වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




පතොක් වැටිය උඩින් ඇදී දිවයුරු මිය යන මොහොතේ

පතොක් වැටිය උඩින් ඇදී දිවයුරු මිය යන මොහොතේ

ගේය පදරචක සුනිල් ආර්.ගමගේ

මෙවර ‘මතක ගී පොත‘ විශේෂාංගයෙන් ඔබ හමුවට පැමිණෙන්නේ ගේය පද රචක සුනිල් ආර්.ගමගේය. සිය අතීත සොඳුරු මතකය අතර සැරිසරන ඔහුව ගීත රචකයෙකු ලෙස ඔබ හඳුනා ගන්නේ ‘කවිය ඔබ’, ‘මංගල කසී සළු’,‘පෙම්වත තරහවෙලා’, ‘නුඹේ සිතට’, ‘සුදු පරෙවි රෑන සේ’, ‘පිවිතුරුය පළමු පෙම’,‘ඔබ පෙම් කරනා’, ‘පුරපෝය හදට’ ආදී ගීත රැසක් ඔස්සේය.

එක්වරම හමාගෙන ආ සිහිල් සුළං රැල්ල පැමිණියේ මා සොයා ගෙන දැයි මා සිතෙහි උපන්නේ සැකයකි. සක්මන් කිරීම නැවතු මම ඒ සුළං රැල්ල පැමිණි දෙසට එබිකම් කළෙමි. නිවෙස වසාගෙන නැඟී සිටින තිත්ත කළුවර මකා දමන්නට මෙන් එහා මෙහා දුවන කලා මැදිරියෝ එකා දෙන්නා මගේ නෙත ගැටුණේ එවිටය. කවුළුව අසල මදක් නතර වූ මා ඉන් ඈත් වී මිදුලට පිවිසියේ සීතල සුළගෙහි පහස නිදහසේ විඳීනු පිණිසය. නිල් පැහැයෙන් දිලෙන අහස් කුසේ නිවී දිලෙන තරු දුටු මට මා කුඩාකල ලියූ කවියක් සිතට නැගුණේ ඉබේමය.
 

“තරු මැද අහසේ ගෙයි උඩ වහලේ

වට කුරුවට සඳ බැබැලෙනවා

නටමින් පිළ උඩ සඳ එළියට පැන

තරු ගැන ගැන අපි හිනැහෙනවා“

මා ලියූ කවි අගය කළේ එන්.එම්.පෙරේරා නම් ගුරුතුමියයි. ඉන් දහිරිය වත් වූ මම දිගින් දිගටම කවි රචනා කළෙමි. දිනක් ඒ එක් කවියක් මගේ පන්තියේ උන් බී.එස්.මාලනී නම් ශිෂ්‍යාවක් උත්සව අවස්ථාවකදී ගැයූ අයුරු මට සිහිපත් වෙයි. මාලිනී බුලත්සිංහල නමෙන් පසුකලෙක ගායන ලොවේ කිරැළ පැලැදූයේ මේ ශිෂ්‍යාව නොවේදැයි මගේ මතකය මට පසක් කළේ මේ අතරය. යළිත් මම අහස දෙසට නෙත් යොමු කළෙමි.

සඳ නොපෑයූවද අඳුරේ ද අපුරු සොඳුරු බවක් ඇතැයි මට සිතිණි. කොහේදෝ සිට පැමිණි වවුලකුගේ තටු එකට වැදීමෙන් නැගෙන හඬ අවට වූ නිහඩ බව බින්දේය. ඒ අතරෙන් මගේ සිතට පිවිසියේ නැඟණිය කුඩාකල නැළවීමට අම්මා ගයන ‘මුනි සිරිපා සිඹිමින්නේ‘ කවියේ ළයාන්විත ස්වරයයි. අඳුර අතරෙන් පෙනෙන ළං ළංව පිහිටි නිවෙස් කිහිපය කියා පාන්නේ වේරහැර ගම්පියස ශීඝ්‍රයෙන් ජනාකීර්ණ වූ පණිවුඩයයි. එකල ගම එක් පසෙකින් ගැලු ගඟත්, ඒ අසලම පිහිටි පන්සලත් ස්වයං පෝෂිත ආර්ථික රටාවක එක් පැතිකඩක් විදහා පෑවේය. රෑස්ස රුක්වලින් සුසැඳුණු වන පියස විඩාව නිවන උද්‍යානයක් බඳුය.කජු,අඹ,රඹුටන්,මොර,දඹ ආදී පලතුරුවලින් යුක්ත ඒ උද්‍යානය කුඩා අපටම තැනුනු රාජධානියක සිරි ඉසිලීය. පාසල වූ මහරගම විද්‍යාකර විද්‍යාලයත්,අපගේ ගමත් අතර සැතපුම් 4කට වඩා දුර නොවීය. වන පියස මැදින් අප එහි ගියේ පා ගමනෙනි. කණ්ඩායමක් ලෙස ආ ගිය මේ ගමන මගේ හදවතේ නොමැකෙන අයුරෙන් සටහන් වී තිබේ. එහිදී ආපසු නිවෙසට පැමිණෙන ගමන තරම් සුන්දර ගමනක් වේත් දැයි මට අදත් නොවැටහේ. මන්ද පලතුරුවලින් පිරුණු ගස් අප දෙස බලා සිටින්නේ

‘එන්න ඇවිත් අප කඩා අනුභව කරන්න‘

යන පණිවුඩයත් රැගෙන යැයි එකල මට සිතුණු වාර අනන්තය. කඩා ගෙඩි කමින් ගෙවූ සොඳුරු ළමාවිය වඩාත් අර්ථවත් වූයේ සවස් කාලයේය. නිවෙසට පැමිණ දහවල බත බුදින අප පැයක පමණ කාලයක් නිදා ගැනීමෙන් අනතුරුව ලදු කැලෑවට දුවන්නේ ඔට්ටු සෙල්ලම් කරන්නටය. හැංගි මුත්තම් තියන්නටය. ඒ අතරතුර බෝවිටියා හා දම් කෑම නිසා දම්පැහැති වූ මුවඟ දෙස බලා එකිනෙකාට සිනහ වන අපි පඳුරුවල සෙල්ලම් කරන බට්ටිච්චන් දෙස බලා සිටින්නට මහත් අභිරුචියක් දැක්වීමු.

වරෙක වෙල් ඉපනැල්ලේ දුව පනින අප දෙපාව දිගේ ගමන් කිරීමෙන් ලැබුවේ අපමණ සතුටකි. මේ අතර දෙපාව දිගේ ගලනා දිය පහරට එබෙන මම එහි තිත්ත පැටව් උඩ පැන නටනා නැටුම බලන්නට අමතක නොකරමි. එපමණක් නොව හිරු බැස යන සැඳෑව මගේ සිත් ගත්තේ නෙක විසිතුරු රටා මවමිනි. වෙල ඉස්මත්තේ හාන්සි වී, හිරු රෑස්ස රුක් අතර නොපෙනී යන දසුන සෑම දිනෙකම බලා සිටින්නට මම ප්‍රිය කළෙමි. මෙසේ අතීත මතකය අතර ගිලුණු මේ රාත්‍රියේ මගේ මතකයට නැගෙන්නේ කුලරත්න ආරියවංශයන්ගේ සුරතෙන් පද බැඳුණු මේ ගීතයයි.
 

මා වවුලන් රෑ පුරාම

රංචු ගැසීලා

මී ගස්යට මී වැහි වැහැලා

බාලේ මෙන් පාන්දරින්

ඇහිදින්නට යන්නට බෑ

මට තනියක් දැනෙනවා

දරට ගිහින් කුරුදු කැලේ

මඟ වැරැදීලා

මං එනතුරු හඬා වැටෙද්දී

නුඹට දැනුණ පාළුව දුක

මෙදා මටයි මලේ

නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

පැදුරු කොටේ තුරුලු වෙලා

ගොම්මං යාමේ

හොල්මං ගැන කතා කියද්දී

මගේ ඇගේ දැවටීගෙන

අසාවුන්නු මලේ

නුඹ නැතිදා මට තනිකම දැනෙනවා

 

ගේය පද - කුලරත්න ආරියවංශ

සංගීතය - රෝහණ වීරසිංහ

ගායනය - ඩබ්.ඩී.අමරදේව

එමෙන්ම මේ ගීතය අසන මම කුඩා කාලයේ අනෙක් ඉම වෙත ද ගමන් කරන්නට අමතක නොකළෙමි. ඒ මා ගේයපද රචකයකු ලෙස කළ එළි බසින්නට මුල් වූ අතීතයයි.

එකල මා සිටියේ ගණිත අංශයෙන් උසස් පෙළ හදාරමිනි. දිනෙක මා ගුවන් විදුලියට පිවිසියේ පොතක එක් පාඩමක් වූ ධ්වනිය පිළිබඳ මගේ සිතේ නැඟුණු කුකුස විසඳා ගැනීමටය. එදින සරල ගී ගයන්නට එහි පැමිණි සුජාතා අත්තනායකට ගීත දෙකක අඩුවක් තිබෙන වග ඈ නෙවිල් ප්‍රනාන්දු නම් ගිටාර් ශිල්පියා සමඟ කියනු මා අසා සිටියේ අහම්බයෙනි. ඒ වනවිට මගේ සිතේ පැලපදියම් වී තිබූ අදහස මා කොළයක කුරුටු ගා නෙවිල්ගේ අත තැබුවේ ඊළඟ තත්ත්පරයේය.

“ඔබමද මේක ලිව්වේ“

කොළයෙහි වූ ගීතයෙහි පද කියවූ ඔහු සුදුකොට කලිසමක් ඇඳ සිටින මගේ හිස සිට දෙපතුළට බැල්මක් හෙළා ඇසුවේ පුදුමයෙනි. මම ඔළුව වැනුවෙමි. ඔහු එදින පටිගත කිරීමට ගීතය ඈදා ගත්තේ මහත් සොම්නසෙනි. කිසිකලෙකත් අමතක නොවන සිදුවීම සිදුවූයේ ඉන් පසුවය. ඒ ගීතය එදිනම රාත්‍රීයේ 7.00ට ප්‍රචාරය කරන වග පැවසීමය. හදිසියේම ලැබුණු මේ පණිවුඩය මා අම්මාටත් තාත්තාටත් පැවසූයේ හිසේ මල් දහසක් පිපුණු විලසිනි. පා පැදියට නැගුණු ඔහු එය වේගයෙන් පැද්දේ ගමේ උන් අනෙක් අයට තව හෝරාවකින් ඇසෙන මා ලියූ ගීතය අසන්නට යැයි කියන්නය. එදිනෙන් පසු ගුවන් විදුලියේ ගීත අසන්නට තහංචියක් මට නොපැනිණි.

මේ ගීතය ද අපගේ ජීවිතයේම බොහෝ සිදුවීම් මතකයට නඟයි. නන්දා මාලිනිය ගයන ඒ ස්වරය සිත දැහැන්ගත කරන්නට සමත්වෙයි.
 

රුක් අත්තන මල මුදුනේ

බමරු නටන හැන්දෑවේ

සැදෑ අඳුර පියමන් කර

කවුරුද එන්නේ

පුතුනි බලන් යොමා නුවන්

කවුරුද එන්නේ

මුතු පිණි දැල් සැලෙන උදේ

උදා දිමුතු හිරු එළියේ

පුතු සවනට රහස් කියා

පියමන් කරලා

අප වෙනුවෙන් දවස ගෙවා

වෙහෙසී එන්නේ

පතොක් වැටිය උඩින් ඇදී

දිවයුරු මිය යන මොහොතේ

පුරා සඳක් සේ ඈතින්

කවුරුද එන්නේ

පුතුනි බලන් යොමු නුවන්

කවුරුද එන්නේ

 

ගේයපද - මහින්ද අල්ගම

සංගීතය - විශාරද නන්දා මාලිනී

ගායනය - විශාරද නන්දා මාලිනී

 

 

අපේ තාත්තාව වේරහැර ගම් පියසේ වැඩිහිටියන් හැඳීන්වූයේ ‘ආටි මහත්තයා‘ යන ආදරණීය නාමයෙනි. මන්ද තාත්තා සැරසිලි කපන්නට සමතෙකි. ඔහු නොමැති පිරිත් ගෙයත් එකල ගමෙහි සොයා ගැනීම දුෂ්කර විය. කරුණාවන්ත කෙනෙක් වූ ඔහු ගමේ සියල්ලන්ටම ආදරය කළේය. ගොඩනැඟිලි පරීක්ෂකවරයෙක් විදියට ලංගමෙහි රැකියාව කළ ඔහු සියලු වැඩ නිමවා නිවෙසට පැමිණෙන්නේ සැදෑ අඳුරත් සමඟය. අම්මා, ඔහුගේ අත තබන තේ කෝප්පය තොල ගා ඉදිරිපස තබා ඇති හාන්සි පුටුවෙහි ඉඳ ගන්න ඔහු සැළලිහිණි සන්දේශයේ කවි එකින් එක හඩනඟා ගයන අයුරු මම අසා ඇත්තෙමි. එලෙස ඔහු ගැයූ සන්දේවල කවි ද වන්නම් ද මට කට පාඩම් වූයේ ඉබේමය. ඔහු ගැයූ ඒ උකුසා වන්නමේ තාලයත්, පදත් මගේ සිතේ අද ද නින්නාද දෙයි. එහි නාද රටාව සිහි ගන්වන මේ ගීතයේ තනු නිර්මාණය කර ඇත්තේද නන්දා මාලිනීය. මෙතෙක් ඈ රචනා කළ තනු පිළිබඳව කතාබහට ලක් නොවීම අප පසුව විමසිය යුත්තකි.

මා බෙහෙවින් ප්‍රිය කරන මේ ගීතයෙහි පද මට සිහිපත් කරන තව කෙනෙක් වෙයි. ඒ අම්මාය. සිය රැකියාව සඳහා දින කිහිපයක් ඈත්ව ගොස් සිටි තාත්තා නැවත පැමිණෙන දිනය අපට මඟුල් ගෙදරක් බඳුය. එදිනට වෙනදාටත් කලියෙන් තාත්තා කැමැති කෑම උයන අම්මා වරින් වර දොරෙන් එබිකම් කරන්නේ තාත්තා පැමිණේදැයි සොයන අටියෙනි.

‘බලන්න පුතේ තාත්තා එනවද කියලා?’

ඈ දොරකඩ මා ඉන්ඳ වන්නේ ඔත්තු බැලීමට ය. ඒ කාරිය මා භාර ගන්නේ බොහෝ සතුටෙනි. මන්ද තාත්තා ගෙනෙන රසවත් කැවිල්ලකින් වැඩි කොටසක් අනිවාර්යයෙන්ම මට ලැබෙන බැවිනි. මෙලෙස වේලාසන සිටම පෙර මඟ බලා සිටියද තාත්තා පැමිණෙන්නේ රෑ බෝ වීය. ඒ වනවිට අප සුපුරුදු අයුරෙන් නින්දේය. එහෙත් අම්මා නිදි නොලබා ඔහු එනතුරු මඟ බලා සිටින්නේ, අද මගේ බිරිය මා පැමිණෙන තුරු බලා සිටින්නාක් මෙනි.