වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




දමයන්ති යළිත් වේදිකාවට ගාස්තුව කීයද ?

දමයන්ති යළිත් වේදිකාවට ගාස්තුව කීයද ?

රිදී තිරය, පුංචි තිරය, වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වය ඔස්සේ ඔබ හමුවට පැමිණි දමයන්ති ෆොන්සේකා දශක ගණනාවක් නිර්මාණ වෙනුවෙන් ලබාදුන් දායකත්වය අපමණය. මෙවර ඈ සැරැසෙන්නේ ඇගේ කලා ජීවිතයෙන් ලැබූ අත්දැකීම් ඇසුරු කර ගනිමින් දූ දරුවන් රැසක් සමඟ එක් වී වේදිකා නාට්‍යයක් කරළියට රැගෙන එන්නටය.

ඒ අනුව මේ මස 05 වැනිදා ඇය අධ්‍යක්ෂණය කළ ‘ගාස්තුව කීයද?’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය සවස 6.30 ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි වේදිකා ගතවෙයි. මේ ඒ පිළිබඳ ඈ සමඟ කළ සාකච්ඡාවකි.

* ඔබ වේදිකා නාට්‍යයක් කිරීමට ස්වතන්ත්‍ර නිර්මාණයක් තෝරා නොගෙන පරිවර්තනයක්ම තෝරා ගත්තේ ඇයි?

මුලින්ම මම කැමැත්තෙන් සිටියේ ස්වතන්ත්‍රයක් කිරීමටයි. ඒ සඳහ පිටපතක් මා බොහෝ කාලයක් පටන් සෙව්වා. ඒත් හමුවුණේ නැහැ. එවිටයි පරිවර්තනයක් කරන්නට මා තීරණය කළේ.

* ඇලෙක්සැන්ඩර් වැම්පිලොව්ගේ Farewell in June කියන නාට්‍යය පිටපත ඔබට ලැබෙන්නේ කොහොමද?

පරිවර්තන පිටපත සොයාගෙන යද්දී විවිධ වූ නිර්මාණ කිහිපයක් ලැබුණත්, මුලදි මගේ නාට්‍ය පාසලේ ළමයින් සියල්ල සහභාගි කරවා ගත හැකි නිර්මාණයක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාවේදියි මට ප්‍රසන්න(සැමියා ප්‍රසන්න විතානගේ) යෝජනා කරන්නේ ඇලෙක්සැන්ඩර් වැම්පිලොව්ගේ මේ කෘතිය කරන්න කියලා.

මුලින්ම ඒ කෘතිය මම කියවනවා. ඒක නාට්‍ය නිර්මාණයකට හොඳ වග දැනුණට පස්සේ පරිවර්තනය කරන්න දිය යුත්තේ කාටද කියලා සිතමින් මා සිටියා. එතනදියි පරිවර්තන සඳහා ජාතික මට්ටමෙන් සම්මාන දිනාගත් ශිෂ්‍යයෙක් මගේ පන්තියේම සිටින වග මා දැන ගත්තේ. අමිල කුමාර වන මේ ශිෂ්‍යයාට කෘතිය දුන්නාට පස්සේ ඔහු ඒ කටයුත්ත උපරිමයෙන් කරලා තිබුණා. එහි නියම ගැඹුර ඔහු අවබෝධ කරගෙන තිබෙන වග ඒ පිටපත කියැවීමෙන් මට දැනුණා. මුල් පිටපතට හානියක් නොවන අයුරෙන් එය පරිවර්තනය කරන්නට ඔහු උත්සාහ ගෙන තිබීම අගය කළ යුත්තක් ලෙසයි මා දකින්නේ.

* මෙවැනි කාර්යයක් කළ යුතුය යන අදහස ඔබට ඉදිරිපත් වන්නේ කෙසේද?

රංගනය ගැන ඉගෙන ගන්න ආශාවක් තිබුණු ළමයි කිහිප දෙනෙකුගේ ආරාධනයෙන් ඇරැඹුණු නාට්‍ය පාසල මා ආරම්භ කරන්නේ 2013 වසරේ. ඒ සඳහා සහභාගි වුණු ළමයින් මේ වැඩමුළුව අවසාන වුණාට පස්සේ වේදිකා නාට්‍යයක් කරමු කියන යෝජනාව මට ඉදිරිපත් කරනවා.

ඒ සඳහා කළ යුතු කැප කිරීම්, ඔවුන්ට ඒ ඔස්සේ ලැබෙන අත්දකීම් වගේම එවැනි කාර්යයකට යන වියදමත්, මෙය දිගටම පවත්වා ගෙන යා යුත්තේ කෙසේද කියලා ඔවුන්ට පැහැදිලි කළා. හොඳ නිර්මාණයක් මඟින් මේ සියලු කරුණු ජය ගැනීම සඳහා තිබෙන්නා වූ අභියෝග මා ඔවුන්ට පැහැදිලි කරලා දුන්නා. ඒ ඔස්සේ දැනුම, සතුට ආදී සියල්ල ලැබෙන අයුරුත් පැහැදිලි කළා. මේ කටයුත්තට මා මූලිකත්වය ලබා දෙන්නේ ඊට පසුවයි.

* වේදිකා නාට්‍යයක් දිගින් දිගටම පවත්වාගෙන යෑමට නම් නිෂ්පාදකවරයකුගේ සහභාගිත්වය අත්‍යවශ්‍යයි. නිෂ්පාදකවරයෙකු සොයා ගැනීම පහසු වූවාද?

ඒ කටයුත්තට මූලිකත්වය ගත්තේත් මේ ළමයින් පිරිසමයි. ඒ සඳහා ඔවුන් දැඩි උනන්දුවක් දැක්වූවා. මේ කටයුත්තට ඔවුන් නිෂ්පාදකවරු දෙදෙනෙක් හවුල් කර ගත්තා.

ඒ චාමික සම්පත් සිල්වා හා තිළිණ පෙරේරායි. කලාවට ආදරය කරන ඔවුන්ගේ මේ හවුල්වීම මා අගය කරනවා. ඒ වගේම මේ කාරණයත් කියන්න ඕනෑ. අද වනවිට බොහෝ රූපවාහිනි සේවාවන් මඟින් ඕනෑ තරම් ගායන හා නර්තන ශිල්පීන් හා ශිල්පිනියන් බිහි වුණත් රංගන ශිල්පීන් හා ශිල්පිනියන් බිහි වෙනවා දකින්නට නම් නොහැකියි. ඒක බොහොම අඩුපාඩුවක් ලෙසයි මා දකින්නේ. එහෙම නොවී රූපවාහිනි වැඩසටහන්වලදී රංගන තරුත් බිහි කළා නම් නිර්මාණවලට නිෂ්පාදකවරුන්ගේ හිඟයක් තිබේ යැයි මා සිතන්නේ නැහැ.

* අධ්‍යාපනය,තරුණ ප්‍රශ්න, දේශපාලනය ආදී කරුණු රැසක දිගු පරාසයක් දක්වා විහිද යන ‘ගාස්තුව කීයද?’වේදිකා නාට්‍යය ඔබ නම් කරන්නේ ප්‍රහසනයක් ලෙසයි?

වැම්පිලොව් මේ නිර්මාණය හරහා කතා කරන්නේ අපගේ සමාජයේ ජීවත්වන චරිත පිළිබඳවයි. තරුණයන් හා වැඩිහිටියන් අතර තිබෙන පරම්පරා ගට්ටනය ඔහු තම නිර්මාණයේදී ඉදිරිපත් කරන්නේ උපහාසාත්මක අයුරෙන්. අධ්‍යක්ෂවරියක් ලෙස එය මා වටහා ගත්තා.

නාට්‍යය වේදිකා ගතවීමේදී සමහර ස්ථානවලදී ප්‍රේක්ෂකයන්ට සිනහ යන්නේ ඒ නිසා. ඒ සිනහාවේදී ඔවුන් කෑගහලා සිනහ නොවුණත් ඔවුන්ගේ මුවඟට නැඟෙන උපහාසය මේ නාට්‍යයේ ප්‍රබලව දැනෙන බවක් මා සිතනවා. ඔබ නාට්‍ය නරඹා කියූ යම් යම් කාරණාවලින් වුණත් එය ඔප්පු වුණා.

* නමුත් මා එය අවබෝධ කර ගත්තත්, වර්තමාන ප්‍රේක්ෂකයා නාට්‍යයේ යටි පෙළෙන් දිවෙන උපහාසය නිවැරැදිව හඳුනා ගනීදැයි යමෙකුට ප්‍රශ්නයක් පැන නැඟිය හැකියි. මන්ද වර්තමානයේ ප්‍රහසනය කියා ඔවුන් තේරුම් ගෙන තිබෙන දේ අනුවයි මා ඔබගෙන් විමසන්නේ?

වර්තමානයේ ඔබ කියන තැන තිබෙන්නේ ප්‍රහසනය නොවෙයි. හාස්‍යයයි. ප්‍රේක්ෂකයා මගේ නිර්මාණ බලලා කෑගහලා සිනා නොවෙන්නත් පුළුවන්. එහෙත් නාට්‍යයේ යටිපෙළෙන් දිවෙන උපහාසය හඳුනාගැනීමට තරම් සියුම් ඥානයක් ඔවුන්ට තිබෙන වග මා විශ්වාස කරනවා.

කොහොම නමුත් සමහර විට එහෙම නොවෙන අයත් ඒ අතර ඉන්න පුළුවන්. මා අදහස් කරන්නේ යම් නිර්මාණයක් ප්‍රේක්ෂකයා නැරැඹීමෙන් පස්සේ ඒ මඟින් යමක් ඔවුන්ට ලැබිය යුතු බවයි. ඔවුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා පිය නැගිය යුතුයි. ආනන්දයෙන් මතක් කළ හැකි යමක් ඒ නිර්මාණයේ තිබිය යුතුයි. මගේ නිර්මාණවලදී ඒ ගැන මා නිතරම සැලකිල්ලට භාජනය කරන කරුණක්.

* ගාස්තුව කීයද? වේදිකා නාට්‍යයේ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් වේදිකාවට ආධුනිකයන් යැයි අපට සිතෙන්නේ නැහැ?

ඒ වචනයම මගේ සිතට සතුටක් ගෙනෙනවා. මොකද මා මාස ගණනාවක් ඔවුන්ට රංග අභ්‍යාස, වැඩමුළු කළා. ඊට පස්සේ මාස ගණනක් නාට්‍යයේ පුහුණුවීම් කළා. අද ඔවුන් යම් තත්ත්වයක ඉන්නේ ඒ කටයුතු මා මෙන්ම ඔවුන්ද නිසි අයුරෙන් කැපවීමෙන් කළ නිසා බව මා සිතනවා. ඔවුන්ට අත්දැකීමක් ගැනීමට සංවිධානය කළ පළමු වේදිකා ගත කිරීම නැරැඹූ බොහෝ දෙනා ඔවුන් පිළිබඳ විවිධ මධ්‍යස්ථ මත ප්‍රකාශ කළා. ඒ අනුව ඔවුන් සතුව යම් දක්ෂතා රැසක් තිබෙන වගත් ඉන් හෙළි වෙනවා.

* ඔබගේ රංගන කටයුතුත් සමඟ මෙවැනි කටයුත්තකට මුල පුරන්නට කාලය ඉතිරිව තිබුණාද?

එදා පටන්ම මම සෑම නිර්මාණයකටම සහභාගි වුණේ තෝරා බේරා ගැනීමකින්. ඒ නිසා සතියේ දවස්වල රූගත කිරීම්වලට සහභාගි වුණා. ඉතිරි දවස් වැඩමුළුවට වෙන් කළා. ඔවුන් ගැන නියම අයුරෙන් හඳුනා ගත්තට පස්සේ මට දැනුණ දෙයක් වුණේ දවසකට පැය තුනක් පුහුණුවීම් කරලා මේ අයව යම් තැනකට රැගෙන පැමිණිය නොහැකි බවයි. ඒ නිසා මේ මාස කිහිපය වෘත්තීය පැත්තෙන් මා කැප කිරීමක් කළා. එහි ප්‍රතිඵල තිබෙන වගක් දැන් මට දැනෙනවා.

* මේ වනවිට දර්ශන රැසක් සංවිධානය වී අවසන්ද?

මුලින්ම ප්‍රේක්ෂකයන්ගේ මංගල දර්ශනය වේදිකා ගත වෙන්නේ 05 වැනිදා. ඒ නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී. ඊට පසුව 12 වැනිදා දෙහිවල එස්. ද එස්. ජයසිංහ රඟහලේ වේදිකා නාට්‍යය වේදිකා ගතවීමට නියමිතයි. මේ වනවිට දර්ශන කිහිපයක්ම පිට පළාත්වලත් සංවිධානය වී අවසන්. අවසාන වශයෙන් මේ නාට්‍යය නරඹන්න පැමිණෙන්න කියලා මා ප්‍රේක්ෂකයන්ට ආරාධනාවක් කරනවා.

අධ්‍යක්ෂිකා - ප්‍රවීණ, වේදිකා, ටෙලි, සිනමා රංගන ශිල්පිනී – දමයන්ති ෆොන්සේකා, පරිවර්තනය – අමිල කුමාරගේ, වේදිකා පරිපාලනය – අනිල් කේ. විජේසිංහ, රංග භාණ්ඩ හා පසුතල නිර්මාණ්‍ය - සංජය එදිරිසිංහ, අංග රචනය – රමේෂ් මතඟවීර, ඇඳුම් නිර්මාණය - සන්ධ්‍යා ජයසූරිය – දමයන්ති ෆොන්සේකා, කේෂාලංකරණය - තුෂාර විදාන ගමගේ, සංගීත අධ්‍යක්ෂණය - රාජ් කුමාර් දර්ශන්, ගීත රචනය – චරිත් සේනාධීර, නැටුම් අධ්‍යක්ෂණය – උදාර රාජපක්ෂ, ආලෝක පරිපාලය හා ශබ්ද පරිපාලනය –වසන්ත කුමාර, නිෂ්පාදන සහය –මධුසංඛ ශ්‍රීමාල්, නිෂ්පාදනය – තිළිණ පෙරේරා, චාමික සම්පත් සිල්වා, රංගන ශිල්පීන් - ජගත් චන්ද්‍රසිරි, අනෝජා වීරසේකර, දිනක්ෂි ප්‍රියසාද්, දසුන් නිශාන්, තාරියා කෙනඩි, උදාර රාජපක්ෂ,නාමල් ජයශාන්ත, ධනුෂ්ක චතුරංග, චන්දිමා, දුලීකා ගයනි, අමිල කුමාරගේ, අර්ජුන නානායක්කාර, නිකිණි අකිතා, මධුසංඛ ශ්‍රීමාල් / වසන්ත විතාරනගේ

ප්‍රධාන චරිතයට පණ පොවන නිළිය තාරියා කෙනඩි

මේක මගේ මුල්ම වේදිකා රංගනයයි. වේදිකා නාට්‍යයක් කරමු යැයි අප දමයන්ති මිස්ට යෝජනා කළාට පස්සේ ඈ ඒ ගැන අපට පැහැදිලි අවබෝධයක් දුන්නා. ඒ සියලු දේත් සමඟ රංගනයෙහි මූලික පාසල වේදිකාව ලෙසයි මා අවබෝධ කර ගත්තේ. ඇය අපට ගුරුතුමියක් වගේම මවක් කියලා කිව්වොත් නිවැරැදියි.

ප්‍රධාන චරිතයට පණ පොවන නළු දසුන් නිශාන්

පුංචි තිරයෙන් රඟපෑමට සහභාගි වුණත් වේදිකාවේ මා රඟපාන පළමු අවස්ථාවයි මේ. ඒ චරිතය ගොඩනඟා ගැනීමට දමයන්ති ෆොන්සේකා මහත්මියගෙන් ලැබුණු සහයෝගය මතක් කළ යුතුයි. බොහොම නිදහසේ රඟපෑමට මට අවස්ථාව හිමි වුණා. මේ අවස්ථාව මගේ රංගන ජීවිතයට ලැබුණු අභියෝගයක්.