වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සුමනා අමරසිංහ සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ

සුමනා අමරසිංහ සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයේ

මල්ලි, දැන් මට දැනෙන්නේ මගේ අත් දෙකම කඩලා දාලා වගේ.

දිගු සුසුමක් පිට කරමින් රෝයි ද සිල්වා ඉවත බලාගෙනම කීය. ඔහු මෙතරම් දුකින් සිටි දිනයක් මා මතකයේ නැත. නිතරම සිනහමුසු මුහුණින් කොයි කා සමඟත් කුලුපග වන රෝයි අයියා අද සිටින්නේ මහත් වූ කම්පනයෙනි.

* සුමනා අක්කට දැන් කොහොමද?

ගෙනාවට වඩා දැන් ගුණයක් තියෙනවා.

* ගහක් ගලක් වගේ හිටිය සුමනා අක්කට මොකද වුණේ රෝයි අයියා?

ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක් මල්ලි. කාටවත් තේරුම් ගන්න බැහැ. එදා දවස මතක් කරන්නවත් කැමැති නැහැ. ඒත් මං කෙටියෙන් සිද්ධ වුණ දේ කියන්නම්කො. අපේ අලුත් චිත්‍රපටය තමයි සිහින ලොවක් සොයා. එහි රූගත කිරීම්වල වැඩි හරියක් කළේ අමෙරිකාවේ. ඉතිං එහි මංගල දර්ශනය සැප්තැම්බර් මස 26 වැනිදා අමෙරිකාවේ පවත්වන්න අපි ප්ලෑන් කළා. අපි දෙන්නා මේ වගේ විශේෂ වැඩක් පටන් ගන්න කලින් අපේ ආගමට අදාළ වැඩ කටයුතු බාර හාර වගේ දේවල් සාමාන්‍යයෙන් කරනවා. ඉන්දියාවේ තියෙන වේලක්කත්නි පල්ලිය අපි දෙන්නට විශේෂයි. ඒ හින්දා අපි මෙවරත් එහෙ යන්න හිතුවා. පසුගිය දහ නව වැනිදා අපි ඉන්දියාවට පිටත් වුණා. දිනයක් දෙකක් බොහොම සාමාන්‍ය අන්දමින් ගෙවුණා. අප අනතුරුව චෙන්නායිවලට ආවා. එහි කෑම බීම නම් අන්තිමයි. ඒත් නෙකා නොබී ඉන්න බැහැනෙ. සුමනා බීම වර්ගයක් දැකලා අරගෙන බිව්වා. එවලේ ඉඳලා සුමනගේ බඩ රිදෙන්න ගත්තා. එන්න එන්න වැඩි වුණා මිසක අඩුවක් නම් වුණේ නැහැ.

* ඇයව එහෙ රෝහලකට ගෙනිච්චෙ නැද්ද?

මට එහෙ ගැන තිබුණ විශ්වාසය බිඳුනා මේ සිද්ධිය සමඟින්. කෑම බීමවත් හරි හැටි නැති තැනක බෙහෙතක් හේතක් හරියට තියේවි කියලා කොහොමද තිරණය කරන්නේ. සුමනව හැකිතාක් ඉක්මනින් ලංකාවට ගෙනාවා.

* එතකොට ඇයට සිහිය තිබුණද?

සිහිමඳ ගතියක් තමයි පෙන්නුම් කළේ. කටුනායකදී ඇයට සිහිය එහෙම පිටින්ම නැති වුණා. කෙලින්ම සෙන්ට්‍රල් රෝහලට ගෙනාවේ.

* වෛද්‍යවරු මොකද කිව්වේ?

ඇය පානය කළ බීමත් සමඟ විෂ බීජයක් ශරීර ගත වෙලාලු. එය ඇගේ අක්මාවට මෙන්ම හෘදයටත් බලපෑම් එල්ල කරලා. එක්තරා අවස්ථාවක ඇගේ හදවත පවා නතර වුණා. අන්තිමේ වෛද්‍යවරු මට පැත්තකට කතා කරලා කිව්වා සුමනගෙ ජීවිතය ගැන තියෙන අදහස අතහැර ගන්න කියලා.

* ඔබට මොනවද එවලේ හිතුණේ?

කවුරු කොහොම කිව්වත් මං දන්නවා සුමනා මෙච්චර ඉක්මනින් මාව දාලා යන්නේ නැහැ කියලා. මං පුළුවන් තරම් දෙවියන් වහන්සේට යාච්ඥා කළා. වෛද්‍යවරුන්ගෙන් ඉල්ලුව සුමනට පුළුවන් තරම් බෙහෙත් කරන්න කියලා. ඔවුන් ඇයට ඉන්ජෙක්ෂන් එකක් දුන්නා. ඊට පස්සේ ආයෙත් ටිකක් පණ ආවා.

තවම දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍ර මගින් තමයි හුස්ම එහෙම ගන්නේ. නමුත් ගෙනාවට වඩා ඇයට දැන් ගොඩක් සුවයි.

* සුමනට කතාබහ කරන්න පුළුවන් ද දැන්?

බැහැ. නමුත් මං ළඟට ගිහින් සුමනා කියලා කතා කරද්දි ඇයට දැනෙනවා. මං දවසක් එහෙම අමතද්දී සුමනගෙ ඇස්වලින් කඳුලු බිංදු දෙකක් වැටුණා. මට හරියට දුකයි. වෙලාවට මේ විෂබීජය ඇයගේ මොළයට ගිහින් නැහැ. එහෙම වුණා නම් සුමනගෙ ජීවිතයට මීට වඩා බලපෑමක් වෙන්න තිබුණා.

* රෝයි - සුමනා කියන්නේ ගහට පොත්ත වගේ හිටපු දෙන්නෙක්. ඇයට හදිසියේ සිදු වූ මේ කරදරය හේතුවෙන් ඔබ සෑහෙන්න අපහසුතාවයට පත් වෙලා ඇති නේද?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ මල්ලි. අපි දෙන්නා බැඳලා දැනට අවුරුදු හතළිහක්. ඇය මුලින්ම මගේ මිතුරියක්, පසුව සහෝදරියක්, අනතුරුව බිරිය, දැන් මගේ අම්මා. මේ ලෙඩ වෙලා ඉන්නේ මගේ අම්මා.

රෝයිගේ දෑසින් කඳුළක් වැටෙනු මට පෙනිණ. ඔහු නැවත කතා කළේ මඳ වේලාවකිනි.

අපි එදා රට යද්දි අරන් ගිය සූට්කේස් එහෙම් පිටින්ම ගෙදර. ඒවා අස් කළේවත් නැහැ. සුමනා නම් එහෙම තියන්නේ නැතුව ඒවා අස්පස් කරනවා. මගේ සෑම වැඩකදීම පෙරමුණේ හිටියේ ඇයයි. බොහොම අමාරුවෙන් මේ ටිකත් කතා කළේ.

රෝයිගේ සංවේදිතාවය මුවින් ගලා ආ වචන නතර කරලීය. ඉතාමත් නිරෝගී දිවියක් ගත කළ සුමනා අක්කාට සිදු වූ දෙය ගැන අපට ද සිතා ගත නොහැකිය. ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා අන්දම මම සියැසින් දුටුවෙමි. සුනේත්‍රා, සූකිරි කෙල්ල, ලොකුම හිනාව ඇතුළු චිත්‍රපට ගණනාවකින් අප මුවට සිනහව නැං වූ ඇය අද නිසොල්මනේ ඇඳට කොටු වී සිටියි.

සුමනට ඉක්මනින් සනීප වෙන්න කියලා හැමෝම තම තමන්ගේ ආගම් අනුව ප්‍රාර්ථනා කරන්න. ඒ රෝයිගේ ඉල්ලීමයි. අපි ද සියලු ලක්වාසීන්ගෙන් ඉල්ලන්නේ ද තමන්ට හැකි පමණින් සුමනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන ලෙසය.