වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




කොපියක් වූ සින් සිටි

කොපියක් වූ සින් සිටි

Sin City  නම් චිත්‍ර කතා මාලාව අපරාධ කතා පාදක කර ගනිමින් නිර්මාණය වූවකි. 1991 වසරේදී සිතුවමට නැගි එය 2005 වසරේදී සිනමා නිර්මාණයක් බවට පත් වූයේ ෆ්‍රෑන්ක් මිලර් සහ රොබට් රොඩ්‍රිග්‍යුස් ගේ අධ්‍යක්ෂණයක් ලෙසිනි. Sin City  චිත්‍ර කතා කෘති පෙළෙහි රචකයා වන්නේද ෆ්‍රෑන්ක් මිලර් ය. 2005 වසරේ නිර්මාණය වූ Sin City  චිත්‍රපටයට පාදක වූයේ Sin City  චිත්‍ර කතා කෘති අතරින් පළමු, තෙවැනි සහ සිව්වැනි කෘතින්ගේ කතාවන්ය.

Sin City  චිත්‍රපටය අනෙකුත් සිනමා නිර්මාණ අතරේ වෙනස් ආකාරයක චිත්‍රපටයක් වූයේය. එහි කතා තේමාවන් හතරක් එකිනෙකට සම්බන්ධව නිර්මාණය විය. The Customer is Always Right, That Yellow Bastard, The Hard Goodbye සහ The Big Fat Kill නම් වූ කතාවන් එහි නිරූපණය විය. ඒවා හොලිවුඩයේ කුතුහලය පිරි අපරාධ කතාවන් වේ. අමෙරිකානු ඩොලර් මිලියන 40ක වියදමකින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය වාර්තා කළ ආදායම වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 159කි.

Sin City : A Dame to Kill For  නවතම කතා පෙළ දැන් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණ තිබේ. පසුගිය අගෝස්තු මාසයේ සිට ලොව පුරා තිරගත වීම ආරම්භ කළ Sin City  නවතම චිත්‍රපටය ද කතා තේමාවන් හතරක එකතුවකි. Just Another Saturday Night, The Long Bad Night, A Dame to Kill For  සහ Nancys Last Dance එම කතාවන් වේ. මෙවර චිත්‍රපටයට පාදක වී ඇත්තේ ෆ්‍රෑන්ක් මිලර්ගේ Sin City  චිත්‍රකතා කෘති අතරේ දෙවැනි කෘතිය යි. එහි අධ්‍යක්ෂණයද ෆ්‍රෑන්ක් මිලර් විසිනි.

මයිකි රුකි මාව් ලෙසද ජෙසිකා ඇල්බා නැන්සි ලෙසද ජෝස් බ්‍රෝලින් ඩිවයිට් මැකාර්ති ලෙසද බෲස් විලිස් ජෝන් පාට්ගන් ලෙසද රේ ලියෝටා ජෝයි ලෙසද ඉවා ග්‍රීන් එවා ලෝඩ් ලෙසද මෙහි රංගනයෙන් දායක වෙති. මිනිත්තු 102ක ධාවන කාලයකින් යුතු වූ Sin City  චිත්‍රපටය මෙතෙක් වාර්තා කළ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 25කි. Sin City  : A Dame to Kill For  නව චිත්‍රපටයට විචාරකයන්ගේ යහපත් ප්‍රතිචාර ලැබී නොමැති අතර බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ එය පැරැණි චිත්‍රපටයේ කොපියක් බවයි.