වර්ෂ 2013 ක්වූ ජූලි 18 වැනිදා බ්‍රහස්පතින්දා




අභීෂ්ට කලා චර්යාවක අගය හා විචිත්‍රත්වය

අභීෂ්ට කලා චර්යාවක අගය හා විචිත්‍රත්වය

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය මඟින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වෙත සාහිත්‍ය සූරී සම්මානය පිරිනැමීම නිමිත්තෙනි

අද අප ජීවත් වන දෙදහස් දහතුන් වැන්නේ සිට අර්ධ ශතවර්ෂාධික අතීතය ආවර්ජනා කළ හැකි නම් ශ්‍රී ලාංකේය සංස්කෘතික ඉතිහාසයෙහි නූතන යුගය ශෝභාවත් කළ ආශ්චර්යවත් මිනිසකුගේ ආරෝහණය අප හමුවේ සන්දර්ශනය වෙයි. ඒ මිනිසා කාලය, දේශය, දීපය කුලය, මව ඈ පස්මහ බැලුම් විමසා මේ ජන්ම භූමි දිනූයේ නොවේ. එහෙත් ඒ මිනිසා නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්ති සාධක වාසනා ගුණයෙන් අනූන වූයේය, අප්‍රමාණ වුයේය. තමා දිනූ දේශයෙහි සංස්කෘතික හෘද ස්ඵන්දනය ස්වකීය අභීෂ්ට නිර්මාණ කලා චර්යාවේ රිද්මය බවට පත්කර ගැනීමේ අසාමාන්‍ය ශක්තිය ඔහු සහජයෙන්ම ලබා සිටියේය. සාහිත්‍ය සංගීත කලා ආස්වාදකාමී මෙරට රසික ජන සංඝය අතුල්‍ය අභිරමණීය ස්වරයෙන් ආමන්ත්‍රණය කරන්ට ඔහුට හැකි වූයේ එබැවිනි.

අතිශය ප්‍රබල වූත්, ගාම්භීර වූත්, සාධික භාව අර්ථ භාරයකින් ආඪ්‍ය වූත් ඒ ආමන්ත්‍රණය රසික හදවත්හි අඛණ්ඩව නිනාද නගයි. අද්‍යතන ශ්‍රීී ලාංකේය සංස්කෘතික සිතියමෙහි සුවිශාල සාර භූමියක පරම අයිතිය ඔහු අත්පත් කොට ගෙන සිටී. ඒ මහද්ධන සම්පත ඔහුට හිමි වූයේ පරවේණි උරුමයකින් නොවේ. විඩා විහේඨන, පිඩා පරිපන්ථ නොතකා අප්‍රමාණ කැපවිමකින් යුතුව නිර්මාණකරණ හා ශාස්ත්‍රාන්වේෂණ උභයකාර්ය සාධනයෙහි අභේදීව, අඛණ්ඩව නියුක්ත විමේ ඉෂ්ට ඵල වශයෙනි. මේ ආශ්චර්යවත් මිනිසා මහාචාර්ය සුනිල් ආරියරත්න නම් වූ සාහිත්‍ය කලා විබුධයා - ඉෂ්ට සිද්ධ කළ සුවිශිෂ්ට සේවාව අර්ඝනය කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් 2013 ක් වූ ජූලි මස 11 වැනිදා ඔහු වෙත අභිසම්මත ‘සාහිත සූරී’ සම්මාන උපාධිය සමර්පණය කරන ලදී.

ජගත් සම්භාවනාවට පත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවලච්. Litt  හෙවත් Doctor of Letters නමින් ප්‍රදානය කරනුලබන්නේ අභිසම්මත සම්මාන ගෞරව (Honoris Causa) උපාධියකි. එය කිසියම් විද්වතකු හෝ කලාකරුවකු වෙත පිරිනැමීමේදී ඊට යෝජිත පුද්ගලයා විසින් ප්‍රකාශිත පර්යේෂණ හා ශාස්ත්‍රීය ලේඛන මෙන්ම ශාස්ත්‍රාභිවර්ධන විෂයක අඛණ්ඩ සම්ප්‍රදානය හා එහි ස්වීයත්වය තත්ත්ව නිර්ණය කරනු ලැබේ. මෙම සම්මාන සාහිත්‍ය සූරී උපාධිය ප්‍රදානය කෙරෙන්නේ මානව ශාස්ත්‍ර මුලික කොට ගෙනය. විශ්වවිද්‍යාලයකින් ලද හැකි ඉහළම අභිධානයක් වන සාහිත්‍ය සූරී උපාධිය මහාචාර්ය සුනිල් ආරියරත්න වෙත ප්‍රදානය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපත් වූයේ ඔහුගේ දීර්ඝකාලීන ශාස්ත්‍රීය සේවාවත් එහි අගය හා විශිෂ්ටත්වයත් සලකමිනි. නිසැකව විවාද රහිතව පිළිගත හැකි එකී අත්‍යන්තෝචිත තීන්දුව විශ්වවිද්‍යාලය මගින් ඉටු වූ ප්‍රබල ශාස්ත්‍රීය යුක්තියකි.

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සේවා සම්ප්‍රදානය හා කාර්ය සාධනය මෙරට මෑතකාලීන සංස්කෘතික ඉතිහාසය තුළ අඛණ්ඩව මහදාලෝකයකින් බබළයි. නිර්මාණකරණය හා පර්යේෂණ යන උභය ක්ෂේත්‍රයම සමාසක්තව සේවනය කරමින් ද ස්වකීය අභිමතය පරිදි මෙහෙයවා ගනිමින් ද සුනිල් ආරියරත්න තත් ක්ෂේත්‍රද්වයෙහි දුර්ලභ සමායෝගයක ඉෂ්ට ඵල ජාතියට දායාද කළේය. වර්තමාන ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සමාජයෙහි කලා නිර්මාණ කාර්යයෙහි සක්‍රිය ලෙස නියුක්ත ප්‍රමුඛතමයා මහාචාර්ය සුනිල් ආරියරත්නය. අපූර්ව වස්තු නිර්මාණයෙහිලා වන ශූර ප්‍රඥාව ලෙස පැරැණි විචාරකයන් අර්ථ දැක් වූ ප්‍රතිභාව හෙවත් සහජ කෞශල්‍යය පිළිබඳ ධර්මතාව තිරසාරව සනාථ කරමින් ශ්‍රී ලාංකේය රසිකයා අනන්තානන්දයෙන් උදම් කළ නිර්මාණ සම්භාරයක් ඔහු අතින් බිහිවිණ. එකී නිර්මාණ පල සම්පත සැදුම් ලබන්නේ දහසකට අධික වූ ව්‍යක්ත, විශිෂ්ට ගේය කාව්‍ය රචනාවලියකින් හා එකුන් විස්සක් වෘත්තාන්ත චිත්‍රපට මාලාවකිනි.

සුනිල් ආරියරත්නගේ ගීත රචනා කලාවේ ආරම්භක අවධිය වන්නේ නවසිය හැත්තෑව දශකයයි. ඒ වූ කලී මෙරට කලා ක්ෂේත්‍රයේ අභිනව පරිපුරක ආගමනය සලකුණු කරන වකාවානුවකි. සුහුඹුල්ව වැඩෙන කවිත්වයක ජවයෙන් ඔද වැඩී සිටි අප තරුණ ගීත රචකයා එසමය තුළ බහුලව ගීත රචනා කළේය. දාරක සමයෙහි සාහිත්‍ය කලා සේවනයෙන් වැඩුණුු රසඥතාව ද නිර්මාන කාර්යයෙහිලා වැඩුණු ලෞල්‍යය ද තරුණ නිර්මාණකරුවකුට සන්මාර්ගය දක්වනු නිසැකය.

එහෙත් ඊට වඩා විශ්වවිද්‍යාලයෙහි සිංහල ගෞරව උපාධිය සඳහා වැර වඩා ශාස්ත්‍ර හැදෑරීමෙන් ලත් භාෂා සාහිත්‍ය පරිචය සුනිල් ආරියරත්නට සදාභාසයක් හා පිටුබලයක් වුයේය. ගීතය නමැති කලා ප්‍රකාරය තුළ ගීත රචකයකු ලෙස විකුම් පෙළහර දැක්විය හැකි භාෂා ප්‍රභූත්වයක් ද එමගින් ඔහුට හිමිවිණ. සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහි්‍යයේ යෙදුම් බස ආයාස රහිතව ඔහුගේ ගීත රචනා තුළට පිවිස ගත්තේය. සමකාලීනව බිහි වූ විශිෂ්ට ගණයේ ගීත නිර්මාණ අතර පවා ඔහුගේ රචනා අභිනව වාග් ලාවණ්‍යකින් හා විදග්ධත්වයකින් යුතුව නැගී ආයේය. එවක ගීත නිර්මාණයට එළඹ සිටි ගායක ගායිකාවන් හා සංගීතඥයන් අතර ඔහුගේ නිර්මාණ සඳහා වෙසෙසි පිළිගැනීමක් ලැබිණ.

සුනිල් ආරියරත්න අභිරුචියකින් හා අනුරාගයකින් යුතුව සේවනය කළ කලා ප්‍රකාරය වුයේ ගීතයයි. ගීතය කෙරෙහි ඔහු නගා වඩාගත් ඒ අසාමාන්‍ය ආලයම ඔහුගේ නිර්මාණ කලා චර්යාව මතු නොව ශාස්ත්‍ර ගවේෂණ ක්‍රියාදාමය ද ඇද වැළඳ වෙළා ගත් සේ පෙනේ. ඒ අසාමාන්‍ය ආලය ඔහු මෙතුවක් ගෙවා ආ දිගු ගමනේ ගාමක බලවේගයක් වී තිබේ.

ගේය කාව්‍ය රචකයකු ලෙස සුනිල් ආරියරත්නගේ නිර්මාණ කාර්ය සාධනය වෙනම විමසුව මනා පෘථුල විෂය පථයකි. එහෙත් සමස්ත වශයෙන් ගත් කළ ඔහුගේ ගීත රචනා අති බහුතරය ගීතය නමැති කලා ප්‍රකාරයෙහි අනන්‍යතාව ද ශිල්ප තාක්ෂණය හා සාහිත්යික රමණීයත්වය ද සුවිශද ලෙස සනාථ කරන නිර්මාණයෝ වෙති. ඔහුගේ ගීත රචනාවල විෂය ක්ෂේත්‍රය විවිධාකාර අනුභූතින්ගෙන් සැදුම් ලබා තිබේ. මානව සම්බන්ධතා මූලික කොට ගත් සංවේදනා අතිශය ස්නිග්ධ සූක්ෂ්ම භාව ප්‍රතීතීන් බවට පමුණුවාලීමේ අසාමාන්‍ය චාතුර්යයක් ඔහු සතුව තිබේ. ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ අගණනීය අනුභූතීන් විසින් ඔහුගේ විඳුම් ලෝකය නමැති නොසිෙඳන උල්පතට ජල ධාරා සපයනු ලැබේ. සංඛ්‍යාත්මකව හා ගුණාත්මකව සලකන කල ගීතයෙන් ප්‍රේමය ව්‍යක්ත ලෙස අභිව්‍යක්ත කිරීමෙහිලා ඔහු හා සමතැන් ගත හැකි රචකයකු හමු නොවන්නේ ද එබැවිනි.

සුනිල් ආරියරත්න ගීතයේ විෂය ක්ෂේත්‍රයට ආවේණිකව තිබූ කඩඉම් රේඛා සිඳ දමා එහි අනුභූතික වපසරිය ප්‍රසාරණය කළ රචකයාය. මනෝභාව ප්‍රකටනය අරමුණු කොට ගත් සාහිත්යික රචනයක් සේ සැලකුණු ගීතය සමාජාන්වේෂණය පෙරටු කොටගත් යථාර්ථ ප්‍රකටනයක් බවට පත් කරන ලද්දේ ඔහු විසිනි. ‘විරෝධාකල්ප ගීත’ නමින් ගීත ගණයක් සිංහල ගීත ශ්‍රාවකයා විසින් හඳුනා ගැනෙන්නේ ද සුනිල් ආරියරත්න රචනා කළ නන්දා මාලිනී ගායනා කළ ‘සත්‍යයේ ගීතය’ හා ‘පවන’ ආදී නිර්මාණ මගිනි.

ගීත රචකයකු ලෙස සුනිල් ආරියරත්න සිය සමකාලීන රචක පරපුරේ විශිෂ්ටතමයා වූයේය. එමතුද නොවේ. ඔහු ඇතුළු අද්‍යතන ගේය කාව්‍ය රචක පරපුරට පූර්වගාමී වූ මානවසිංහ, මහගම සේකර ආදී රචකයන් විසින් ස්පර්ශ නොකරන ලද විෂය ප්‍රස්තුත ගීතය වෙත රැගෙන ආ රචකයා ද වූයේය. එමෙන්ම ගීතය නමැති කලා ප්‍රකාරය සිංහල කලා සම්ප්‍රදාය තුළ ඓතිහාසිකව හා න්‍යායිකව ස්ථාපනය කළ පුරෝගමී ගවේෂකයා ද වූයේය. ගීතය සාහිත්‍යාංගයක් ලෙස ප්‍රථිත කළ ප්‍රකාශකයා ද වූයේය. ඒ අර්ථයෙන් ඔහු සමකාලීන හා පූර්වකාලීන රචකයන් සමතික්‍රමණය කළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගීත රචකයා ලෙස සැලකීම සාධාරණය; යුක්ති සහගතය.

සුනිල් ආරියරත්නගේ නිර්මාණ කලා චර්යාව විචිත්‍රාකාරයෙන් ප්‍රදර්ශිත අනෙක් ක්ෂේත්‍රය වන්නේ සිනමාවය. කෙටි චිත්‍රපට තුනක් අධ්‍යක්ෂණය ඛ්ර;මන් ලත් පරිචය සමඟ 1978 වර්ෂයේදී තිරගත වූ ‘අනුපමා’ චිත්‍රපටයෙන් ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේය. එතැන් සිට අද දක්වා ඔහුගේ සිනමා නිර්මාණාවලිය 2012 තිරගත වූ ‘කුස පබා’ චිත්‍රපටය ද ඇතුළු චිත්‍රපට දහනවයකින් පරිමිත වෙයි.

නිර්මාණශීලී කලාකරුවකු ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න ගීතය හා සිනමාව යන ක්ෂේත්‍ර ද්වය තුළ ස්වකීය සම්ප්‍රදානයත් මුද්‍රාවත් සටහන්කොට තිබේ. ඊට සමගාමීව අනෙක් පසින් සුවිශදව මතු වී පෙනෙන්නේ තමාට වෙසෙසින් රුචිකර වූ විෂය පථයන්හි අඳුරු දුර්ගම ස්ථාන පීරා පාදාලමින් ඔහු කළ ඥාන ගවේෂණ ක්‍රියාදාමයයි සංගීතය, සිනමාව, වේදිකා නාට්‍යය හා සාහිත්‍යය යනාදී කලා ප්‍රකාර ගණනාවක විහිද පැතිර ගිය අන්වේෂණ, විතරණ හා සංරක්ෂණ සේවාව ඔහු සම්පාදනය කළ ශාස්ත්‍රීය ග්‍රන්ථ සමුදාය සනාථ කර සිටී. චතුර් දශකයක කාල පරිච්ඡේදය තුළ ඔහු ක්ෂේත්‍ර හා ප්‍රවර්ග විසින් විවිධ වූ ග්‍රන්ථ සිව්පනසක් නිමවා පාඨකයා වෙත ප්‍රදානය කොට තිබේ. ඥාන ගවේෂණ ක්ෂේත්‍රයෙහි ද සුනිල් අරියරත්න ස්වකීය පර්යේෂනකාමය හා ප්‍රලෝභනය සංසිඳුවා ගන්නේ තමා වෙසෙසි මාත්සර්යයකින් සේවනය කළ ගීත හා සංගීත කලා පිළිබඳ ප්‍රච්ඡන්ත විෂය පථ එළි පෙහෙළි කිරීමෙනි. එතුවක් ඇස නොගැටුණු ස්ථාන ඒවයෙහි පිධාන හැරපියා විවෘත කිරීමෙනි. ස්වකීය ගවේෂණ ප්‍රතිඵල රසික ජනයා හමුවේ පිරිනැමීමෙනි.

මහාචාර්ය සුනිල් ආරියරත්න තමාට අභිමත විෂය පථ ඔස්සේ පර්යේෂණ පැවැත්වුයේ අදාළ පර්යේෂණ අවශ්‍යතාව ප්‍රත්‍යක්ෂ කොට හඳුනාගත් බැවිනි. ගීතය, ඔහු සිය පර්යේෂණකාමය නාභිගත කළ ප්‍රමුඛතම විෂය පථය වූයේය. එහිලා ඔහු කළ අඛණ්ඩ අධ්‍යයනවල ආන්තිත ප්‍රතිඵලය වූයේ නවකතාව බඳු සම්භාවිත සාහිත්‍ය කලා ප්‍රකාරයන් ලෙස ගීතයට පිළිගැනීමක් ලැබීමයි. දේශීය සංස්කෘතික සංකථනය තුළ ගීත කලාව අවධානයට පාත්‍ර වීම හා ඒ අලළා විචාර විමර්ශන සිදුවීමත්, විශ්වවිද්‍යාල මානව ශාස්ත්‍ර අධ්‍යයන පාඨමාලාවට පිවිස ගැනීම හා උපාධි, පශ්චාත් උපාධි නිබන්ධ සම්පාදනය වීමත් – ගීතය සාහිත්‍යාංගයක් ලෙස පිළිගෙන රාජ්‍ය සාහිත්‍ය ප්‍රදානය කිරීමත් දක්වා තත් කලා ප්‍රකාරය ඉහළ තලයකට උත්තීලනය වුයේය.

ගීය නිර්මාණාත්මක පරිචිතයක් හා සංස්තෘතික ප්‍රකාශනයක් ලෙස අභිවර්ධනයට මූල ප්‍රතිෂ්ඨා වූ ශාස්ත්‍රීය ස්ථාවරත්වය ලබාදීමේ ඒකාන්ත ගෞරවය මහාචාර්ය සුනිල් ආරියරත්නට හිමි වෙයි. සැබැවින්ම සිංහල ගීත කලාව උදෙසා සුනිල් ආරියරත්න අතින් ඉටු වූ මහාර්ඝ සේවාව සම කළ හැක්කේ සිංහල භාෂාව හා ව්‍යාකාරණය උදෙසා කුමාරතුංග මුනිදාස, නවකතාව ඇතුළු නුතන නිර්මාණාත්මක ගද්‍ය හා සාහිත විචාරය උදෙසා මාර්ටින් වික්‍රමසිංහ, නාට්‍ය කලාව උදෙසා එදිරිවීර සරච්චන්ද්‍ර, සංගීතය උදෙසා අමරදේව ආදී වශයෙන් ඉෂ්ට කළා වූ සුවිශිෂ්ට මෙහෙවරටය. ගීතය කලා ප්‍රකාරයක් ලෙස නගා ඔසවා තබනු පිණිස මහාචාර්ය සුනිල් ආරියරත්න දරා සිටි අස්ධාන කාල පරිශ්‍රමය උදාරය; විස්මයජනකය. ගීතය ලත් එම අභිවර්ධනය පුනරාවලෝකනයෙන් මෙනෙහි කරන කළ හැෙඟන්නේ ගීතය ඔහු විසින් සුත ස්නේහයෙන් හදා වඩා ගත් උරස්‍ය පුත්‍රයකු ලෙසිනි.

විශ්වවිද්‍යාල ආචාර්ය වෘත්තියෙහි සිව් දශකයක කාලය ගෙවා ඇති ආකාරය අර්ථ පූර්ණය; ගුණපූර්ණය. සුනිල් ආරියරත්න සමස්ත විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට ප්‍රදීපස්ථම්භයකි. නිර්මාණශීලී කලාකරුවාත් පර්යේෂණකාමී ඥාන ගවේෂකයාත්, ප්‍රවිචාරී ප්‍රකාශකයාත් පිළිබඳ සමවායී සමයෝගයෙහි ප්‍රතිමූර්තියකි. මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් පසුව එබඳු දුර්ලභ සමායෝගයක් ස්වකීය කලා චර්යාව මගින් ප්‍රතිබිම්බනය කළ විශ්වවිද්‍යාල ආචාර්යවරයා මහාචාර්ය සුනිල් ආරියරත්නය.

මහාචාර්ය සුනිල් ආරියරත්න නිදහස් ලංකාවේ ඉපිද නිදහස් අධ්‍යාපනයේ වරමින් ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට එහිමැ මුදුන්පෙති කරා එළඹණු විද්වතෙකි. ඔහු විශ්වවිද්‍යාල සේවයේ ණයකාරයෙක් නොවේ. විශ්විවිද්‍යාල ප්‍රජාව ඔහුට ණයගැතිය. ඔහු විසින් විරචිත මධුරාතිමධුර ගීතවාලියෙන් ප්‍රමුදිත වන රසික ජනසංඝය සේම ඔහුගේ විපුල විශිෂ්ට සේවා සම්ප්‍රදානයෙන් උදම්වන ජාතිය ද අදට වඩා ගෞර්වපූර්වකව අනාගතයේදී ඊට බහුමාන හරසර දක්වනු ඇත.