වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




කත්‍රිනා - රිතික් උගුරට හොරා බේත් කති

කත්‍රිනා - රිතික් උගුරට හොරා බේත් කති

රිතික් රෝෂන්ගේ ‘බෑන්ග් බෑන්ග්’ ඔක්තෝබර් දෙවැනිදා තිරගතවීමට නියමිතය. මේ වන විටත් එය සිනමා ඉතිහාසයේ නව පිටුවක් පෙරළා අවසන්ය.

පූර්වපටය අන්තර් ජාලයට මුදාහැර පැය දහතුනකදී සිනමාපටය නැරඹූ සංඛ්‍යාව මිලියනයක් බව වාර්තා වී ඇත. මෙය අලුත් වාර්තාවකි. ඒ වගේම සිනමාපටයට විවිධ සමාජ වෙබ් අඩවි මඟින් රිතික්ට ලැබෙන ප්‍රතිචාර ද ඉහළය.

‘බෑන්ග් බෑන්ග්’ ඔහුගේ ජීවිතයේ මිහිරි, අමිහිරි මතකයන් ගොන්නකි. සිනමාපටයේ දර්ශන තලයේදී හිසට වූ දරුණු තුවාලයක් නිසා ඔහුට සැත්කමකට ලක්වීමට සිදු විය. ඔහු මෙවන් අකරතැබ්බයකට මුහුණ පෑවේ සටන් ජවනිකා තමන්ම කිරීමට යාම නිසාය. මෙහි සහායක නළුවන් පුහුණු කර තිබුණේ ‘ස්පයිඩර් මෑන් 2’ හි ඇන්ඩි ආම්ස්ට්‍රෝන්ග්ය.

සුසේන් සමඟ ගත කළ දහතුන් වසරක රිතික්ගේ විවාහ ජීවිතය බිඳ වැටුණේ ද කත්‍රිනා කායිෆ් සමඟ රූගත කිරීම්වල යෙදී සිටියදීය. මෙහිදී රිතික්ට සිටි කලණ මිතුරිය වූයේ ඇයයි. එහෙත් ඔවුන් දෙදෙනා සම්බන්ධ කර කට කථා පැතිරෙන්නට ගත් විට කත්‍රිනා, රිතික් අතේ දුරින් ඇසුරු කර රන්බීර් සමග ඇති සබඳතාව රැක ගත්තාය.

රිතික්, කත්‍රිනා රැඟූ ඇතැම් කොටස් සිනමාපටයෙන් ඉවත් කිරීම නිසා මේ හිත මිතුරුකම යම් තරමකට පළුදු වී ඇත. දෙදෙනා සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතුවල යෙදෙන්නේ උගුරට හොරා බෙහෙත් කනවාක් මෙන් බව සිද්ධිය දන්නෝ පවසති.