලා. මොකද මට ඊර්ෂ්‍යා කරන්න එතුමියට කිසිම හේතුවක් නෑ.
* මොකක්ද ඔබ කියන ඔය පටලැවිල්ල? එතුමිය අනුශාසකත්වය දෙන සංගමයේ නිලධාරින් හා සාමාජිකයන්ට අවනතවීමක් හැටියට ඔවුන්ගේ අදහස් එතුමිය ප්‍රකාශ කරනවා. එතුමියට මම ආරාධනා කරනවා කරුණාකර මේ ප්‍රශ්නයේ සැබෑ තත්ත්වය අවබෝධ කරගන්න. ඊට පස්සේ එතුමිය මගෙත් එක්ක තියෙන මේ ‘ආරාවුල’ නිරාකරණය කර ගනියි. මම කනගාටු වෙනවා ඇත්තටම මාලිනී ෆොන්සේකා වගේ මම ගරු කරන, ජ්‍යෙෂ්ඨ නිළියකට මෙවැනි ප්‍රකාශයක් කරන්න වීම ගැන. මම කවදත් කියන විදිහට එදා මෙදාතුර අපේ සිනමාවේ බිහි වූ නිළි රැජන, අද්විතීය නිළිය ඇයයි. මෙය මා ඇති කළ තත්ත්වයක් නෙවෙයි. ඇය ඉල්ලා සිටි දෙයක්.
* එතකොට නිළි රැජන මාලිනී සමඟ ඔබේ ගැටලුවක්, ආරාවුලක් නැහැ? ඇත්තටම නැහැ. ඇය පෙනී සිටින්නේ සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් නම් එන්න අපට එකතු වී සහයෝගයෙන්, සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන ඒ ගමන යමු.
* සෝමරත්න දිසානායක කියන්නේ සිනමා කලාවත්, කර්මාන්තයත් යන දෙඅංශය පිළිබඳවම පෘථුල අවබෝධයක් තිබෙන සිනමාකරුවෙක්. එතකෙට ඔබ හොඳින් දන්නවා වත්මන් ලාංකේය සිනමාවේ තත්ත්වය? ඔබ අරමුණු කරන දේ මට පැහැදිලි නෑ?
* මම කියන්නේ අපේ සිනමාහල් පද්ධතිය පිළිබඳ. දන්නා තරමින් සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා ප්‍රශස්ත මට්ටමේ සිනමාහල් අපට තියෙන්නේ අනූවක් පමණ. එතකොට ඔබ සිනමා ශාලා පනස් පහක් ඔබේ චිත්‍රපටය ප්‍රදර්ශනයට ඉල්ලා සිටීම හරියට අර ෂයිලොක් මස් රාත්තලම ඉල්ලනවා වගේ වැඩක් කියලයි සමහරු කියන්නේ? ලංකාවේ දැන් තියෙන්නේ සිනමා ශාලා එකසිය හැට ගණනින් සිංහල චිත්‍රපට පෙන්වන සිනමා ශාලා අනූවක් නෙවෙයි එකසිය හතළිස් ගාණක් තියෙනවා. මේ ප්‍රමාණය තමයි සියලු මණ්ඩලවලට බෙදිලා තියෙන්නේ. මේ අතරින් සිරි පැරකුම් දැනට සිනමා ශාලා පනස් හයක ප්‍රදර්ශනය වෙනවා. ඒ සමඟම ‘පීටර් වන්’ සහ ‘නිකිණි වැස්ස’ චිත්‍රපටත් ප්‍රදර්ශනය වෙනවා. එතකොට මේ අලුත් චිත්‍රපට තුනම මුදා හැරලත් තව සිනමාහල් කීයක් තියෙනවද හරිහමන් චිත්‍රපටයක් පෙන්වන්න නැති. මගේ පනස් හයත් එක්ක අර චිත්‍රපට දෙකේ පිටපත් ප්‍රමාණයක් එකතු කරලා බලන්න. තව සිනමා ශාලා සෑහෙන ප්‍රමාණයක් චිත්‍රපටයක් නැතිව වේලෙනවා. ඒ අය පෙන්වන්නේ පරණ චිත්‍රපටයක්. එහෙම නැතිනම් දෙමළ, ඉංග්‍රීසි, හින්දි මොකක් හරි එකක්. පෙන්වන්න ඕනෑ නිසා. සමහර විට බිල් ගෙවා ගන්නත් බැරිව.
* මේ ඔබ අත්දුටු සත්‍යයක්? ඔව්. මේ මම දැකපුවා. මම තව හොඳ උදාහරණයක් දෙන්නම්. ළඟදීම ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය සිනමා ශාලා හතළිහක මුදා හරිනවා. ඒක වෙන්නේ කොහොමද?
* අපට ආරංචි වුණේ නම් ඔබේ චිත්‍රපටයට ඉඩ දීලා තාවකාලිකව ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ ප්‍රදර්ශනයෙන් ඉවත්කර ගත්තා කියලයි? නෑ. . . ඒක බොරුවක්. කවුද ඔය කියන්නේ. මේවා අමූලික බොරු. එහෙම එකක් නෑ. ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ ඉවත්කර ගත්තේ ඒ පළමු වටයේදී ප්‍රේක්ෂකයන්ගේ අඩු වීම නිසා. දැනට මම හිතන්නේ වැඩිම ආදායම් වාර්තාව තියෙන්නේ ඒ චිත්‍රපටයට. නමුත් චිත්‍රපටයක් හැමදාමත් එක විදිහට දුවන්නෙත් නෑනේ. ඕනෑම ජනප්‍රිය චිත්‍රපටයකට දවසක ප්‍රේක්ෂකයන් අඩු වෙනවා. ඉතින් ඒ තත්ත්වයට ‘සිද්ධාර්ථ ගෞතම’ ආවා.
* එතකොට යළිත් ඒ චිත්‍රපටයට ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබේවිද? ඔව්. මේ ෆ්ලෝ ඩවුන්ස්නේ. කලින් ප්‍රදර්ශනය නොකළ සිනමා ශාලාවලයි එතකොට පෙන්වන්නේ. මම මේ උදාහරණය ගත්තේ තව සිනමා ශාලා තියෙනවා චිත්‍රපට මුදා හරින්න. දැන් මේ ගොල්ල ගේන තර්කය මම චිත්‍රපට ශාලා අවහිර කරලා වෙනත් චිත්‍රපටයක් මුදා හරින්න තියෙන අවස්ථාව නැති කරලා තියෙනවා කියලානේ. ඒකනේ තර්කය. එතකොට මම ඒ තර්කය මෙතනින්ම බිඳීනවා. ‘සිද්ධාර්ථ ගෞතම’ දෙවැනි වටයේ මුදා හරිනවා සිනමාහල් හතළිහක. ඒ සිනමා ශාලා කොහෙද තිබුණේ.
* ඔබ ඔහොම කිව්වට උදයකාන්ත වර්ණසූරිය ‘රන් කෙවිට 02’ චිත්‍රපටය ඊ. ඒ. පී. මණ්ඩලයෙන් ඉවත් කර ගන්නවා. ඒ පෝලිමෙන් පිට ඔබේ චිත්‍රපටය තිරගත කරන්න එම සමාගම කටයුතුª කළ නිසා? සිනමා මණ්ඩල පුද්ගලීකරණය කළානේ. එතකොට පුද්ගලික සිනමා මණ්ඩලයකට අයිතිය තියෙනවා ප්‍රදර්ශනය සඳහා තමන් කැමැති චිත්‍රපටයක් තෝරා ගන්න. ඒ අයට අපට බලා කරන්න බෑ ඊළඟට පෙන්විය යුත්තේ මේ චිත්‍රපටය, මේ චිත්‍රපටය කියලා. ඒ නිසා ඒ අය කරන්නේ දැනට ඒ අයට ඉදිරිපත් කරන චිත්‍රපට ඔක්කොම බලලා පෙළ ගැස්මක් ඒ අයම හදා ගන්න එක. උදයකාන්ත කියන විදිහට අවුරුදු දෙකකට කලින් ඒ චිත්‍රපටය හැදුවේ නෑ. රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය තියෙන්නෙත් 2013 වසරේ.
* මම අහන්නේ ඔබේ චිත්‍රපටය නිසා ’රන් කෙවිට’ට යම් බලපෑමක් වුණේ නැතිද කියායි? මම දන්නා තරමින් ‘රන් කෙවිට 02’ චිත්‍රපටය පිළිබඳ සලකා බලන්නම් කියා ඒගොල්ල තියාගෙන හිටියා. නමුත් කිසිම ගිවිසුමකට ඇවිත් නෑ. එහෙම ගිවිසුමක් තියෙනවා නම් මට පෙන්වන්න කියන්න. අර සලකා බැලීමේ ලැයිස්තුවේ තමයි චිත්‍රපටය තිබුණේ. මෙ අතරතුරේ මේගොල්ල ‘සිරි පැරකුම්’ චිත්‍රපටය බැලුවා. එය ‘රන් කෙවිට 02’ ට වඩා ආකර්ෂණීය නිර්මාණයක් කියලා එයාලා පිළිගත්ත නිසා මාත් එක්ක ගිවිසුම අත්සන් කළා. ඉතින් මේක පුද්ගලික අංශයට තියෙන අයිතියක්. උදයකාන්ත මහත්තයා කියනවා නම් එහෙම මම එයාව කපාගෙන ඉස්සරහට ආවා කියලා මගේ නෙවෙයි වැරැද්ද. මේ පවතින ක්‍රමයේයි වැරැද්ද.
* ඇත්තෙන්ම බෙදා හැරීම පුද්ගලික අංශයට පැවරීම ගැන ඔබේ ප්‍රසාදයක් නෑ? නැහැ. මේ ක්‍රමවේදය සංශෝධනය විය යුතුයි. මේක අහෝසි කරලා වෙනත් සාධනීය ක්‍රමවේදයකට අපි යා යුතුයි. මෙන්න මේ වගේ ගැටලුයි අපි නිරාකරණය කර ගත යුත්තේ.
* මේ සඳහා සියලු දෙනා එකට අත්වැල් බැඳ ගත යුතු කාලය දැන් ඇවිත්? මේ ටිකත් මට කියන්න ඉඩ දෙන්න. මට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අපේම සහෝදර සිනමා ශිල්පීන් මේ චිත්‍රපටයක් ජනප්‍රිය වෙලා සිනමා ශාලා පිරී ඉතිරී යනකොට එය කඩාකප්පල් කරන්න ඉදිරිපත් වෙන්නේ ඇයි ද කියන එක. හරි නම් මේ අය ඒකට සතුටු වෙන්න එපායැ. මගේ චිත්‍රපටය අමතක කරන්න. ඕනෑම චිත්‍රපටයක් ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වෙලා, සිනමාවට ප්‍රෙක්ෂකයෝ වැඩි වෙලා, ඒ නිසා සිනමා ශාලා හිමියන් තමන්ගේ සිනමා ශාලා තවත් දියුණු කරනවා නම්, අලුතින් සිනමා ශාලා ඉදි කිරීමට ආයෝජකයන් ඉදිරිපත් වෙනවා නම් ඒක නෙවෙයි ද සිනමාවේ දියුණුව. එතකොට සිනමා කර්මාන්තයේ නියුතු සියලු දෙනාට යහපතක් නෙවෙයි ද ඒකෙන් වෙන්නේ.
* එතනදි ඔබේ චිත්‍රපට අපේ සිනමාවට වෙස් වළා ගත් ආශිර්වාදයක්? නමුත් එහෙම ආශිර්වාදයක් නෙවෙයිනේ පෙරළා අද මට ලැබෙන්නේ. බැණුම්, අපවාද සහ කඩාකප්පල් කිරීම්වලට ගන්නා උත්සාහයන්. උසාවියටත් යනවා මේක නවත්වන්න කියලා. ඉතින් මේක සිනමාවේ ප්‍රගතිය නෙවේ අගතිය. මම කියන්නේ ආදරණීය සිනමා ශිල්පීන්ට අපි යථාර්ථය වටහා ගනිමු කියලයි. ඔබට කිසියම් දෙයක් වැරැදී තිබෙනවා. නැතිනම් ඔබ ඊර්ෂ්‍යාව කියන මිනිස් දුර්ගුණයෙන් පෙළෙනවා. මම කැමැතියි ඒක නිවැරැදි කරන්න. මාත් සමඟ සාකච්ඡාවකට එන්න. නැතිනම් මට අවස්ථාවක් දෙන්න ඔබට කන් දෙන්න. අපි මේක සුහදව බේරා ගනිමු. අපි එකම ක්ෂේත්‍රයේ අය. මේක කිසි තේරුමක් නැති තරගයක්. අපට සිනමාවේ හෙට දිනයේ මුහුණ දෙන්නට තිබෙන සැබෑ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් සොයන්නට එකතු වෙමු. අපි කුකුල් පොරයකට ගිහින් මෙහෙම ඇන කොටා ගැනීම හරි අවාසනාවක්. මම මේකට හරිම අකැමැතියි අසංක. මීට වැඩිය ප්‍රශ්න අපට සිනමාවේ තියෙනවා. මෙන්න මේවා අපි සාකච්ඡා කළ යුතුයි.
* මොනවද ඒ ප්‍රශ්න? නිෂ්පාදකයන්ට හිමි විය යුතු මුදල් ප්‍රතිශතය ලැබෙන්නේ නෑ. රජයේ විනෝද බදු සහන ලැබෙන්නේ නෑ. සිනමාහල්වලට නව තාක්ෂණය ගෙන යාමේ ප්‍රශ්න තියනවා. ප්‍රශස්ත සිනමාකරුවන් හඳුනා ගැනීමට රජයේ නිසි ක්‍රියා පිළිවෙතක් නෑ. සිනමාපට වර්ගීකරණයක් නෑ. හොඳ සිනමාපටවලට වෙනම මණ්ඩලයක් නෑ. පුද්ගලික මණ්ඩලවල අසාධාරණකම් හා ඒකාධිකාරයක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ගැටලු අපට විශාල ප්‍රමාණයක් තියෙනවා සාමුහිකව විසඳගන්න. මේ පිටපත් තිස් පහේ ප්‍රශ්නය අපේ සිනමාවේ තිබුණ දෙයක් නෙවෙයි. පිටපත් තිස් පහට සීමා කිරීමෙන් සිනමාවට යහපතක් වෙන්නේ නෑ. ඒ නිසා මේ ප්‍රශ්නය අමතක කරලා අපි අර සැබෑ ප්‍රශ්න ගැන කතා කරමු. ඔබට තෙරුවන් සරණයි!
|



‘සිරි පැරකුම්’ ඔහුගේ නවතම චිත්‍රපටයයි. එය මේ දිනවල දිවයින පුරා සිනමාහල් රැසක
සාර්ථකව ප්‍රදර්ශනය කෙරේ. එහෙත් එම චිත්‍රපටය මුල් කර ගනිමින් අද දවසේ සිනමා
ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනා බව සැවොම දන්නා කරුණකි. ඒ හරහා විවිධ
මතවාදයන් ද නිිර්මාණය වී තිබේ.