වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඉස්කෝලේ ඇතුළෙත් මම ව්‍යාපාරයක් කළා

ඉස්කෝලේ ඇතුළෙත් මම ව්‍යාපාරයක් කළා

මැවිලා පෙනේවි රූපේ කිව්වත් හරි මාව රන් ටිකිරි සිනා කියන්නත් තෝරා ගත්තා

රඟපාන්න යනවට අම්මා මාව කාමරේකට දාලා අගුලත් දැම්මා

පාසලට ගිය මුල්ම දිනයේ මම කළ කතාව අදටත් මට වැඩමුලු මෙහෙයවද්දී මතක් වෙනවා

‘හැමදාම උදෙන්ම ඉස්කෝලේ ළඟින් වාහනෙන් මාව ගෙනැත් බස්සවන්නේ තාත්තා. එතකොට තාත්තත් මට වියදමට ගන්න කීයක් හරි දෙනවා. ඒ වෙද්දි අම්මා තියා ගන්නයි කියලා මගේ අතමිට මොලවන සල්ලිත් තියෙන්නේ මගේ අතේ. ඒ ඔක්කෝම සල්ලි අරගෙන ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළු වෙන්න මට මගේ හිත ඉඩ දෙන්නෙම නෑ.

කොණ්ඩෙ සුදුම සුදුයි. දුන්න වගේ කොන්ද නැමිලා. හරි අහිංසකයි. තනියෙන්ම අපේ ඉස්කෝලේ කිට්ටුවම ජීවත්වන මේ අත්තම්මා හරිම කරුණාවන්තයි. එයාට මොකවත්ම නොදී යන්න මට නම් බැහැ. ඒත් අතේ මිටේ තියෙන්නෙත් මට කැන්ටිමෙන් කෑම ගන්න අම්මා දුන්න සල්ලි පොඩ්ඩ විතරයි.

ඉතින් මං කරන්නේ ලෝබ නැතිව අතේ මිටේ තියෙන හැම සතේම මේ අත්තම්මට දෙන එකයි. එහෙම කරල ලොකුම සිත් සැහැල්ලුවකින් තමයි මං උදේ පාසලට ඇතුළු වෙන්නේ.

දැන් මං කලාකාරියක් වගේම ව්‍යාපාරික කාන්තාවක්. ඒත් මම කියන්නේ කලාවටත් කලින් මං මුලින්ම කළේ ව්‍යාපාර කියලයි. ඒ වෙන කොහෙදිවත් නෙවෙයි, පාසලේදියි.

ඉස්කෝලෙදි ව්‍යාපාර කළැයි කිව්වම සමහරු ඒ කොහොමදැයි පුදුමයෙන් අහයි. ඒ මෙහෙමයි. මං ඉගෙන ගත්ත සංඝමිත්තා බාලිකාවේ හිටය රචනා ලියන්න දක්ෂම ළමයින්ගෙන් කෙනෙක් මං. ඉතින් මං හිටියට වඩා හුඟක් ලොකු පන්තිවල අක්කලත් එයාලට රචනා ලියා දෙන්න කියලා හොයන් එන්නෙම මාවයි. ඔය කාලේ මට බට්ටි, සංජි කියල එහෙම ළමයි කතා කරනවා.

මං මේ වැඩේ නිකම්ම කර දෙන්නෙත් නෑ. එක්කෝ මට සල්ලි ගෙවන්න ඕනෑ. නැතිනම් ඉන්ටර්වල් වෙලාවට මට කැන්ටිමෙන් කෑම අරන් දෙන්න ඕනෑ. මේ වගේ පොරොන්දු පිට තමයි මං රචනා ලියන්නේ. නැතිනම් අනුන්ගේ හෝම්වර්ක් කරලා දෙන්නේ.

ඉතින් උදේම ගේට්ටුව ළඟදී කරුණාවන්ත තනි වෙච්ච අත්තම්මට මගේ මුළු සේසතම දන් දීලා ආවත් මට පාඩුවක් නෑ. ඇයි මං ඉස්කෝලේ ඇතුළෙදි ඔය විදියට හම්බ කරනවනේ. හම්බ කරන සල්ලිවලිනුත් යාළුවොත් එක්ක කන එකමයි කළේ.

කොහොමටත් මං සංඝමිත්තාවේ ජනප්‍රිය චරිතයක් වුණෙත් අම්මල මාව ඉස්කෝලෙට බාර දෙන්න ගෙනාව මුල්ම දවසෙදිමයි. හාපුරා කියලා ඉස්කෝලෙට බාර දුන්න දවසෙදි සමහර පිරිමි ළමයි එහෙමත් ඇස් ජම්බු ගෙඩි වගේ රතු කරන් අඬ අඬා තමයි හිටියේ. ඒත් මං නෙවෙයි එහෙම කළේ.

අපි හැමෝවම එදා එළිමහනක තිබිච්ච පොඩි රැස්වීමකට පේළිවලට හැදුවා. ඒක තිබුණේ නම් අම්මලටත් එක්කමයි. ඉතින් හෝඩියේ ළමයි හිටිය පේළිවලට පිටිපසින් අම්මලත් අත් බැඳන් බලන් හිටියේ ගුරුවරු පිරිච්ච වේදිකාව දිහාමයි.

මුලින් මුලින් කියන කරන දේවල් එච්චර නොතේරුණත් මට රැස්වීමේ අගදී ගුරුවරියක් මෙහෙම කියනවා ඇහුණා.

‘හා හොඳයි අද අපේ ඉස්කෝලේ හෝඩියේ පන්තියට ඇතුළුවෙන මේ අලුත් දැරිවියන්ගෙන් කෙනෙක් මේ වේදිකාවට ඇවිදින් ඔයාලගේ අම්මලට කතාවක් පවත්වන්න පුළුවන් ද කියලා අපි බලමු’

මං වටපිට බැලුවා. ළමයින්ට ඒකට එච්චර වුවමනාවක් නෑ වගේ. ඒත් මට කතාවක් කරන්න ආස හිතුණා. ඒ කවමදාකවත් කතාවක් පවත්වා තිබුණු පෙරහුරුවක්වත් නැතිවමයි. දැන් මූණ රවුම් මිටිම මිටි මං ළමයින්ගේ පේලි අස්සෙන් රිංගල වේදිකාවට අමාරුවෙන් නගිනවා. එතැනට ගොඩ වෙන පඩි පේළි වුණත් මට නගින්න අමාරු තරම් උසයි.

පඩියෙන් පඩිය ගොඩ වෙන මාව ටීචර්ල ආදරෙන් වේදිකාවට ගන්නෙත් වඩාගෙන. ඒත් මං කොහොමද කතාවක් කරන්නේ. මං හරි මිටියිනේ. මයික්‍රෆෝනයත් මට වඩා උසකින් තියෙන්නේ. ඒකට හරි යන්න තමයි ටීචර්ලාම මට පොඩි බංකුවක් ගෙනැත් දුන්නේ. සුදු ගවුම ඇඳගෙන කොණ්ඩ දෙකක් ගොතාගෙන සුදුම සපත්තුත් දාගෙන බංකුවට නැග්ගම මට දැනුණේ මං ලෝකේ උසම තැනට නැග්ග වගේ. එතකොට හිතට දැනුණෙ තව ලොකු හයියක්. මං පුටුවෙන් බැස්සේ කාටත් ඇහෙන්න මගේ හැටියට හොඳම හොඳ කතාවක් කරලයි කියලා හුඟ දෙනෙක් මගේ ඔළුව අතගාල කිව්වේ ඒ කතාවෙන් පස්සේ.

මෙහෙම අපි හැමෝම ජීවිතේදී තෝර ගන්න මං මාවත්වලට පොඩිම කාලෙදි ඉඳන්ම ඉඟි, අපිටත් නොදැනීම වගේ අපෙන් මතු වෙනවා කියලා අද මට හිතෙනවා. එදා මුල්ම පාසල් දවසෙදි ඒ විදියේ කතාවක් කළ මං අදටත් දහස් ගණනක් එක් රොක් වෙන රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වැඩමුළු මෙහෙයවද්දි හුඟක් වෙලාවට මට ඒ පසුගිය මගේ ජීවිතේ ලස්සනම දවස් මතක් වෙනවා.

දවසක් අපේ ඉස්කෝලට ඇවිත් හිටියේ සුමිත්‍රා පීරිස් - නිමල් මෙන්ඩිස් දෙන්නා. එයාලා ඇවිදින් හිටියේ ගඟ අද්දර චිත්‍රපටයට ‘රන් ටිකිරි සිනා’ සින්දුව කියන්න හපන් ළමයි තෝරන්න. ඉස්කෝලේ පහේ පන්තියේ හිටිය ගායනයට දක්ෂකම් පෙන්නුව මටත් කතා කළ එයාලා මට කිව්වේ ලස්සනට සින්දුවක හරි කවියක හරි කොටසක් කියල පෙන්වන්න කියලයි. ඉතින් මට කලින් ළමයි කිව්ව රෝස මලේ, කිරි කිරි බෝලේ, කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන වගේ ඒවා නැතිව ලොකු සින්දුවක් කියන්න ඕනැයි කියලා මට හිතුණා. මං ගිහින් කිව්වේ ‘මැවිලා පෙනේවි රූපේ’ සින්දුව.

සුමිත්‍රා මැඩම්ලා සතුටු වෙලා මාවත් ‘රන් ටිකිරි සිනා’ කියන්න තෝර ගත්තා. ගිරිඋල්ල පැත්තේ තමයි ඒ චිත්‍රපටයේ රූගත කිරීම් කළේ. මමයි නිරෝෂා පෙරේරා එහෙම ළමයි කට්ටියක් තමයි මුලින් මේ සින්දුවේ රෙකෝඩින්වලට ගියේ. අම්මා තමයි මාව සින්දුව පුහුණු කරන්න එක්කරන් ගියේ. එතකොටයි එයාලත් දැනගත්තේ මං චන්ද්‍රා වීරසිංහගේ දුව කියලා.

ගීත නාටකයට ෂර්ලි වෛජයන්ත ගුරුවරයෙක් විදියට ඉස්කෝලෙට එද්දිත් මගේ වයස අවුරුදු දහයකට වැඩි නැහැ. පන්සිය පනස් ජාතක පොතෙන් තමයි තේමාව තෝරගෙන තිබුණේ. කතාවට චරිතවලට ළමයි තෝරද්දී මං ඇහැ ගහගෙනම හිටියේ ඒකේ හිටිය ලස්සනම ලස්සන හංසයගෙ චරිතයට. ඒත් හංසයට තේරුණේ ලොකු අක්ක කෙනෙකුව. මටත් ගායන හැකියාව තිබිච්ච නිසා චරිතයක් ලැබුණත් මාව තේරුණේ බමුණා විදියට. ඒත් මං මගේ කොටස හරිම ලස්සනට කෙරුවා කියලා හුඟ දෙනෙක් මටත් සුබපැතුවා. තවත් ඉස්කෝලෙදිම කළ නාට්‍යයකදී මට ලැබුණේ බකමුණගෙ චරිතෙ. ඒ මූණ රවුමට තිබ්ච්ච ඇස් ලොකුම ලොකු මිටියට හිටිය ළමයෙක් නිසා වෙන්නැති. මට හොඳට මතකයි ඇස් අලියට පේන විදියට මගේ රවුම් මූණේ කළු ගාලා ටීචර්ලා මේකප් දැම්මා.

ටික ටික ලොකු පන්තිවලට එද්දී තමයි මං ආනන්ද බාලිකාවට ආවේ. විශාරද මාලිනී බුලත්සිංහලව මට සංගීත ගුරුවරියක් විදියට මුණ ගැහුණේ එහේදී. එහෙම මගේ පාසල් කාලේ හරි සුන්දරයි. ඉගෙනීමෙන් උපරිම ප්‍රතිඵලත් නෙළාගෙන තමයි මං නීති විද්‍යාලයටත් ඇතුළු වුණේ. නමුත් හය අවුරුද්දක් විතර නීති විද්‍යාලය වැහුව කාලෙදි තමයි කීර්ති පැස්කුවල්, නිමල් ජයසිංහයි එක්කලා ගයන ගැයුම් ගීතේ කිව්වේ. එතැනින් පස්සේ කැසටපටවලට ගීත ගායනයට ලැබුණු ආරාධනා බොහොමයි. එහෙම මං තනිව උපයාගෙන ගෙදරටත් උදව් කළා මිසෙක කවදාවත්ම ගෙදරට බරක් වුණේ නෑ.

ගායනයටත් වඩා මං කැමැති රංගනයට. ඒත් මගේම ආරක්ෂාවට මං රංගනේට නොයන්නට අම්මා මට බැන්ද වැට කඩුලු බොහොමයි. ප්‍රධාන චරිතම හතර පහකටම ලැබුණු ආරාධනාවලටත් පිටුපාන්නයි මට වුණේ. සමහර දවස්වලට අම්මා මාව කාමරේට දාලා අගුළු දාලා තිබ්බෙත් මං රංගනේට යනවට තිබිච්ච අකමැත්තට.

මං

සංජීවනී වීරසිංහ