ජංගම දුරකථනයක්වත් නැති එකම සිනමා නිළිය මා විය හැකියි
ජංගම දුරකථනයක්වත් නැති
එකම සිනමා නිළිය
මා විය හැකියි
සුභද්‍රා මානෙල්
තම යථාර්ථය හෙළි කරයි
පෙරදා සිනමා රංගනයේ යෙදුන තිරතරු දෙස බලද්දී දැනට ජීවත්ව සිටින අතළොස්සක් පමණ
දෙනාගෙන් ආර්ථික බාධකය බිඳගෙන වියපත් ජීවිතය සතුටින් ගත කරන්නන් හමුවන්නේ ස්වල්ප
දෙනෙකි. වැඩි දෙනෙක් අසරණය. ඔවුන්ගේ කතාව පවුලේ චිත්‍රපටයකටත් වඩා දුක්ඛිතය. එය එක්
පැත්තකින් සිනමා රසිකයින්ගේ සිත් කම්පා කරවන පුවතක් විය හැක. එසේ වුවත් ඇත්ත ඇති
සැටියෙන් පවසද්දී බොහෝ දේ වසන් කළ නොහැකිය.
සරසවිය පුවත්පත මෑතක ඇරැඹි පැරැණි සිනමා ශිල්පීන් සොයා යන ගමන සැල වූ නිළියක අප
සොයා පැමිණියේ ඇගේ දුක ලොවට හඬගා කියන්නටය. ඒ අනුව ඇගේ වත්මන් ජීවන තත්ත්වය ඇසින්
දැක, දෙකණින් අසා ලියන්නට සිදු වූයේ නිවැරැදි සත්‍යය හෙළිදරව් කිරීම පිණිසය.
සුභද්‍රා මනෙල් නම් ඇය ඔබ මතකයෙන් ගිලිහී නැතැයි සිතමි.
* බොහෝ කාලයකට පස්සේ හමු වූ ඔබේ අලුත් තොරතුරු කෙසේද?
එදා ලබා ගත් ජනප්‍රියත්වය සඟවා ගෙන අප්‍රසිද්ධියේ දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. හැදූ
වැඩූ එකම පුතාවත් සලකන්නේ නැහැ. මෙය නම් අද පවතින සමාජ රටාව තුළ බොහෝ මැණිවරුන්
අත්විඳින සදාතනික ඉරණමක්. මට ස්ථිර නිවහනක් නැහැ. 2007 සිට ඉන්නේ මේ පොඩි බෝඩින්
කාමරේ. ස්ථිර ආදායමක් නැහැ. 2006 සිට ජාතික චිත්‍රපට සංස්ථාවෙන් ලැබෙන විශ්‍රාම
වැටුප මදි නිසා සුළු රැකියාවක් කරනවා. මේ නිසා අංක 308/5, පළමුවෙනි පටුමග,
රත්තනපිටිය, බොරලැස්ගමුව දරන මේ ස්ථානයේ මම දහවල් කාලයට නොසිටින හෙයින් හමුවීමට
අපහසුයි.
සති අන්ත නිවාඩු දිනවල මගේ පොඩි මල්ලිට අයිති අංක 28/12, පරන කොට්ටාව පාර, මිරිහාන,
නුගේගොඩ ලිපිනැති නිවෙසේ කාලය ගත කරනවා. වසර හතරක් තිස්සේ නිවෙසක් ඉල්ලා ර ජයෙන් කළ
ඉල්ලීම නුදුරු දිනක ඉටු වෙන්න පුළුවන්. ජංගම දුරකථනයක්වත් නැති එකම සිනමා නිළිය මම
විතරයි. මට පණිවිඩයක් දෙන්න නම් 077-4228370 කතා කරන්න වෙනවා. ඒ පොඩි මල්ලිගේ
කාංචනා දුවගේ දුරකථන අංකය. ( සුභද්‍රාගේ දෙනෙතට නැඟි කඳුළු වසන් කිරීමට ඇයට නොහැකි
වූවාය).
* ඔබ සඟවා ගෙන සිටින ජනප්‍රියත්වය ලබා ගත්තේ කෙසේද?
මා රංගනයට පිවිසෙන විටත් විවාහකයි. හැඳල චිත්‍රාගාරයේ ශබ්ද පරිපාලක සාරංගරාජා මගේ
සැමියා හඳුනනවා. වරක් අපි චිත්‍රාගාරය නරඹන්න ගියා. එහිදී දැන හැඳිනගත් නර්තන
ශිල්පිනී පද්මිණී දහනායකගේ ආරාධනයෙන් ධීවරයෝ චිත්‍රපයේ ඇවිල්ලා ඇවිල්ලා හා වැල්ල
සිඹින රැල්ල යන ගීතමය නැටුම් ජවනිකාවල රඟපෑවා. ධීවරයෝ චිත්‍රපටයත්, ඊට පසු මම
ප්‍රධාන චරිතය නිරූපණය කළ සෝබන සිත චිත්‍රපටයත් සිනමාස් සමාගමේ සිනමාහල්වල තිරගත
වුණේ 1964.මේ හින්දා සිනමා නිළියක ලෙස මා යම් ප්‍රමාණයක ප්‍රසිද්ධියක් හිමිකර
ගත්තා. පසුකාලීනව එය තවත් වර්ධනය වුණා.
* ඔබ කතා නායිකාවක ලෙස තිරයට හඳුන්වා දුන් සෝබන සිත චිත්‍රපටය ගැන මතකද?
නත්ථිමේ සරණං අංඤ්ඤං - බුද්ධෝමේ සරණං වරං ගාථා පාඨයෙන් පණ පෙවුණ සෝබන සිත කතාව ලියා
තිබුණේ සරණගුප්ත අමරසිංහ. දෙබස් ආනන්ද කවිරත්නගෙන්. සීමාසහිත ප්‍රදීපා චිත්‍රපට
ඉදිරිපත් කළ එහි නිෂ්පාදකවරයා එම්. එච්. මොහොමඩ්. ඔහු කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්.
අධ්‍යක්ෂවරයා අරියදාස පීරිස්. ඔහු ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. මගේ
සැමියා ඔහුවත් හොඳින් හඳුනනවා අපි අසල්වාසීන් නිසා. ඒ අනුව චිත්‍රපටයේ පැවති නළු
නිළි පරික්ෂණයට මාත් ඉදිරිපත් වුණා. අධ්‍යක්ෂවරයා මාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට
තෝරා ගත්තේ ඊට සාධාරණයක් මගෙන් බලාපොරොත්තුවෙන්.
කැමරා ශිල්පි ලිනී ද කොස්තා දින 29 ක් ඇතුළත රූපගත කිරීම් නිම කළ සෝබන සිත
චිත්‍රපටයේ අනික් විශේෂත්වය ලැම්බට් මොරමුදලි, රොසලින් ප්‍රනාන්දු, පිටිපන සිල්වා,
ලිලියන් එදිරිසිංහ හැරුණු විට දොන් සිරිසේන, සරණගුප්ත අමරසිංහ, ආනන්ද තවිරත්න,
අනුරුද්ධිකා පෙරේරා, ඒ. ආර්. එම්. යාසින්, ජයසෝම අබේසිංහ, සෝමා කවිරත්න, හෙක්ටර්
ජයසිංහ වගේ අයත් නවකයින්. ප්‍රධාන චරිතය රඟපෑ සරත් රුද්‍රිගු ගිනිගත්හේන පැත්තේ
උපාධිධාරියෙක්. ඔහු රඟපෑ එකම චිත්‍රපටය මෙය පමණයි.
* සෝබන සිත චිත්‍රපටය ගැන ඔබ වෙන දන්නේ මොනවාද?
චිත්‍රපටයට ගීත හතරක් ඇතුළත්ව තිබුණා. එම ගී තනු හා සංගීතය ප්‍රේමසිරි කේමදාසත්,
පසුබිම් සංගීතය ආර්. මුත්තුසාමිත් මෙහෙය වූවා. ගීත ප්‍රබන්ධය කළේ ආනන්ද කවිරත්න.
ධර්මදාස වල්පොල, ලතා වල්පොල, මෙහිදින් බෙග්, ඇන්ජලින් ගුණතිලක, හරූන් ලන්ත්‍රා, සී.
ටී. ප්‍රනාන්දු ගායනා කළ ගීත අතරින් සම්මා සම්බුදු සරණ විනා යුග යුග මතකයේ රැෙඳන
ගීතයක් බවට පත් වුණා. මේ ගීත සහිත කුඩා ගීත පොතක් චිත්‍රපටයට ප්‍රචාරයක් සඳහා
නොමිලේ බෙදා හැරියා.
* සෝබන සිත චිත්‍රපටයට පසුව ඔබට ප්‍රධාන චරිතයක් චිත්‍රපටයක ලැබුණේ නැහැ නේද?
1967 හතර කේන්දරේ චිත්‍රපටයේ සැලකිය යුතු චරිතයක් ලැබුණා. ඒ අවුරුද්දේම තිරගත දරු
දුක චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක්, පිපෙන කුමුදු චිත්‍රපටයේ සැලකිය යුතු චරිතයකුත්
රඟපෑවා. දරු දුක චිත්‍රපටයේ එන සුජාතා අත්තනායක, හරූන් ලන්ත්‍රා, ඉන්ද්‍රාණි
විජයබණ්ඩාර ගැයූ මහා චණ්ඩ සුළඟට මැදි වී ගීතයට මම, ඩොමී ජයවර්ධන, අනුලා කරුණාතිලක
රඟපෑ ජවනිකාව අදටත් ප්‍රේක්ෂකයින්ට මතක ඇති. ඩොමී ජයවර්ධන හාපුරා කියා අධ්‍යක්ෂණය
කළ දරු දුක සීවලී ඒකනායකගේ නිෂ්පාදනයක්. කතා රචකයාත් ඔහුමයි.
සරණ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තත් පසුව එය මගෙන් ගිලිහී ගියා. එහි
නොකැමැත්තෙන් නැටුම් ජවනිකා දෙකක රඟන්නට සිදු වුණා. තවමත් තිරයෙන් නුදුටු දඹානේ
මුළුමනින්ම රූපගත කළ තිසාහාමි චිත්‍රපටයේ සුදු කුමි චරිතය රඟපෑවේ මම. වල්ලි චරිතයට
තෝරා ගෙන සිටි සන්ධ්‍යා කුමාරි ඉවත්වීමෙන් පසු එම චරිතය නිලන්ති විජේසිංහ නිරූපණය
කළා. මෙම චරිත දෙකම තිසාහාමිගේ බිරින්දෑවරු. පැට්රික් රුද්‍රිගු වෙනුවෙන් තිසාහාමි
මෙහෙය වූයේ විජය අභයදේව.
* ඔබ සිනමා රංගනයට අමතරව වෙනත් මාධ්‍යයන් ඔස්සේ දස්කම් පෙන්නා තිබෙනවාද?
කළුබෝවිල බුද්ධඝෝෂ හා දෙහිවල මධ්‍යම මහා විද්‍යාලවල ඉගෙන ගනිද්දී පාසැල් නාට්‍යවල
රඟපෑවා. විවිධ ප්‍රසංගවල ගීත ගායනය කළා. සිනමාවට පිවිසීමෙන් අනතුරුව පියරත්න එම්.
සෙනරත්ගේ නොසිතු දේ, වැහි වලාකුළු, අකීකරු පුතා, ජුදාස් වැනි වේදිකා නාට්‍යවල
රංගනයේ යෙදුණා. ඉරිදා සිළුමිණ පත්‍රයේ ඡායාරූප කතාවල පෙනී සිටියා. ඩොමී ජයවර්ධන,
වික්‍රම බෝගොඩ සමඟ පෙනී සිටි එම ඡායාරූප කතා හරියට ජනප්‍රිය වුණා. ඉතාමත් මෑතක
චන්ද්‍රරත්න මාපිටිගමගේ ටෙලි නාට්‍යයක රඟපෑවා. නම නම් මතකයේ නැහැ.
* 1967 ප්‍රදර්ශිත සරණ ඔබ දුටු අවසන් චිත්‍රපටය ලෙස නම් කළ හැකිද?
ඔය චිත්‍රපටය ප්‍රදර්ශනය කොට වැඩි කාලයක් ගෙවුනා නොගෙවුනා තරම්. මගේ සැමියා මා
සිනමාවෙන් සමු ගන්නා බව කලා පත්‍රයකට ප්‍රකාශයක් කරලා. එය පළ වුණා. ඊට ප්‍රති
විරුද්ධව ගියේ නැහැ. අන්තිමේ මට චිත්‍රපට ආරාධනා නැතිව ගියා විතරක් නොවෙයි ඔහුත් මා
අතැර වෙන විවාහයක් කරගත්තා. මම තනි වුණා. නොවිඳිනා දුක් ගැහැට වින්දා. එදා මම
ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් කළා නම් කොච්චර හොඳ ද කියලා දැන් හිතෙනවා.
* ඔබ ඉන් හඟවන්න හදන්නේ දිගටම රඟපාන්න කැමතිව සිටි වගක්ද?
වියපත් සීතා කුමාරි තාමත් තම රංගන දස්කම් රිදී තිරයෙන් පුංචි තිරයෙන් පෙන්වනවා.
ඇත්තටම මටත් අවස්ථාවක් තිබුණා. සේරම ගිලිහී ගියා. යළිත් අවස්ථාව ලැබුණොත් වැඩිහිටි
චරිත රඟපානවා.
* ජීවිතයේ බොහෝ දේ නොසඟවා පැවසුවා සේම අවසන් වශයෙන් ඔබේ උපන් දිනය හෙළි කරන්න
කැමතිද?
මම මානෙල් සුභද්‍රා පැල්පොල. සිනමා ගතවීමත් සමඟම සුභද්‍රා ඉස්සර වෙලා මානෙල් පස්සට
ගියා. උපන් දිනය 1942 පෙබරවාරි 15 වැනිදා. උපන් ගම කුරුණෑගල. හමුදා සේවයේ නිරතව
සිටි පියා කොළඹ පදිංචියට ආවේ අපි කුඩා සංධියේදීමයි. අපේ පවුලේ සාමාජික සංඛ්‍යාව මා
සමඟ අට දෙනයි.
රූපසේන සිල්වා
ඡායාරූප - සඳරුවන් රණවක
|