වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




‘දැකලා පුරුදු කෙනෙක්’ ලන්ඩන් යයි

‘දැකලා පුරුදු කෙනෙක්’ ලන්ඩන් යයි

ලොව අන්තර් ජාතික චිත්‍රපට උළෙලයන් අතර චිත්‍රපට උළෙල ලෙස සැලකෙන ලන්ඩන් අන්තර් ජාතික සිනමා උළෙලේ මෙවර මලින් හෑගොඩගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වන ‘පුරුදු කෙනෙක්’ තිරගත වනු ඇත. බ්‍රිතාන්‍ය සිනමා ඇකඩමිය මඟින් සංවිධානය කරන පැරැණි සිනමා උළෙලක් වන මෙය මෙම මස 08 සිට 19 වැනිදා දක්වා පැවැත් වෙයි.

මෙම සිනමාපටය අභියෝගාත්මක තේමා රැගත් අංශය යටතේ දර්ශන වාර දෙකක් තිරගතවීමට නියමිතය. මෙහි මෙම අංශය අර්ථකථනය වන්නේ රසිකයන්ගේ මනසේ සුවපහසු අවකාශයෙන් ඔබ්බට රැගෙන යන ආන්දෝලානාත්මක චිත්‍රපට රැගත් අංශය ලෙසයි. මෙම සිනමාපටය ලාංකික නාගරික මධ්‍යම පාන්තික විවාහක තරුණ යුවළකගේ විශ්වාසය සහ මානසික සබඳතා බිඳ වැටීම පිළිබඳ කතා පුවතකි. බිමල් ජයකොඩි සහ සමාධි ලක්සිරි එහි ප්‍රධාන චරිත යුගළයට පණ පොවනු ලබයි. ඔවුන් දෙදෙනා සමඟ ලක්ෂ්මන් මෙන්ඩිස්, කෞශල්‍යා ප්‍රනාන්දු, ජගත් මනුවර්ණ, චමිලා පීරිස්, දයාදේව එදිරිසිංහ, ප්‍රසන්න මහගමගේ, දිල්ෂානි පෙරේරා. කුශෙත්යා සයුමි ෆොන්සේකා රංගන දායකත්වය සපයති.

එම්. ඩී. මහින්දපාලයන් ‘දැකලා පුරුදු කෙනෙක්’ හි කැමරා අධ්‍යක්ෂවරයාය. දීපාල් ගුණරත්න නිෂ්පාදන කළමනාකරුය. දමින්ද ඩී. මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් දායක වේ. චාමර චින්තන සේලාර දෙවන සහාය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් ද, චිරන්ති මල්ලිකාරච්චි, ආලෝක සම්පත්, ජයම්පති ගුරුගේ ඇඳුම් නිර්මාණයෙන් ද, ප්‍රියන්ත දිසානායක අංග රචනයෙන් ද මෙයට එක් වී ඇත. රුවන් වල්පොලගේ සංගීත අධ්‍යක්ෂණයකි. චින්තක සෝමකීර්ති කැමරා හැසිරවීමෙන් ද, ශශික රුවන් මාරසිංහ හඬපට නිර්මාණයෙන් සහ ශබ්ද පරිපාලනයෙන් ද, මලිත් හෑගොඩ සංස්කරණයෙන් ද දායක වී ඇත. ‘දැකලා පුරුදු කෙනෙක්’ භූපති නලින් වික්‍රමගේ තිර රචනා කර තිබේ.

ලාල් හෑගොඩ, රසිංග දිසානායක, මොහොමඩ් ඇඩම්අලි සහ නදීරා ඇඩම්අලි මෙහි නිෂ්පාදකවරුන්ය. මෙම සිනමාපටය මෙම වසර අගදී ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවරදී පැවැත්වීමට නියමිත ආසියා පැසිපික් සිනමා උළෙලේ නාමයෝජනා තරග අංශයට යෝජනා වී ඇති අතර එය පසුගියදා අවසන් වූ කැනඩාවේ මොන්ට්‍රියෙල් සිනමා උළෙලේ කුලුඳුල් චිත්‍රපට තරගකාරි අංශයේ රන් මුදුන සම්මානයට ද නිර්දේශ විය. ලන්ඩන් සිනමා උළෙල මෙවර පැවැත් වෙනුයේ පනස් අටවැනි වරටයි. - ප්‍රසාද්