වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




ලොව දිනූ ජගත්ට ලක්ෂ පනහක නිවසක්

ලොව දිනූ ජගත්ට ලක්ෂ පනහක නිවසක්

නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්ානය දිනා ගනිමින් මෙරටට කීර්තියක් රැගෙන පැමිණි රංගන ශිල්පී ජගත් චමිලට නව නිවෙසක හිමිකම් පත්‍රය ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතු නව නිවෙසක හිමිකම් පත්‍රය මෙහිදි ජගත් චමිලට පිරිනැමූ අතර ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ යටතේ ක්‍රියාත්මක ජන සෙවණ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ මෙම අංග සම්පූර්ණ නිවෙස ලබාදීමට නියමිතය.

ශ්‍රී ලාංකිකයන් ලෙස ජාත්‍යන්තර වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් ද විවිධ ජයග්‍රහණ රැගෙන එනවිට අප රට මහ සමතුන්ගෙන් පිරුණ රටක් බවට වන පණිවුඩය ලොවට දෙන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කියා සිටියේය. තවද තම හැකියාවෙන්, දක්ෂතාවයෙන් රටට ජයග්‍රහණ ගෙන එන්නන් අගැයීමක් ලෙස ඔවුන් වෙනුවෙන් නිවාස ලබාදෙමින් ඔවුන්ට ශක්තියක් වීමට ඉදිරියේදී ද කටයුතු කරන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.

මේ අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති උපදේශක හා ජාතික කලා සංගමයේ සභාපති රවීන්ද්‍ර රන්දෙණිය ඇතුථ පිරිසක් සහභාගි වූහ.