වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සම්මාන දිනූ කේ. ඩී. නිකලස් රෝගාතුර වෙයි

සරසවිය සම්මාන දිනූ කේ. ඩී. නිකලස් රෝගාතුර වෙයි

සරසවිය සිනමා උළෙලේ බිතු සිතුවම් චිත්‍රපටය සඳහා හොඳම තිර නාටක රචකයාට හිමි සම්මානය දිනා ගත්තේ කේ. ඩී. නිකලස්ය. තිරගත වූ ඇතැම් ජනප්‍රිය චිත්‍රපට රැසකම නිල නොලත් තිර නාටක රචකයා වූයේ ද නිකලස්ය.

පසුගිය ජූලි මස විසිපස් වැනි දින වන තෙක්ම ඉතාම කාර්යබහුල ජීවිතයක් ඔහු ගත කළේය. වයස අවුරුදු හැත්තෑවක් වුවද ඔහු කලා කටයුතුවල නියැලුණේ ජවසම්පන්න තරුණයකු හා සමානවය.

එදා මහත්තයා ගෙදර ආවේ හොඳටම මහන්සි වෙලා. එයා අන්තිමට ලිව්ව 077 ලැන්ටින් සිංඤො චිත්‍රපටයේ වැඩ කටයුතුවලට එහෙ මෙහෙ දුව දුවයි හිටියේ. එදින එහි නිෂ්පාදක අරුණ මහේෂ් ජයවර්ධනත් එක්ක පොඩි සාකච්ඡාවක් තිබිලා තියෙනවා. මහත්තයා පුටුවේ වාඩිවෙලා ටික වෙලාවක් හිටියා. එක පාරටම ඔහුට ෆිට් එක හැදුණා. පුළුවන් තරම් ඉක්මනට ඉස්පිරිතාලේ ගෙනිච්චා. මහත්තයාගේ ලෙඩේ හොයා ගන්න පරීක්ෂණ ගණනාවක් තිබ්බා. අන්තිමේ වෛද්‍යවරු තීරණය කළා මහත්තයගේ ඔළුවේ ඇතුළේ ආබාධයක් තියෙනවා කියලා.

ඒ නිකලස්ගේ ප්‍රිය බිරිය මනෙල් කන්නන්ගරයි. අද වන විට නිකලස්ගේ තත්ත්වය ඒ වදන්වලින් ඔබට ද පැහැදිලි වන්නට ඇත. වෙනදා යුහුසුළුව කඩියකු බඳුව වැඩ කළ නිකලස්ගේ ජීවිතය මේ වන විට ඇඳකට සීමා වී තිබීම අතිශ්‍ය කනගාටුදායකය.

නිකලස් අයියට අපිව හඳුනගන්න පුළුවන්ද?

අප ඔහුට සමීප වී විමසුව ද ඉවත බලා සිටිනවා හැර නිකලස් අයියාගෙන් ප්‍රතිචාරයක් නැත. නිතර ඔහුගේ මුවෙහි රැඳෙන අව්‍යාජ සිනහව කොහේ සැඟවුණාදැයි සිතා ගන්නට නොහැකිය.

ඩොක්ටර්ස්ලා බෙහෙත් නියම කළා ද නිකලස් අයියට?

මම නැවතත් මානෙල් දෙසට හැරුණෙමි.

බෙහෙත් වර්ග කිහිපයක්ම දුන්නා. තව පරීක්ෂණ වගයක් කරන්න ඕනෑලු.

දැනටමත් සෑහෙන්න මුදලත් වියදම් වෙලා ඇති?

අනේ ඔව්. ලක්ෂ දෙක තුනක්. අපේ පවුලේ ඕනෑ එපාකම් සොයා බැලුවේ අපේ මහත්තයා. එයා හම්බ කළේ කලාවෙන්. ඒත් දැන් . . .?

මානෙල් නැවතත් සුසුමක් හෙළීය. මේ අතර නිකලස් ආයාසයකින් මොනවදෝ කියන්නට උත්සාහ කළේය. නමුත් ඔහුගේ වෑයම නිෂ්ඵලය.

කේ. ඩී. නිකලස් අතින් රචනා වූ චිත්‍රපට තිර නාටක රාශියකි. සඳමාලි, නුවන් රේණු, මධුවන්ති, සඳකඩපහන, ඇසළ සඳ, අරලියා මල්, ගුඩ් බායි ටෝකියෝ, චන්නයි කෙල්ලො දෙන්නයි, වැඩ බැරි ටාසන් 1 ඉන් කිහිපයකි. එමෙන්ම සුරඟන යහන සිනමාපටයේ නිකලස් ලියූ බඳවා උඩු වියන් බඳවා ගීතයට ඔහුට හොඳම ගී රචනයට හිමි ජනාධිපති සම්මානය ද ලැබුණේය.

නිකලස්ගේ පුතු ද කලාවට සම්බන්ධ වී සිටියි. ඔහු විදර්ශන කන්නන්ගරයි. කසුන් කල්හාර ගයන සඳ සඳ වාගේ ඇතුළු ජනප්‍රිය ගීත කිහිපයක්ම රචනා වූයේ විදර්ශන අතිනි. ඔහු තම පියා ඉක්මනින් සුවකර ගැනීමේ අටියෙන් කරන්නට හැකි සෑම දෙයක්ම ඉටු කරයි.

තාත්තා හරිම හිත හොඳ කෙනෙක්. ඒ වගේම අසනීප වෙනකම්ම තමන් හම්බ කරගෙන කෑවේ. තාත්තා චිත්‍රපටයක වැඩ බාර ගත්තට පස්සේ එය තිරගත වෙනකම්ම හොයලා බල බලා උදව් කරනවා. ඒ වගේම ඔහුට හොඳ දැනුමක් තිබුණා චිත්‍රපට ක්ෂේත්‍රය සම්බන්ධව. බොහෝ අය තාත්තාට කතා කරලා තමයි යම් යම් විස්තර දැනගත්තේ. අද වෙන කොට ඔහුට සිහි කල්පනාවක් නැහැ. හරියට කන්න බොන්නවත් බැහැ. සේ්ලයින් පිහිටෙන් ඉන්නේ. හරිම දුකයි තාත්තා ඉන්න විදිහ දැක්කාම.

ශක ගණනාවක් කලාව වෙනුවෙන් කැප වූ නිකලස් අයියා ඔත්පලව මෙසේ කල් ගෙවන්නේ කුලී නිිවෙසකය. අවසානයේ මේ අසනීපය හැර ඔහුට ඉතුරු වූ දෙයක් නැත්තේය.

මහත්තයාව බලලා යන්නවත් කවුරුවත් එනවා නම් එයාට සතුටු හිතේවි.

මානෙල් පැවසුවේ මහත් වූ බලාපොරොත්තුවෙනි. නිකලස් ලියූ දීපාල් සිල්වා ගැයූ ගීතයක පදමාලාවේ එක් තැනක මෙලෙස සඳහන් වෙයි.
 

බඩට නැති වුණත් ලුණු කැට

ඇඟට ඕනමයි විල්ලුද

ඒකයි ඉහළම සන්තෝසෙ ඕයි

අද නිකලස් අයියාගේ බඩට ද ලුණු කැට නැත. ඇඟට විල්ලු ද නැත. එහෙත් ඔහුගේ තිරකතාවලින් බොහෝ පිරිසකගේ ඇඟට විල්ලු ද වැටී ඇත.

නිකලස් අයියාට ඉක්මන් සුවය අපි පැතුවෙමු. ඔහු යන්තමින් සිනහ විය.