වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ලංකාවේ වැඩිපුරම තියෙන්නේ කැපිල්ල තමයි
‘නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ’

ලංකාවේ වැඩිපුරම තියෙන්නේ කැපිල්ල තමයි

- චිත්‍රාල් සෝමපාල

නදී ගංගා තරණයේ

සැරිසරා සැඩ මාරුතේ

ඉන්ද්‍රඛීලයක් සේ

නොසැලී මා යන මාවතේ

සිංහ ලෝකයේ . . . සිංහ ලෝකයේ . . .

චිත්‍රාල් ‘චිටි’ සෝමපාල ඇතැමුන් හඳුනාගන්නේ එම ගීතයත් සමඟිනි. 90 දසකයේ අග භාගයේ රූපවාහිනි නාළිකාවන්හි විකාශය වූ එක්තරා වෙළෙඳ දැන්වීමක රූප රචනයට මුසු වුණේ එකී ගී ඛණ්ඩයයි. එහි ජනප්‍රියත්වය තවමත් වියැකී නැත.

තවකෙකු චිත්‍රාල් හඳුනන්නේ පී. එල්. ඒ. සෝමපාල හා චිත්‍රා සෝමපාලගේ ආදරණීය කණිටු පුත්‍රයා ලෙසිනි. ඒ හඳුනා ගැනීම කවරාකාර වුවද චිත්‍රාල් යනු මෙරට සංගීත ක්ෂේත්‍රයේ තම අනන්‍යතාවය වෙනස්ම අයුරින් සනිටුහන් කළ සංගීත ශිල්පියෙකි. වසර විසි නවයක් පුරාවට ඔහු පදිංචිව සිටින්නේ ජර්මනියේය. වරින් වර තම මව්බිමට පා තබන මේ අමුතු තාලයේ සත්සර විප්ලවවාදියා පසුගියදා මෙරටදී සිය කුලුඳුල් සිංහල ගීත ඇල්බමය එළි දැක්වූයේ අසීමිත සොම්නසකිනි.

පසුගිය 23 වැනිදා මගේ CD එක ලෝන්ච් කළා ‘සිංහ භූමි’ නමින්. ඒ මගේ ප්‍රථම සිංහල ගීත එකතුව. අශෝක හඳගමගේ අලුත් චිත්‍රපටයේ සංගීත නිර්මාණය කිරීම තමයි මම මේ සැරේ ලංකාවට ආපු අනෙක් ලොකුම කාරණය. චිත්‍රපටයේ නම ‘Let Her Cry’ ඒකේ මියුසික් ස්කෝ(ර්) එක මම කළේ. ගීත පටිගත කරලා ඉවරයි. දැන් තියෙන්නේ Sound Design කරන්න. මම දන්නේ නෑ සමහර විට අශෝක මේ චිත්‍රපටය පිටරට අරන් යයි.

* ‘සිංහ භූමි’ ගැන තව විස්තර ටිකක් කියමුකො?

අලුත් ගීත හයයි. පරණ ගීත දෙකක් මම අන්ප්ලග් ව(ර්)ෂන්ස් විදිහට අලුතෙන් කළා. ඒ කියන්නේ ‘නදී ගංගා ‘, ‘මිරිඟුව පරදා’ ගීත දෙක. මේක මගේ පළමුවැනි සිංහල CD එක නිසා රසික ප්‍රතිචාර මට හරියට වටිනවා. මේ වෙන කොට මම ඉංග්‍රීසි ගීත ඇල්බම් විසි එකක් විතර කරලා තියෙනවා. ඒත් ඒවා ගැන අපේ රටේ අයට එච්චර අවබෝධයක් නැහැ.

* එතකොට මේ ගීත සියල්ලේම තනු හා සංගීත නිර්මාණය ඔබේ?

ඔව්. මෙලඩිස් ඇන්ඩ් මියුසික් කම්පෝසින් මගේ. ‘නදී ගංගා තරණයේ’ වචන බර්ට්‍රම් නිහාල් ගේ. ‘මිරිඟුව පරදා’ වචන කැළුම් ශ්‍රීමාල්ගේ. අලුත් ගීත හතරක් ප්‍රියන්ත කොළඹගේ ලිව්වා. ඔහු වැලිකෙලියේ ඉඳලම මගේ හොඳ යාළුවෙක්. බර්ට්‍රම් සහ කැළුම් අර පැරැණි ගීත දෙකට අමතරව අලුතින් තව ගීත දෙකක් රචනා කළා. ඔක්කොම ගීත අටයි. ගීත සියල්ලම පටිගත කළේ ජර්මනියේ.

* ඔබේ ස්ටයිල් එක ‘රොක්’ මියුසික්. ඒ සංගීත ශෛලිය පදනම් කරගෙනයි ඔබ ගීත නිර්මාණය කරන්නේ. මේ සංගීත භාවිතය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද?

ඉතාලිය, ප්‍රංශය, ජර්නිය, ඕලන්දය වගේ රටවල් ගත්තොත් ඒගොල්ලන්ගේ භාෂාව වෙනස් ඉංග්‍රීසිවලට වැඩිය. ඒත් යුරෝපියන් මියුසික් තියෙන්නේ. හැබැයි ඒ අයගේ භාෂාවෙන් තමයි එයාල ගීත ගායනය කරන්නේ. මම ඒ ගීත අහලා තියෙනවා. දැන් අරාබිය ගත්තත් ඒ වගේ. එහෙ තියෙනවා මො(ර්)ඩ්න් රොක් මියුසික්. ඒ අයගේ භාෂාවෙන් තමයි සෙල්ලම් කරන්නේ. ඇරබික් මියුසික් කියන්නේ මාර වේරියේෂන්ස් කරන්න පුළුවන් සංගීත ශෛලියක්. ඒ කියන්නේ වෙස්ටන් මියුසික් වගේ ලිමිටඩ් නැහැ.

* ඔබ කියන්නේ රොක් සංගීතය ලෝකයේ ඕනෑම සංගීත ශෛලියක් එක්ක ගළපා ගන්න පුළුවන් කියන එකද?

රොක් සංගීතය එන්නේ වෙස්ටන් ක්ලැසිකල් මියුසික්වලින් වගේම ෆෝක් මියුසික්වලින්. රොක් සංගීතයේ පුළුල් පරාසයක් තියෙනවා. ඒකත් දැන් අන් ලිමිටඩ් වේගෙන යන්නේ. ඇත්තටම එංගලන්තයෙන් තමයි රොක් මියුසික් එළියට ආවේ. දන් ‘බීට්ල්ස්’ කිව්වම එක පාරටම අපට මතක් වෙන්නේ රොක් සංගීතය. එතකොට රෝලින් ස්ටෝන්, ජෙනසීස්, විග් පීපල්, එක්සෙප්ලින් වගේ සංගීත කණ්ඩායම් රොක් සංගීතයත් එක්ක අදටත් ලොව පුරා ප්‍රසංග පවත්වනවා.

* දැන් බොහෝ විට අපේ සංගීතයට පදනම් වෙලා තියෙන්නේ හින්දුස්ථානි සංගීතය. ඇතැම් නිර්මාණවල බටහිර සංගීත සම්ප්‍රදාය. ඒත් මේ රොක් අපට තරමක් නුහුරුයි නේද?

ඇත්තටම හින්දුස්ථානි සංගීතයට මගේ එතරම් කැමැත්තක් තිබුණේ නෑ. පොඩි කාලේ ඉඳලම මම ලංකාවේ මියුසික් ඇහුවේ නෑ. SLBC එකේ English චැනල්වල ඒ කාලේ රෑට යනවා රොක් මියුසික්. ඒවා අහලා තමයි මම මගේ Style එකත් හදා ගන්න උනන්දු වුණේ. මේ ක්ෂේත්‍රයේ හුඟ දෙනෙක් තමන්ගේ අම්මගේ, තාත්තගේ සිංදු කියලනේ කීයක් හරි හොයා ගන්නේ. මම ජීවිතේට එහෙම කරල නෑ. මම වෙන පාරක යන්න ඕනෑ කියලයි එදා හිතුවේ අම්මයි, තාත්තයි ගාව ගන්නේ නැතිව. ඉතිං ඒ විදිහට තමයි මම අද කරලා තියන්නේ.

* ඇයි අම්මා ගායනා කළ ‘දඹුලු ගලේ රී-මේක් කළා නේද ඔබ?

ඔව්. වෙනස්ම විදිහට ඒකත් කළේ. මම දන්නේ නෑ මෙහෙ අය දන්නවද කියලා ‘නිව් ඒජ්’ කියලා මියුසික් ස්ටයිල් එකක් තියෙනවා. ඒ සංගීත ශෛලිය එන්නේ English Folk Music වලින්. ජෑස් තියරිත් මම භාවිතා කළා. ඇත්තම කියනවා නම් World Music  මම කළේ. ඒත් අපේ ගොඩක් අයට ඒක තේරුම් ගන්න බැරි වුණා.

* ඔබේ ගායනයේ වගේම සංගීත නිර්මාණයේ තියෙන්නේ තරමක රළු ස්වභාවයක්. ඒ කියන්නේ Soft Music නෙවෙයි. මේ වගේ ශෛලියක් ලංකාවේ රසිකයන්ට ඔරොත්තු දෙයි කියලා හිතනවාද?

ඇත්තම කියනවා නම් ලංකාවට රොක් ස්ටයිල් එක බිහිවුණේ ‘නදී ගංගා තරණයේ’ ගීතයත් එක්කනේ. ඔය ගීතය ආවට පස්සේ මියුසික් ෆීල්ඩ් එක පොඩ්ඩක් චේන්ජ් වුණා. සමහරු තමන්ගේ සංගීත දිවිය ආරම්භ කළේ මේ ගීතයත් එක්ක. කවුද මේ ගීතය ගයන්නේ කියලා මිනිස්සු හොයන්න පටන් ගත්තා. ඉතිං මම ලංකාවේ හිටියේ නෑනේ. 1986 දී මම ලංකාවෙන් පිටත් වුණේ. දැන් අවුරුදු විසි නවයක් තිස්සේ ඉන්නේ ජර්මනියේ ට්‍රියර් නගරයේ. එහේ තමයි කාල් මාක්ස් ඉපදුණේ.

* ‘නදී ගංගා තරණයේ’ මුලින්ම මිනිස්සු දැක්කේ එක්තරා වෙළෙඳ දැන්වීමක් මඟින්. මේක ඒ වෙළෙඳ දැන්වීම සඳහාම නිර්මාණය කළ ගීතයක් කියලයි බොහෝ අය හිතුවේ. මොකක්ද මේ පටලැවිල්ල?

පටලැවිල්ල මේකයි, බර්ට්‍රම් නිහාල් දවසක් මට කිව්වා ‘උඹගෙ වොයිස් එක දාලා සිංදුවක් කරන්න ඕනෑ මේ වගේ අයිඩියා එකක් තියෙනවා’ කියලා. ඊට පස්සේ බර්ට්‍රම් මට ලිරික්ස් ටික දුන්නා. අපි ගීතය නිර්මාණය කළාට පස්සේ අර වෙළෙඳ සමාගම ඇහුවා ඒ ගීතය එයාලට දෙන්න බැරි ද කියලා. ලොකු මුදලකුත් හම්බ වුණේ නැහැ අපට. අද බලනකොට ඒ මුදල නතින්. ඇත්තටම ඒකේ එක වචනයක්වත් නෑ බීර ගැන. දැන් අමෙරිකාව වගේ රටක නම් බියර්වල තියෙන රසය, ඒකේ තියෙන ඇල්කොහොල් ප්‍රමාණයත් කියයි.

* ඔබේ මව ගැයූ ඉතා ජනප්‍රිය ගීත රැසක් තියෙනවා. ඒවාත් ඉදිරියේදී ගායනා කරනවාද ‘දඹුලු ගලේ’ වගේ?

එහෙම බලාපොරොත්තුවකුත් තියෙනවා. මම හිතාගෙන ඉන්නේ සිම්ෆනික් ඔකෙස්ට්‍රා එකක් වගේ දාලා ඒ වැඩේ කරන්න. අද පිටරටවල ලංකාවේ කී දාහක් ඉන්නවද? ඒ අය ලංකාව මතක් වෙන්න අහන්නේ ඒ ගීත. එතකොට තමයි ඒ අයට හිතෙන්නේ අපේ රට කොයි තරම් ලස්සන රටක් ද කියලා. ඊළඟ පරම්පරාවට මේ ගීත ටික සංරක්ෂණය කර දෙන්න කියා සමහරු මගෙන් ඉල්ලනවා. හැබැයි මම එහෙම කළොත් කරන්නේ මුදල් හම්බ කරගන්න චේතනාවෙන් නෙවෙයි.

* ‘දඹුලු ගලේ’ ගීතයේ රිද්මය පවා ඔබ වෙනස් කර තිබෙනවා. සංගීතයත් වෙනම තලයක රඳවනවා. මේ වාගේ දේවල්වලින් අර මුල් නිර්මාණයට හානියක් වෙන්නේ නැතිද?

සමහරු මට බැනලත් තියෙනවා. ඒත් මට හිතෙන්නේ නෑ එහෙම කිරීමෙන් හානියක් මුල් නිර්මාණයට සිදු වෙනවා කියලා. සමහරු ටෙලිෆෝන් කරලා බනිනවා. සිංදුව රැප් කරලා කාලා දාලා කියලා. මම ඒ ගීතය කොතනකවත් රැප් කරලා නෑ. අම්මා ගැයූ සියලූම ගීත නිර්මාණය කළේ මගේ තාත්තා. ඒ ගීත විනාශ කරන්න මම කොහෙත්ම කැමැති නෑ. නමුත් ඒ යුගයට වඩා අද අපට සම්පත් රාශියක් තියෙනවා. තාක්ෂණය දියුණුයි. මේවා යොදාගෙන අර මුල් නිර්මාණය තවත් ඔප මට්ටම් කිරීම වරදක් කියලා මම හිතන්නේ නෑ.

* ඔබ ගායකයකු විදිහට ලෝකේ වටේ ප්‍රසංග පවත්වනවා. මොකද හිතෙන්නේ අපේ මියුසික් ෆීල්ඩ් එක ගැන?

ලංකාවේ තියෙන්නේ කැපිල්ල තමයි ඉතින්. එකෙක් උඩට මතු වෙනවාට අනෙකා කැමැති නෑ. ඒ නිසා තමයි ඇත්තටම අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක වුණත් දියුණු වෙන්නේ නැත්තේ. ‘මම තමයි වැඩකාරයා’ කියලා හැමෝම හිතාගෙන ඉන්නවා. කවුරු හරි පිටින් ඇවිත් වැඩක් කරනවට ඒ අය කැමැති නැහැ. ඇයි එයාලගේ චාන්ස් එක නැති වෙයි කියලා. ඇත්තම කියනවා නම් මියුසික් කියන්නේ තරගයක් නෙවේ. ඒක දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්.

* ජර්මනියේ ඔබේ සංගීත කටයුතු ගැන විස්තර ටිකකුත් කියමුද?

මම එහේ බෑන්ඩ්ස් කීපයකම සෙල්ලම් කළා ප්‍රධාන ගායකයා හැටියට. මට ගිටාර්, පියාමෝ වගේ සංගීත භාණ්ඩ Play කරන්න පුළුවන්. සමහර ගීත කම්පෝස් කරන්නේ මම. ඒ ඔක්කොම ඇරෙන්ජ් කරලා මේකයි බේස් පාර්ට් එක, මේකයි ලීඩ් පාට් එක කියලා බෑන්ඩ්ස්වලට දෙනවා. අමෙරිකාව, යුරෝපය, ජපානය වගේ රටවල් හෙන තොගයක මම ටුවර් කරලා තියෙනවා. අපි වැඩිපුර ගයන්නේ ඉංග්‍රීසි ගීත. ඉතින් මම රොක් ස්ටයිල් එක තෝරා ගන්නේ ඒක මට ගැළපෙන හින්දා.

* චිත්‍රපට පසුබිම් සංගීතය පැත්තටත් ඔබ මේ වෙන කොට යොමු වෙලා. මේක අහම්බයක් නෙවේ. ඔබ විසින්ම උදා කර ගත් අවස්ථාවක්?

ඇත්තටම මම ෆිල්ම් මියුසික්වලට එන්න හිතුවේ අසූ ගණන්වල. ඒත් පොඩි, පොඩි ප්‍රශ්න තිබුණා. ලංකාවේ තිබුණ යුද්දෙත් ඒකට බලපෑවා. හුඟක් දුරට මම මෙහෙ ආවෙත් නෑ. ඒත් පසු කලෙක අශෝක හඳගම, චන්ද්‍රන් රත්නම්, විමුක්ති ජයසුන්දර, ප්‍රසන්න විතානගේ, බූඩි කීර්තිසේන, බෙනට් රත්නායක, ප්‍රියන්ත කොළඹගේ, උදය ධර්මවර්ධන වගේ අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට මම නැරඹුවා. ඒවා අධ්‍යයනය කළා. මේ අය සිනමාව අරන් යන්නේ වෙන තත්ත්වයකට. මේ දේවල් මිනිස්සු කකුල් දෙක ළඟට ගෙනත් දෙන්නේ නෑ. මට බැක් ග්‍රවුන්ඩ් මියුසික්වලට දක්ෂතාවයක් තියෙනවා කියලා මේ අය දැනගෙන හිටියේ නෑ. ගිය අවුරුද්දේ මම සිනමැටික් මියුසික් ඛ්.ච්. එකක් රිලීස් කළා. ඒකේ කොපීස් එයාලට යැව්වා.

* ඒ අනුව තමයි හඳගමගේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ?

ඔව්. මීට පෙර මම විමුක්ති ජයසුන්දරත් එක්ක ඩොකියුමෙන්ට්රි එකක් කරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘ආදරණීය කතාවක්’ චිත්‍රපටයට ගීතයක් ගායනා කළා. චිත්‍රපට සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න හිතාගෙන ඉන්නවා. ඊට කලින් හඳගමගේ ෆිල්ම් එකේ මම නිර්මාණය කරපු සංගීතය ගැන ජනතා මතය දැනගන්න කැමැතියි.