වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




කාට කාටත් ඕනෑ විදියට නටන ගැහැනියක් නෙමේ මම

කාට කාටත් ඕනෑ විදියට නටන ගැහැනියක් නෙමේ මම

සැමියා දැනුවත්වයි මම පෙම් ජවනිකා රඟපෑවේ

නාට්‍යය පටන් ගන්න කොට නම එකට නාට්‍යය යන කොට නම පස්වෙනියට

පරා වළලු නිළියට අසාධාරණයක්?

ඔබේ සම්පූර්ණ නම කියන්න බලන්න?

විජේසිංහ මුදියන්සේලාගේ සුමුදු ප්‍රසාදිනි අබේසේකර.

බොහෝ දෙනෙකු ඔබව හඳුන්වන්නේ සුමුදු ප්‍රසාදිනි කියන නමින්?

ඔව්.

සුමුදුගේ ගෙවල් කොහෙද?

කුරුණෑගල දොඩම්ගස්ලන්දේ.

පාසල් ගියේ?

පළමුව ගියේ අලකොලමඩ නාලන්දා විද්‍යාලයට. මං ක්‍රීඩාවට දක්ෂ නිසා මට ශිෂ්‍යත්වයක් ලැබුණා මලියදේව විද්‍යාලයට යන්න.

ක්‍රීඩාවෙන් ඉදිරියට ගියා නම් හොඳයි කියලා අද වන විට හිතිලා නැතිද?

අනන්තවත් හිතෙනවා. මං දිගටම ක්‍රීඩා කළා නම් අද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක්. 2005 අවුරුද්දේ ඇක්සිඩන්ට් ඒකක් වෙලා මට මාස හයක් විතර ඇවිද ගන්න බැරුව හිටියා. ඒ හින්දා ක්‍රීඩා කරන එක නවත්වන්න සිදු වුණා.

සුමුදුගෙ උපන් දිනය?

1989 අප්‍රේල් 18.

පවුලේ තොරතුරු?

අම්මයි තාත්තයි අක්කයි අයියලා දෙන්නයි. මං තමයි පවුලේ බඩපිස්සි.

සුමුදු නේද පාරාවළලු නාට්‍යයේ ප්‍රධාන චරිතය මැව්වේ?

හරියටම හරි.

ඒත් දැන් ඔබ නැහැනෙ?

එක දිග කතාවක්.

කමක් නැහැ කියමු?

මේ නාට්‍යයට මට කතා කළේ චාමර සමරවික්‍රම. ඔහු බොහොම පැහැදිලිව සහ ගෞරවයෙන් මීට ඇරැයුම් කළා.

ඉතින්?

මධාරා නම් වූ ගුරුවරියකගේ චරිතයක් තමයි මට නිරූපණය කරන්න තියෙනවා කියලා කිව්වේ. කාලයාගේ ඇවෑමෙන් ඇය දේශපාලනයට එනවලු.

නාට්‍යයේ හිටපු මධාරා එහෙම කෙනෙක් නෙවෙයිනෙ?

අන්න ඒක තමයි වුණ ගැටළුව. මෙයාලා මැදදි කතාව වෙනස් කළා.

ඔබ ඒ වෙනසට අනුගත වුණේ නැද්ද?

මට බැහැ එහෙම කියන කියන වෙලාවට චරිතය වෙනස් කරන්න. අනික මං මේ නාට්‍ය බාර ගත්තේ කරන්න තිබුණු ගුරුවරියගේ චරිතය නිසා.

මධාරාට අන්තිමේ සිද්ධ වුණේ මොකක්ද?

ඇය විවාහ වෙනවා. ඊට පසුව මධාරා ගෘහණියක් පමණයි.

ඔබට ගෘහණියකගේ චරිතයක් රඟපාන්න මදිකමක් වගේ දැනෙනවාද?

එහෙම නෙවෙයි. මට ඒ චරිතය ඇතුළේ කරන්න දෙයක් නැහැ.

නළුවකුට හෝ නිළියකට හිඟන්නෙකුගේ චරිතයක් ලැබුණත් තමන්ගේ ශිල්ප ක්‍රම යොදාගෙන එය හොඳට නිරූපණය කරන්න පුළුවන්නේ?

ඒක හරි. නමුත් ගෘහණියක් ලෙස මට වැඩිපුරම තිබුණේ රණ්ඩු කරන දර්ශන. එතැනින් එහාට මුකුත් නැහැ.

ඇයි ඔබට එහෙම වුණේ?

අනේ මන්දා. මමයි රොෂාන් රණවන අයියයි මෙහි ප්‍රධාන චරිත කළේ. අපි දෙන්නගේ නම් දෙකයි නාට්‍ය පටන් ගනිද්දීම දැම්මෙ. නමුත් පසුකාලීනව මගෙ නම පස්වෙනියට විතර දාන්න පටන් ගත්තා.

ඔබට කාගෙන් හරි ලොකු කැපිල්ලක් තියෙනවා වගෙයි?

ඒ ගැන නම් මට කියන්න තේරෙන්නේ නැහැ.

හැබැයි මට නම් ආරංචි වුණේ වෙන කතාවක්?

මොකක්ද?

ඔබ පෙම් ජවනිකා රඟපාන්න බැහැ කියලා නාට්‍යයෙන් අයින් වුණාලු?

මම . . . ඒක හරිම අසාධාරණ කතාවක්නේ.

රොෂාන් රණවනත් එක්ක තියෙන පෙම් ජවනිකා වැඩියි. ඒවා ටිකක් අඩු කරන්න කියලා ඔබ කාටවත් බලපෑම් කළේ නැතිද?

නැහැ. නැහැ. නමුත් මෙහෙම දෙයක් නම් මම කිව්වා. නාට්‍යයෙහි මගෙයි රොෂාන්ගෙයි අතර ලව් සීන්ස් තියෙනවා කියලා කවුරුවත් මුලදි දැනුවත් කළේ නැහැ. පසුකාලීනව එහෙම පිටපත වෙනස් වෙද්දී මං ඒ ගැන නම් කතා කළා.

ඔබේ සැමියා කැමැති වුණාද ඔබ පෙම් ජවනිකා රඟපානවට?

රොෂාන්ව මම විතරක් නෙවෙයි. ඔහුත් හොඳට දන්නවා. ඒ හින්දා සැමියාගේ දැනුවත්භාවය මතයි මං පෙම් ජවනිකා කළේ.

ඒ කියන්නේ ඔබ රොෂාන් හැර වෙනත් නළුවකුට කැමරාව ඉදිරියේ පෙම් කරන්නේ නැහැ?

ඒක ඒ වෙලාවට බලමු.

පාරාවළලු නාට්‍යයෙන් ඔබට වෙච්ච අසාධාරණය ගැන චාමර ඇතුළු වගකිවයුත්තන්ට දැන්නුවේ නැද්ද?

මොකෝ නැත්තේ. චාමරට වගේම බුද්ධික කුලසේකර මහත්තයවත් දැනුවත් කළා.

ඔවුන් හරහා නැවතත් පාරාවළලු සඳහා සම්බන්ධ වෙන්න බැරිද?

ඇත්තම කිව්වොත් මට දැන් මධාරාට ඇති ආසාව නැති වෙලා තියෙන්නෙ.

ඔබ හිතනවාද ආයෙ ඔබව ස්වර්ණවාහිනියේ නාට්‍යයකට ගනියි කියලා?

මෙහෙමයි. මට අසාධාරණයක් වුණා. මං ඒ ගැන නොබියව කතා කළා. අනිත් අය නම් මෙවන් දෙයක් වුණාම කට වහගෙන ඉන්නවා රඟපාන්න අවස්ථා නැති වේවි කියලා. එත් මං එහෙම නැහැ. එළිපිට අදහස් කියනවා. මට ආයෙත් කතා කළත් එකයි නැතත් එකයි.

ඔබේ වෘත්තීය කලාව නෙවෙයිද?

කලාව තමයි.

ඔබ ඔය වගේ කතා කියලා රඟපාන්න කතා නොකළහම ඔබගේ ආදායම් මාර්ගය ඇහිරෙනවානෙ?

මට හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. ඔහු මට කන්න අඳින්න දෙනවා. ඉතින් මං මොකටද බය වෙන්නේ.

ඔහු ගැන විස්තර ටිකක් කියමු?

එයාගේ නම මිතුල අබේසේකර. 2010 මිස් පර්ෆෙක්ට් කියන ඉවෙන්ට් එකේදියි මට ඔහුව මුණ ගැසුණේ. මිතුල එහි මගේ පාට්නර්. එතකොට ඔහු මොඩ්ලිං කළා. දැන් ඒ සේරම නවත්වලා පෞද්ගලික බැංකුවක සේවය කරනවා.

ඔබ මෙහෙම හිටියට රූ රැජිනක් නේද?

ඔව්. ඒත් මං බොහොම කැමැතියි සරලව ඉන්න. 2012 මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා වුණේ මං. ඒ හේතුවෙන් මට මිස් වර්ල්ඩ් නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මෝස්තර නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ආව අලුතයි මේවාට සහභාගි වෙන්න ලැබුණේ.

එවැනි තරගවලදී තරගකරුවන්ට අඩ නිරුවත් ඇඳුම් අඳින්න වෙනවා?

ඔබ ඔය කියන්නේ බීච් වෙයාර් එක ගැන වෙන්න ඇති. එහිදී මම සිරුරේ යට කොටසට අඳින රුපර් රවුන්ඩ් එක ඇන්දා. ඉවෙන්ට් එක ඉවර වෙනකම් එහෙම හිටියේ. කාටවත් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. අනික රටක ඔවැනි ඇඳුම් බොහොම සාමාන්‍යයිනේ.

මේ වැඩ කටයුතුවලට අමතරව ඔබ නිවේදිකාවක ද වෙනවා?

මම තමයි ස්වර්ණවාහිනියේ ලියසෙවණ වැඩසටහන මෙහෙය වන්නේ. ඒක සෑම සෙනසුරාදාවකම සවස හයට විකාශය වෙනවා.

දැන් මෝස්තර නිරූපණයේ යෙදෙන්නේ නැතිද?

හොඳ වැඩක් ආවොත් යනවා.

පාරාවළලු වලින් පස්සේ ඔබව යළි නාට්‍යයකින් දක්නට ලැබෙයිද?

හිම පියළි කියලා නාට්‍යයක් කළා. ඒක ළඟදීම විකාශය වේවි. පාරාවළලු නාට්‍යයට දායකවෙලා මං හොඳ පාඩම් කිහිපයක් ඉගෙන ගත්තා. ආයේ මං වැඩකට යනවා නම් පිටපත පළමුව ඉල්ල ගන්නවා. ඒ අනුව වැඩ කරන්නේ. කාටවත් ඕනෑ ඕනෑ විදිහට එතකොට මාව නටවන්න බැහැනෙ.