වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




බන්දුල සර් වෙත

බන්දුල සර් වෙත ගෞරවයෙනි

අපේ සිනමාවේ යහපත් හෙට දවසක් ගැන මසිත ඇති බලාපොරොත්තු එමටය. එයට එක් හේතුවක් නම් සිනමා මාධ්‍ය ඉතා හොඳින් දන්නා එමෙන්ම ලෝක සිනමාව පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ තරුණ පරපුරක් සිනමා නිරමාණකරණයේ යෙදෙමින් අපේ සිනමාවට අවතීර්ණ වීමය. මේ අලුත් පරම්පරාවට අයත්, තවමත් ප්‍රේක්ෂකයන් හමුවට නොපැමිණි චිත්‍රපට කිහිපයක් දැනටමත් ලොව පුරා අවධානය දිනා ගනිමින් සිටී.

වින්දන හා කල්පන ආරියවංශ දෙසොහොයුරන්, මලිත් හෑගොඩ, සමීර රංගන, විශාකේෂ චන්ද්‍රසේකරන්, උදාර ධර්මවර්ධන යන සිනමාකරුවෝ මේ අතර සිටිති. සිනමාව පිළිබඳ ඔවුන්ගේ මතවාද සමඟ ඇතැම් විට මගේ ගැටුමක් ඇතත් ඔවුන්ගේ සිනමා දැනුම පිළිබඳව මට ඇත්තේ විශාල ගෞරවයකි.

ඉදිරි සතියක තිරගත වීමට නියමිත ‘තන්හා රතී රඟා’ සමග තවත් විශිෂ්ට සිනමාකරුවෙක් දොරට වඩියි. ඒ දශක ගණනක සිනමා අත්දැකීම් සමඟ සිය මුල්ම චිත්‍රපටය තැනූ නිලේන්ද්‍ර දේශප්‍රියය. නිලේන්ද්‍ර පළමු චිත්‍රපටය තිරගත වන්නට සූදානම් වෙද්දීම දෙවන චිත්‍රපටයේ ද වැඩ කටයුතු ආරම්භ කළේය.

ඒ ‘දේ ඩාන්ස් අලෝන්ග්’ චිත්‍රපටයයි. ඔහු එහි තිර නාටකය රචනා කළේ මෙයින් දශක එකහමාරකට කලිනි. නිලේ ඒ චිත්‍රපටය ආරම්භ කිරීම සඳහා ඒ අවධියේ කැමරා ශිල්පියා ලෙස තෝරා ගෙන සිටියේ සනී ජෝශප්ය.

අසූව දශකයේ අග කේරළයේ බිහි වූ ‘පිරවි’ චිත්‍රපටය තරම් අපේ රටේ සමකාලීන ඉළන්දාරීන් කුල්මත් කළ චිත්‍රපටයක් එකල තිබුණේ නැත. ‘පිරවි’ චිත්‍රපටයේ කැමරා ශිල්පියා වුයේද සනී ජෝශප්ය. ‘දේ ඩාන්ස් අලෝන්’ නිලේන්ද්‍ර කරන්නට සැලසුම් කළ සමයේ ඔහු සනී සමඟ මා හමුවන්නට අපේ නිවෙසට ද ආවේය.

නිලේන්ද්‍රගේ අලුත් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා බන්දුල ගුණවර්ධනයන්ය. ඔහු හොඳම චිත්‍රපට නිෂ්පාදක ලෙස ‘සරසවිය’ සම්මානය දෙවරක්ම දිනාගත් නිෂ්පාදකවරයා වෙයි. ඒ ‘සුද්දිලාගේ කතාව’ හා ‘සිරිමැදුර’ වෙනුවෙනි. ‘අයෝමා’ ඔහු නිෂ්පාදනය කළ තුන්වැනි චිත්‍රපටයයි.

එතුමන් වර්තමානයේ මෙරට අධ්‍යාපන ඇමැතිවරයාය. එපමණක් නොව මේ විශිෂ්ට චිත්‍රපට නිෂ්පාදකවරයා මගේ ආර්ථික විද්‍යා ගුරුවරයා ද විය. එතුමන් වසර තිහකට පෙර ඉගැන් වූ ආර්ථික විද්‍යාවේ පාඩම්වල බහුතරයක් ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම තවමත් මට මතකය. එතුමන්ගේ පළමු නිෂ්පාදනය වූ ‘සුද්දිලාගේ කතාව’ තිරගත වන විට මම එම පන්තියේ සිසුවෙක් වීමි.

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ මේ චිත්‍රපටයට අප බොක්කෙන්ම සපෝට් කළේ එහි නිෂ්පාදක බන්දුල ගුණවර්ධනයන් අපේ ගුරුවරයා වූ නිසාම නොවේ. එය එතරම් වැදගත් චිත්‍රපටයක් ලෙස අපට හැඟුණු බැවිනි. ඒ වන විට වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් වුවත් එය සන්සුන්ව නරඹන්නවත්, ඒ පිළිබඳ මතවාද ඉදිරිපත් කරන්නවත් අපට හැකියාව තිබිණි.

පසු කලෙක කේරළයේ පැවැත් වූ ‘අමෝජා වීරසිංහ ප්‍රත්‍යාවලෝකන’ සිනමා උළෙල සඳහා ‘සිරිමැදුර’ චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස බන්දුල සර් සමඟ මම ද සහභාගි වීමි. ඒ වන විට මම සරසවිය කර්තෘ මාණ්ඩලිකයෙක්මි.

දෙසතියක් පමණ කල් එහි ගත කරද්දී හොඳ සිනමාව පිළිබඳ බන්දුල සර්ගේ තිබූ දැඩි උනන්දුව සහ ආශාව කොතරම්දැයි මම අවබෝධ කර ගතිමි.

මන්ද යත් එයට කලින් පැවැති ගුරුගෝල සබඳතාවටත් වඩා ගෞරවණීය හිතවත්කමක් ඒ කාලයේදී ඇතිවුණු බැවිනි. දිගු කලකට පසු එතුමන් යළි චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණය වනු ඇත්තේ ද එබඳුම අභිලාෂයෙනි.

අපේ ගුරුතුමාණන්ට දැන් පෙරට වඩා වගකීම් සහිතව මේ රටේ අනාගත දරු පරපුර භාර විෂායානුබද්ධ ඇමති ධුරය භාර වී ඇත. සාමාන්‍යයෙන් පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්ගේ පන්තිවලට වඩා බන්දුල සර්ගේ පන්ති ඉතා දැඩි විනයක් සහිත පන්තියක් බව කිව යුතුය. මොන තරම් කෙළිකාරයකු මුදල් ගෙවා පැමිණිය ද ‘හුම්’ සද්දයක් දැමුවොත් වහා කනෙන් ඇද එළියට දැමීමට සර් දෙවරක් කල්පනා කළේ නැත. ඒ නිසාම උසස් පෙළ විභාගයට පෙර සර් ළඟ වැඳ වැටී ආශිර්වාදය ලබා ගන්නට එකල සිසු දරුවෝ පොර කෑහ.

මෙතරම් විශිෂ්ට ගුරුවරයකු කලා රසිකයකු වූ අනාගත පරපුර පිළිබඳ දූරදර්ශී දැක්මකින් යුත් වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා වන බන්දුල සර්ගේ අවධානය යොමු විය යුතු කාර්යයක් මෙවර මගේ ලිපියට තෝරා ගතිමි.

අපේ රටේ සිනමාව අතිශය දුප්පත් එකකි. ඒ නිසාම එහි ජාම බේරා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදති. මේ දුප්පත්කම කොපමණ ද යත් චිත්‍රපටයක නිවැරැදිභාවය සලකුණු කිරීම සඳහා සකසනු ලබන ‘ආන්සර් කොපි’ යද පිට පළාත්වල සිනමාහල්වලට මුදා හැරේ.

පිට පළාත්වල ඇත්තන්ට හොඳ පිටපතක් නැරැඹීමේ අවකාශය නොදෙන්නේ හෝ එහි ප්‍රේක්ෂකයා ගෙවන රුපියලේත්, කොළඹ ප්‍රේක්ෂකයා ගෙවන රුපියලේත් වෙනසක් ඇතැයි නිෂ්පාදකවරු සිතන නිසාදැයි මා දන්නේ නැත.

එමෙන්ම පසුගිය කාලයේ ඇතැම් සිනමා ශාලා පාඩු නොලබා බේරා ගත්තේ ශාලා වැඩි දියුණු කිරීමෙන් නොව ටිකට් එකට අරක්කු විකිණීමෙනි. එය මා සිහිපත් කරන්නේ වර්තමානය වනවිට ඔඩු දුවා ඇති තවත් ජාවාරමක් ගැන අවධානය යොමු කරන්නටය.

එය යොමු විය යුත්තේ වෙන කිසිවකුට හෝ නොව සම්භාවනීය නිෂ්පාදකයකු, විශිෂ්ට ගුරුවරයකු වූ අපේ බන්දුල සර්ටමය. එනම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලබන්නේ යැයි කියන චිත්‍රපට පිළිබඳය. වර්තමානයේ එය වේලෙන තුට්ටු දෙකේ කබල් චිත්‍රපට ගොඩ නඟා ගන්නා ක්‍රමයක් වී තිබේ. ළමයින් සිනමාවට යොමු කිරීම අත්‍යවශ්‍ය බව ඇත්තය.

එමෙන්ම ඔවුන්ට මෙරට ප්‍රෞඪ ඉතිහාසය සහ ගෞරවණීය වීරයන් පිළිබඳ චිත්‍රපට නිර්මාණය කිරීමේ ද කිසිදු වැරැද්දක් නැත. ලොව පුරා හැම විටම ඉතිහාස ප්‍රති නිර්මාණයට ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

එහෙත් වැරැද්ද තිබෙන්නේ අපේ රටේ හැදෙන සමහර චිත්‍රපට ළමයින්ට තබා වැඩිහිටියන්ටවත් සුදුසු චිත්‍රපට නොවීමය. ලෝක සම්මතයේදී ළමා සිනමාව යනුවෙන් වර්ගීකරණයක් ඇත්තේය. එයට ආවේණික ලක්ෂණ ඇත්තේය. ලොව බොහෝ රටවල චිත්‍රපට සහතිකය ප්‍රදර්ශනය කරද්දී ඊට අදාළ නිර්නායක ලකුණු කර ඇත්තේය.

වර්තමානයේ විදෙස් චිත්‍රපටයක් නරඹන්නට ප්‍රථම අන්තර්ජාලය ඔස්සේ සිසාරා බලන්නෙකුට ඒ ඒ චිත්‍රපටවල අදාළ සහතික ලබා ඇත්තේ කවර නිර්ණයක අනුවදැයි දැනගත හැකිය.

එහිදී කවර තරමේ වැදගත් චිත්‍රපටයක් වුව ද අශ්ලීල වදන්, ඝාතන, අවකල් ක්‍රියා, භීෂණ, ලේ වැගිරීම් වැනි දෑ ඇති චිත්‍රපට ළමයින්ට නුසුදුසු චිත්‍රපට ලෙස වර්ගීකරණය වෙයි. කොටින්ම අපගේ විශිෂ්ට චිත්‍රපටයක් මෙන්ම දේශීය චිත්‍රපටයේ හැරවුම් ලක්ෂයක් වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘රේඛාව’ චිත්‍රපටය එංගලන්තයේදී ප්‍රදර්ශනය කරන ලද්දේ වැඩිහිටියන්ට සීමා කිරීමෙනි.

එයට හේතුව සේන නම් දරුවාට ගැමියන් පහර දෙන දර්ශනය හේතු කර ගනිමිනි. එහෙත් මෑත භාගයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ලද්දේ යැයි පැවසෙන චිත්‍රපටවල දර්ශනවල රූප රාමු කෙතරම් අශ්ලීලද? එක් අතකින් මේ ඇතැම් චිත්‍රපටයක ජාතික වීරයන් පිළිබඳ මවන ප්‍රවෘත්ති ඉතා නීරස හා ව්‍යාජ ඒවා වෙයි.

මේ ඇතැම් චිත්‍රපටයක් නරඹන විට සුද්දන් නොපැමිණියා නම් අප කවර විපත්තියකට ගොදුරු වනු ඇත්දැයි යන සිතිවිල්ල ඕනෑම දරුවකුගේ සිතෙහි ඇතිවීම ස්වභාවික කරුණකි. මේ දිනවල තිරගත වන එක්තරා චිත්‍රපටයක ජාතික වීරවරයකු පත් කර ඇත්තේ මූලග්ගිනිකාරයකු හැටියටය.

මේ ඇතැම් චිත්‍රපට නරඹන්නට පාසල් දරුවන් යන්නේ ගුරුවරුන්ගේ මඟ පෙන්වීම මතය. ඔවුන් පොලඹවා ගැනීම පාසල් දර්ශන සංවිධායකයන්ගේ වගකීමය.

ඒ මදිවාට මේ බාල වර්ගයේ චිත්‍රපටවලට මහ ලොකු විදුහල්පතිවරුන් ටෙලිවිෂන් කැමරාව ඉදිරියේ සහතික නිකුත් කරනුයේ කවර ප්‍රතිලාභ ලබාගෙන දැයි විමසා බැලීම වටී.

එක් පැත්තකින් ඉතිහාසය පිළිබඳ ව්‍යාජ කරුණු ගෙනෙනවාට වඩා ඊළඟ භයානක කරුණ නම් මේ චිත්‍රපට නරඹන ළමයින් මතු කිසියම් දිනෙක ආශාවකටවත් සිංහල චිත්‍රපට නැරැඹීම සඳහා කැමැති කරවා ගන්නට නොහැකි වීමය. සිනමාව යනු පුළුල් වින්දනයක් සහිත මාධ්‍යයකි.

එහෙත් මෑතක නිර්දේශ වී යැයි සලකනු ලබන චිත්‍රපට වින්දනයක් නොව විඳවීමක් උරුම කරන්නකි. සිනමාව නැතහොත් දෘශ්‍ය මාධ්‍ය කලාව පාසලක ඉගැන්විය හැකි නම් එය විශිෂ්ටය. එහෙත් එය සෙල්ලමක් නොවනුයේ සිනමා රසාස්වාදනය යනු පුළුල් විෂයයක් වන හෙයිනි.

යහපත් සිනමාවක් උදෙසා පාසල් අභ්‍යන්තරයෙන් පෙළ ගැස්වීමක් සිදුවීම අනිවාර්යය කටයුත්තකි. කලා රස වින්දනය පිළිබඳ අප අඩිතාලමක් දමා ගත්තේ පසල් අධ්‍යාපනයෙනි.

එහෙත් වර්තමානයේදී සිනමාව නමින් හැදෙන ඇතැම් විසූක දස්සන සිනමා භාවිතයේ පමණක් නොව මොනම මට්ටමෙන්වත් ප්‍රශස්ත නොවේ. ඒ මදිවාට එකී රැවටීම වෙනස් කිරීමට ගවේෂණාත්මක වැනි ව්‍යාජ විශේෂතා පද ද, තම නොහැකියාව වසා ගැනීම සඳහා සිනමාකරුවෝ භාවිත කරති. මේ ඇතැම් චිත්‍රපට ගවේෂණාත්මක තබා අදාළ වීරයන් පිළිබඳ අබමල් රේණුවක දැනුමකින් කළ චිත්‍රපට නොවේ. ඒ වෙනුවට ඔවුන් ළමා පරපුර රැවටීමට පටන් ගනියි. මේ කාරණයේදී චිත්‍රපට සංස්ථාවට හෝ වෙනත් කිසිවෙකුට හෝ වරද පටවා ඇඟ බේරා ගැනීමට නොහැකිය.

එබැවින් මේ පිළිබඳ සොයා බලා ළමයින් සඳහා සුදුසු කවර චිත්‍රපටයක්දැයි නිර්දේශ කිරීමේ සහතිකයට ප්‍රමිතියක් අවශ්‍යව ඇත්තේය. එය නිර්දේශ කළ යුත්තේ අධ්‍යාපනය මෙන්ම සිනමාව ද දන්නා පිරිසක් විසිනි. එමෙන්ම මේ ඇතැම් චිත්‍රපට පිළිබඳ ව්‍යාජ චරිත සහතික ලබාදෙන විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පිළිබඳ සොයා බැලිය යුතුය. එය එසේ කළ හැක්කේ අවංක දේශපාලකයෙන් මෙන්ම අග්‍ර ගණයේ නිෂ්පාදකවරයෙක් වන අපේ ඇස් පෑදූ බන්දුල සර්ටම බැව් මම විශ්වාස කරමි.