වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ සරල බව අපට ආලෝකයක්

ඒ සරල බව අපට ආලෝකයක්

තරුෂි - සුමේධ කැදැල්ලට ගොඩවෙමු

“තරුෂි පෙරේරා”

ඇය සැබැවින්ම සොඳුරු සිතැත්තියකි. ඒ සොඳුරු සිතැත්තී පසුගිය දිනවල අලුත්ම කැදැල්ලක පදිංචියට ගියාය. ඒ සිය සැමියා සුමේධ තෙන්නකෝන් සමඟිනි. මාදිවෙල පිහිටි ඇගේ සොඳුරු නිවහනට ගොඩවැදුණු අප ඉදිරිපස උන්නේ ඇයයි.

“එන්න....... එන්න......”

සවනට ඇසෙන නෑසෙන ස්වරයෙන් මිමිනූ තරුෂි ඇගේ අලුත්ම කැදැල්ලේ අසුන් ගන්නට ආරාධනා කළාය.

“කෝ මේ සොඳුරු සිතැත්තා”

සුමේධ පෙනෙන්නට නොසිටියෙන් මම ඇගෙන් විමසීමි.

“සුමේධට ඉතිං වැඩකටයුතු බහුල නේ. එයා තව ටිකකින් ඒවි. ”

තරුෂි පැවසුවේ ඇගේ සිනාසෙන දෙනෙත අප වෙත විදහා පාමිනි.

“කොහොමද ජීවිතේ ?”

ඇය අප ඉදිරියේ අසුන් ගත්තේ දිගු කතාවකට මුල පුරන්නට මෙනි.

“විවාහ වුණාට පස්සේ අපි දෙන්නම හිතාගෙන හිටියේ විදේශ ගත වෙන්නයි. ඒ නිසා මගේ රංගන කටයුතුත් සීමිතවයි මා බාර ගත්තේ. ඒත් සුමේධගේ තවත් අධ්‍යාපන කටයුතු කිහිපයක් ඉතිරිව තිබෙන නිසා නැවතත් වසර කිහිපයකට පසු විදේශ ගතවීමට අප දෙදෙනාම තීරණය කළා. ඒ අනුවයි අලුත්ම නිවහනක් වෙත පදිංචියට එන්නේ.”

“ඒ කියන්නේ තරුෂි නැවතත් රඟපානවා.”

ඈ පසුගිය කාලයෙහි වැඩිපුර නිර්මාණවල දකින්නට නොලැබුණත් ඉදිරියේදී එසේ නොවේ යැයි මට සිතිණි.

“විවාහ වුණු කාලයේදී ටික කාලයක් යනතුරු මා වැඩකටයුතු බාර නොගත්තේ සුමේධත් සමඟ ටික කාලයක් ගෙදරටම වී ඉන්න ඕන නිසා. විවාහයට පෙර ඔහුව හඳුනා ගත්ත කාලයේ වුණත් සැලෝන් එකේ කටයුතුත්, රංගන කටයුතුත් සමඟ මම බොහොම කාර්යබහුල වුණා. ඒත් ඒ කාර්යබහුල බවෙන් තරමක් හෝ ඈත් විය යුතු බව මා සිතුවේ විවාහයෙන් පස්සේ. මා එසේ කළේ හොඳ පවුල් දිවියක පදනම ගැන සිතලා. ඒ විවේකය ගත කිරීමෙන් පස්සේ සුපුරුදු විදියට නැවතත් වැඩකටයුතු ආරම්භ කළ යුතුය කියලා මා සිතුවා. අලුත් නිවෙසකට පැමිණිය මේ මොහොතේ ඒ සියල්ල ආරම්භ කරන්න හොඳම අවස්ථාව මෙය යැයි මා අදහස් කළා. ඒ සඳහා සුමේධගෙන් ලැබෙන සහයෝගයත් සමඟ මා නැවතත් මගේ කටයුතු ආරම්භ කළා.”

ඇගේ රංගනය පුංචි තිරයට තවම අහිමිව නැත.

“එතකොට සැලෝන් එකට මොකද වෙන්නේ”

“විදේශ ගත වන්නට තීරණය කිරීමත් සමඟ සැලෝන් එක මා කෙනෙකුට විකුණා දැම්මා. ඒත් නැවතත් දැන් එය මා ආරම්භ කළා. ඒ කොහෙවත් නෙවෙයි මගේ මාදිවෙල නිවෙසේම එක් කොටසකයි. මගෙන් සේවය ලබාගන්නට බොහෝ දෙනෙක් මා සොයා ගෙන එනවා. සැලෝන් එක නොකරන කාලයේ වුණත් එහෙමයි. විශේෂයෙන්ම කියන්න ඕනෑ මගේ පින්තූරයක් සැලෝන් එකක තිබුණු නිසාම ඒ සැලෝන් එක මගේ නෙවෙයි කියලා. ඒ නිසා ඒ වගේ දේවල්වලට රැවටෙන්න එපා කියලත් මගේ සේවාදායකයන්ට මම කියනවා. මේ නිසා මගේ සැලෝන් එක දැන් තියෙන්නේ මාදිවෙල මගේ නිවසේමයි.”

ඇගේ සුරතෙන් හැඩවැඩවන අයට ඒ ආරංචිය සුබ ආරංචියක් වනු නියතය. සිය කටයුතු පිළිවෙළකට කිරීමට කවදත් ප්‍රිය කරන තරුෂි සිය ජීවිත ගමනද පිළිවෙළකට සකසා ගන්නට අමතක නොකළ සෙයකි.

“ඒ කියන්නේ ඔබ නැවතත් කාර්යබහුලයි”

“ වැඩකටයුතු ගොඩක් කරන්නට මට සිදුවී තිබෙන බව ඇත්තයි. ඒත් ගොඩක්ම කාර්යබහුල වෙන්න මා කැමැති නෑ. සැලෝන් එකේ කටයුතුත් අතරම ටෙලි නිර්මාණ එකකට දෙකකට රංගනයෙන් සහභාගී වීම පමණයි සිදු කරන්නේ. මා රඟපෑ ‘සොඳුරු සිතැත්තී’ ‘හඳපාන ගලමේ දවස්වල විකාශය වෙනවා. ඊට අමතරව ‘සුජාතා’ටෙලි සිත්තමේ රූගත කිරීම්වල නියැළෙනවා. මේ කටයුතු අතර නිවෙසේ කටයුතුවලට මුල්තැන දෙනවා. ”

“ඉවුම් පිහුම් කටයුතු සිදු කරන්නේ ඔබේ දෑතෙන්මද?”

“ අපි දෙන්නනේ කෑමට ඉන්නේ. ඒ නිසා වැඩි වෙලාවක් මට උයන්න යන්නේ නෑ. ඒ අතරම නිවෙස වගේම මුළුතැන්ගෙයත් බොහොම පිරිසිදුව මට තිබෙන්න ඕනෑ. මේ සියලු කටයුතු ලස්සනට තියාගන්න මට සුමේධත් උදව් වෙනවා. සමහර වෙලාවට එයාගේ රෙදි ටික සෝදා ගන්නේත් එයාමයි. සුමේධ කියන්නේ ආදර බර සැමියෙක්.”

ඔහුව මතකයට නැඟුවා පමණි. ඉදිරිපස දොරෙන් මතුවූයේ සුමේධගේ රුවයි. ළඟන්නා සුළු සිනහවක් මුවඟට නඟාගත් ඔහු තරුෂි අසලින් අසුන් ගත්තේ

“ මම ටිකක් ප්‍රමාද වුණා” යැයි පවසමිනි.

“තරුෂිගේ මොනවගේ ගතිගුණවලටද ඔබ ඇලුම් කරන්නේ?”

අපි සුමේධව ද අපගේ සුහද හමුවට සහභාගී කර ගතිමු.

“මම ඈව එදා ඉදලාම දැක්කේ බොරුව, සෝබනය නැතිව සරලව ජීවත් වන කෙනෙක් විදියටයි. ඒ නිසා ඇගේ ඒ සරල බව අපේ ජීවිතවලට ආලෝකයක් ගෙනාවා. ඈ නිතරම ඉන්නේ පොළොවේ පය ගහලා. ඒක මම ඇගේ අගය කරන තවත් ගුණාංගයක්. ඈ බිරියක් විදියට නිතරම පවුල ගැන හිතන කෙනෙක්.”

සුමේධ සිය බිරිය තරුෂිව අගය කළේය.

“තරුෂි රඟපානවාට අකැමැතිද?”

“එහෙම අකැමැත්තක් මගේ නැහැ. මොකද ඇය මෙතෙක් රඟපාලා තියෙන්නේ මිනිස්සු ආදරය කරන චරිත. ඒ වග අපි දෙන්නත් සමඟ යන ගමන්වලදී ඇගේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් පෙනෙනවා.”

සිය පෙම්බරයා දෙස තරුෂි ආදරණීය බැල්මක් හෙළුවාය. ඔහුගේ සෙනෙහසෙන් එළිය වුණු තරුෂි - සුමේධගේ සොඳුරු දිවියෙහි මේ ගතවෙන්නේ සොඳුරුම කාලයයි. විවාහ වී වසර එකහමාරක් පමණ ගෙවුණු කාලය ගලා ගියේ ඔවුන්ටත් නොදැනීමය.

“ජීවිතය ගෙවිය යුතු කාලය තවත් බොහොමයි. මේ ගමන බොහොම හෙමින් නැළවිල්ලේ ගමන් කරන්න අපි කැමැතියි.”

සමුගන්නට මොහොතකට පෙර තරුෂි කියූ කියුමක් මගේ සිත පතුළේ තැන්පත් වූයේ ඉබේමය.