වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




පැරැණි නිහඬ කලාකරුවකු වූ ප්‍රේමලාල් චන්ද්‍රසිරි

පැරැණි නිහඬ කලාකරුවකු වූ ප්‍රේමලාල් චන්ද්‍රසිරි

1950 දස්කොන් නාට්‍ය රචනා කරමින් හා නිෂ්පාදනය කරමින් කලා ක්ෂේත්‍රයට පැමිණි ප්‍රේමලාල් චන්ද්‍රසිරි නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු හා නළුවකු ලෙසින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණියේය. ටවර්හෝල් නාට්‍යවල මුල්පෙළ නියෝජනය කළ ප්‍රේමලාල් සිංහල වේදිකා නාට්‍ය ගණනාවකට සිය කුසලතාවයන් එක්කර ඇත. සුරා සූදු අන්තුවා, කලාකාරයෝ, පුදුම යක්කු, පංච කල්‍යාණි, පිළිගත් වරද ආදී වේදිකා නාට්‍ය රැසකින් ඔහු පේ‍්‍රක්ෂකයන් අතරට එක්විය. වසන්ත කුමාර සමඟ දේව විමුක්ති නාට්‍ය නිර්මාණය කළ ඔහු රුක්මණී දේවි, එඩී ජයමාන්න සමඟ මතභේදය චිත්‍රපටයේ ද රඟපෑවේය.

පනහ දශකයේ පටන් හැත්තෑව දශකය තෙක් කලා ලෝකයේ පතාකයන් සමඟ උරෙන් උර ගැටුණු ප්‍රේමලාල් චන්ද්‍රසිරි විශ්ව කළාලය ළමා පදනම හරහා සිය කලා කටයුතු යළිත් අරඹා ඇත.

බොහෝ විට කලාකරුවකු මිනිසුන් තුළ රැඳී සිටිනුයේ තම නිර්මාණත් සමඟය. බොහෝ කලක් නිර්මාණයන් ඔහු අතින් නිර්මාණය නොවීම මත ඒ කලාකරුවා මිනිසුන් තුළින් ඈත් වී යයි. එවන් වූ පසුබිමක් තුළ ප්‍රේමලාල් වැනි කලාකරුවන්ට අද කලා ක්ෂේතත්‍රයේ දොරටු විවර වීමද ගැටලු සහගතය. මෙවන් පසුබිමක් තුළ ළමා පරපුර දැනුවත් කිරීමේ එක් පියවරක් ලෙසින් ඔහු විශ්ව කළාලය ළමා පදනම ආරම්භ කොට ඇත. ඒ තුළින් ඔහු ළමා පරපුර සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් බේරා ගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කොට ඇත. කලාවට තිබෙන ආදරය නිසාම යම් යම් ශාරීරික අපහසුතා තිබුණ ද ජීවිතයේ ඉදිරි කාලයත් කලාව වෙනුවෙන් කැප කිරීමට ප්‍රේමලාල් චන්ද්‍රසිරි අධිෂ්ඨාන කොට ඇත.

නො. 181, ජයගත් මාවත, දළුපිටිය, කඩවත ඔහුගේ ලිපිනයයි.