වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




සයියාම් ඛන්නා දිවි නසා ගනී

සයියාම් ඛන්නා දිවි නසා ගනී

ආදරය නිසා ජීවිතයෙන් පලා යන්නියන්ගෙන් බොලිවුඩයට අඩුවක් නැත. මීනා කුමාරි මධුවිතෙන් ජීවිතය නිදහස් කරගත්තාය. විසි එක් වැනි සියවසේ තාරකාවන් ඒ සඳහා තෝරා ගන්නේ විදුලි පංකාවක් සහ රෙදි පටියකි. සයියාම් ඛන්නා මෑතකදී එලෙසින් ජීවිතයෙන් සමුගත් තාරකාවයි. මෝනා ඛන්නා ලෙසින් ද ඇය ජනප්‍රියය.

නැගණිය සමඟ තනිවම මූම්බායි හි ජීවත් වූ ඇය නිවෙසට අවශ්‍ය දේ මිලදී ගැනීමට නැගණිය කඩයට යවා දිවි තොර කරගෙන ඇත. ‘මම ඔබට ගොඩක් ආදරෙයි. මං විවේකයෙන් සිටින නිසා ඇවිත් බාධා කරන්න එපා!’ ඇය නැගණියට අවසන් වරට පවසා තිබිණ.

සොයුරිය පැවසූ පරිදිම ඇය කඩයට ගොස් පැමිණ රූපවාහිනිය නරඹන්නට ගත්තාය. සොයුරිය නිදි ඇතැයි ඇය සිතුවාය. සොයුරියගේ කාමරයෙන් ‘රොක් ස්ටාර්’ සිනමා පටයේ ‘තුම් හෝ’ ගීතය ඇසී තිබේ. රියා කාමරයට ඇතුළු වූ විට දැක ඇත්තේ ගෙල වැළලාගෙන මිය ගොස් සිටින සොයුරියයි.

මෝනා බොලිවුඩයට පා තැබුවේ දිගු ගමනක් යාමටයි. එහෙත් ඇයට සිතූ තරම් සාර්ථකත්වයක් අත් දකින්නට නොලැබුණි. ‘ද හෝන්ටඩ් හවුස්’ වැනි සිනමාපටවල ඇය රඟපා ඇති අතර ‘ද ලාස්ට් හොරර්’ සිනමාපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතය.

සයියාම්ගේ සොයුරිය පවසන්නේ මේ සියල්ලටම වඩා ඇයගේ මරණයට හේතු වන්නට ඇත්තේ පෙම්වතා බවයි. සියදිවි නසා ගැනීමට පෙර ලියූ ලිපියේ කිසිවකුට ඇය වරද පවරා නැතත්, පෙම්වතා මෑතක සිට මඟ හැරීම ඇයට සිත් වේදනාවට හේතු වී තිබේ. සියදිවි නසා ගැනීමට පෙර අවසන්වරට ඇය ඇමතුමක් ලබා දී ඇත්තේ පෙම්වතාටයි. ඔහු බොලිවුඩයේ ජනප්‍රිය නළුවකුගේ පුතකු බව කියවේ.

හේතුව කුමක් වුවත් දිව්‍ය භාරතී, සිල්ක් ස්මිතා, පර්වීන් බාබි, නගිසා ජෝශප්, ජියා ඛාන් සියදිවි නසා ගැනීමේ නාමාවලියට සයියාම් ඛාන් ද එක් වූවාය.