වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




අනංගයා බඳියි

අනංගයා බඳියි

බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ මේ දවස කවදාවත් උදා වෙන එකක් නැහැ කියලයි. ඒ දවස පසුගියදා උදා වුණා. ඒ වැනීසියේදි යි. සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනිගේ විවාහය තමයි මේ විදියට හැමෝම පුදුමයට පත් කළේ.

මේ වනවිට 53 වැනි වියේ පසුවන මේ සුපිරි තරුවගේ ප්‍රථම විවාහය සිදු වුණේ 1989 වසරේදීයි. ඒ තාගියා බැල්සම් සමගින්. 1993 වසරේදී ඒ විවාහයට සමුදුන් ක්ලූනි යළි විවාහයක් ගැන සිතුවේ එයින් වසර 21ට පසුව වීම කාගේත් පුදුමයට පත් වුණා. හැමෝම හිතාගෙන හිටියේ ඔහු යළිත් විවාහ නොවනු ඇති බවටයි.

ඒ වුණත් මේ වසර විසිඑක පුරාවටම ජෝර්ජ් ක්ලූනිගේ නම සමඟ සුපිරි හොලිවුඩ් රංගන ශිල්පිනියන් සහ නිරූපන ශිල්පිනියන් රැසකගේ නම් ඈඳි තිබුණා. ඒ අතර ජින්ජර් ලින්, ලීසා ස්නෝඩන්, සාරා ලාසන් ඉතාලි ජාතින නිළි එළිසබෙටා කානලිස්, ස්ටේසි කීබ්ලර්, රෙනෝ සෙල්වෙගර්, ක්‍රිස්ටා ඇලන් සහ සෙලීන් වැලීට්‍රන් වැනි අය සමග ක්ලූනිගේ සබඳතා ප්‍රසිද්ධියට පත් වුණා. පළමු විවාහයට පෙර කෙලි ප්‍රෙස්ටන් සමග සබඳතාවයත් ජනප්‍රිය වූ එකක්. මේ සබඳතා නිසාම බොහෝ දෙනා හිතුවේ ක්ලූනි යළිත් විවාහ නොවනු ඇති බවයි.

ඒ සියල්ල බොරු කරමින් ඔහු යළිත් විවාහ දිවියට පත් වුණේ ආමල් අලමුදීන් නම් වූ නීතිඥවරියක සමගයි. මේ දෙපළගේ විවාහය වැනිසියේ කැනාල් ග්‍රාන්ඩේ හෝටලයේදී පැවැත්වුණා.