වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




මිනිහා හැමදාම රෑට නිදාගන්නේ මිනී පෙට්ටියක

මිනිහා හැමදාම රෑට නිදාගන්නේ මිනී පෙට්ටියක

‘කේ සෙරා’ තැනූ පරාක්‍රම ජයසිංහ හෙළි කරන රහසක්

වර්තමානයේ පවතින ඒකාකාරී සිනමා රැල්ලෙන් මිදුනු චිත්‍රපටයක ආශ්වාදය විඳ ගැනීමට දැන් ප්‍රේක්ෂකයා හට අවස්ථාව උදා වී තිබේ. එහි නම මෙන්ම කතා තේමාව හා ආකෘතිය ද වෙනස්ය. නැවුම්ය. මේ වන විටත් එය ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ චිත්‍රපටයක් බවට පත්ව ඇත්තේ එනිසාවෙනි.

චිත්‍රපටය ‘කේසෙරා’ය. මින් පෙර ‘එකදා වැහි’,(1994) ‘චෙරියෝ හොල්මන්’ (2002) වැනි චිත්‍රපට නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයාට සමීප වූ පරාක්‍රම ජයසිංහ මෙහි අධ්‍යක්ෂවරයා වේ.

විරාම සමයකට විරාමය තබමින් යළිඳු නිර්මාණකරණයට පිවිසි පරාක්‍රම නොහොත් ‘පැකී’ අප හා සංවාදයකට එක් වූයේ මෙලෙසිනි.

සෑහෙන කලකට පසුවයි ඔබ ‘කේසෙරා’ සමඟ ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ?

ඔව්. අවුරුදු දොළහකට පස්සේ.

ඇයි මෙපමණ කාලයක් නිහඬව හිටියේ?

චිත්‍රපටයක් කරන්න සුදුසු වාතාවරණයක් තිබුණේ නැහැ මට. චිත්‍රපටයක් කරලා අවුරුදු ගණන් බලාගෙන ඉන්න ඕනෑ. ඊළඟට ඒක ප්‍රදර්ශනය කරන්න ගියාම නොයෙකුත් ගැටලු, අර්බුද. ඒක ප්‍රමාණවත් තරම් උත්තේජනයක් නෙවෙයි නිර්මාණකරුවෙකුට. දැන් මේ චිත්‍රපටය වුණත් ප්‍රමාද වැඩියි. මේක ෂූට් කළේ 2013 දී. දැන් පෙන්වන්නේ 2014 දී.

මෙතරම් කාලයක් ප්‍රමාද වුණේ ඇයි?

ඒකට විවිධ හේතූන් තියෙනවා. ඒ ගැන කතා කරන්න මම කැමැති නැහැ. චිත්‍රපටයක් නිර්මාණය කළාට පස්සේ අඩු තරමින් මාස හයක් වගේ කාලයක් ඇතුළත ඒක ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා නම් හොඳයි.

මෙවැනි ප්‍රමාදයක් නිසා නිර්මාණයට හානියක් සිදු වෙනවාද?

මෙහෙමයි, ඒක වෙන්නේ තෝරා ගන්නා තේමාව අනුවයි. එය කාලීන තේමාවත් නම් අනිවාර්යයෙන්ම, නියත වශයෙන්ම හානියක් සිදු වෙනවා. නමුත් ඉතින් ආදරය, සංතාපය, දුක වැනි සදාතනික මිනිස් හැඟීම් එක්ක ගනුදෙනුවක් කරනවා නම් එහෙම පල් වෙන්නේ නැහැ. ඒකට එක්ස්පයර් ඩේට් එකක් නැහැ. හැබැයි නළු නිළියන්ට නම් ප්‍රමාදය නිසා යම් අසාධාරණයක් සිදු වෙනවා. දැන් මම අලුත් නිළියක් හඳුන්වලා දුන්නා කියමුකෝ. ඒත් ප්‍රේක්ෂකයෝ ඇය දකින්නේ කාලයක් ගිහින්. එතකොට බාහිර පෙනුම ගොඩක් වෙනස් වෙලා. අන්න ඒක නරකයි.

තව පැත්තකින් ඔවුන්ට ලැබෙන්න තිබෙන අවස්ථා පවා ඇහිරෙනවා.

නියත වශයෙන්ම එහෙම වෙනවානේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි අපේ කර්මාන්තයේ තියෙන ගැටලු. ඒවා නිරාකරණය වුණොත් බෙදා හැරීමේ කටයුතු අපට කරගෙන යන්න පුළුවන්.

පිටපත් කීයක් ඔබ මුදා හැරියාද?

පිටපත් දහ අටයි. මොකද මම මේ චිත්‍රපටය හැදුවේ නගරබද සහ නගරාසන්න ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කරගෙන. විශේෂයෙන්ම කොළඹ. මට හිතුණා සිංහල සිනමාව එන්න එන්නම නාගරික තරුණ, තරුණියන් අතරින් ගිළිහී යන බව. දැන් එහෙම අපර් මිඩ්ල් ක්ලාස් එකක් හැදීගෙන යනවානේ. ඔවුන් බොහෝ විට අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි බසින්. ජාත්‍යන්තර පාසල් අරවා මේවාත් එක්ක. ඒ කට්ටිය සම්පූර්ණයෙන්ම සිංහල සිනමාවෙන් ඉවත් වෙලා ගිහින් ඉවරයි. කොටින්ම කිව්වොත් ඔවුන් අවඥාවෙන් සිංහල සිනමාව බැහැර කරනවා.

බරපතල ප්‍රකාශයක්?

රාත්‍රී සමාජ ශාලාවක හෝ කිසියම් උත්සවයකදී හෝ ඒ ළමයි හම්බ වුණාම කියන දේවලින් ඒ බව සනාථ වෙනවා. අවුරුදු තිහ, තිස් පහ වගේ වයස්වල කාන්තාවන් පවා සිංහල සිනමාව බැහැර කරනවා ඉතාම අවඥාවෙන්. නිර්දය ලෙස. මොකද අත්දැකීමෙන් මම මේවා කියන්නේ.

නමුත් ඔවුන් ලෝක සිනමාවත් එක්ක ගනුදෙනු කරනවා?

ඔවුන් හැමදාම අලුත් චිත්‍රපට බලනවා. ඔවුන් දෙමළ චිත්‍රපට බලනවා. හින්දි චිත්‍රපට බලනවා. සිංහල සිනමාව කිව්ව ගමන් ඔවුන්ගේ මූණට හිනාවක් එනවා අසංක, දමලා ගහලා දුවන්න හිතෙනවා හැතැප්ම ගාණක්. මොකද ඒ හිනාව කියාපාන්නේ අවඥාවේ කෙළවර. මගේ දියණියන් පවා ඒ කුලකයට අයිතියි. දැන් ඔවුන්ට මට ආමන්ත්‍රණය කරන්න බැරිද කියලා මම හිතුවා. මම මේ තේමාව තෝරා ගත්තේ ඒ අදහසේ ඉඳගෙන.

ඔබ මේ චිත්‍රපටයට පාදක කර ගන්නේ එක්තරා පැලැන්තියක් වටා ගෙතුණු සංවේදී කතා පුවතක්?

බර්ගර් ජාතික පවුලක් වටා තමයි මේ චිත්‍රපටයේ කතා පුවත දිග හැරෙන්නේ. අපි පාසල් යන කාලේ පාසලේ සියයට තිහක් විතර හිටියේ බර්ගර් ජාතිකයෝ. ඔවුන් කතා කළේ ඉංග්‍රීසි බසින්. ඔවුන් කතෝලික බැතිමතුන්. ඔවුන්ගේ තිබුණා හරිම ලස්සන ජීවන චර්යාවන්. හරිම ලස්සන ජීවිත. හෙටක් ගැන හිතුවේ නෑ. විශේෂම ගුණයක් තමයි ඔය මිනිස්සුන්ට කේන්ති යන්නේ නෑ. ඔවුන් 70 දශකයේදී මේ රටෙන් පිට වෙලා යනවා. ඒ අය අතරින් ලංකාව හැර නොගිය සුළු පිරිසක් ඉන්නවා. එවැනි පවුලක් කේන්ද්‍ර කරගෙන තමයි මම මේ කතාව ලිව්වේ.

සත්‍යය සිදුවීමක් ඇසුරෙන් ද කතාව ලිව්වේ?

නැහැ. නමුත් ඔවුන්ගේ ජීවන චර්යාවන්, ගති පැවතුම් මම හොඳින් දන්නවා. දැන් මේ රටේ හිටපු ප්‍රමුඛ පෙළේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරු කීප දෙනෙකුම බර්ගර් ජාතිකයෝ. ඒ එක් අයකුගේ නමින් අදටත් කොළඹ ප්‍රධාන පෙළේ අවමංගල්‍ය ආයතනයක් තියෙනවා. ඔවුන් හරිම විනෝදකාමියි. මම දන්න එහෙම කෙනෙක් හිටියා. ඔහු ඩ්රින්ක් එකක් එහෙම දාලා රෑට නිදා ගන්නේ මිනී පෙට්ටියක. හරි ෂෝක් මින්ස්සු. එතකොට ඔය පීටර් කෙනමන්, හිටපු අග විනිසුරුවරයකු වූ සන්සෝනි, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ වැන්ටුවෙස්ට් මේ සේරමලා බර්ගර් ජාතිකයෝ. ඔවුන් හරිම සුහදශීලී, ප්‍රියමනාප උදවියනේ.

අයි ඔබ, ඔබේ කතාව කියන්න මෙබඳු චරිත හා වටපිටාවක් තෝරා ගන්නේ?

මම හිතුවා මෙබඳු කතාවක් ඔස්සේ චිත්‍රපටයක් කළොත් අර මම මුලින් කියපු අපේ සිනමාව හැර ගිය, නැතිනම් එය ප්‍රතික්ෂේප කරන පිරිස නැවත සිනමාව වෙත ආකර්ෂණය කර ගන්නට හැකි වේ යැයි කියා.

එහෙම එක්තරා ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කර ගනිමින් චිත්‍රපටයක් නිර්මාණය කරද්දී සෙසු ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් සිදු වෙන්නේ නැද්ද?

මෙහි ඉංග්‍රීසි බසින් දෙබස් කියන තැන් සෑහෙන්න තියෙන නිසා කෙනෙකුට එහෙම හිතෙන්නත් පුළුවන්. ඩබ්ලිව්. ජයසිරි, සැන්ඩෝ හැරිස් වැනි ප්‍රවීණයන් ඉංග්‍රීසි බසින් ඩයලොග්ස් කියලා කියලා ඒත් එක්කම සිංහලෙනුත් කියනවා. එහෙම නැතිනම් ඉංග්‍රීසි එක අස්සෙන් මේකට සිංහල වචන එකතු කරනවා. ඔවුනට සුවිශේෂී හැකියාවන් තිබුණා ඒකට. ඔය පරණ ලොට් එකම ටොප් එකට ඒ වැඩේ කළා. ඒ නිසා ෆිල්ම් එකේ පන්ච් එකට හානියක් වුණෙත් නැහැ. දැන් සැන්ඩෝ හැරිස් ඕකේ ඉන්නේ දෙමළ චරිතයකට. ජේම්ස් සෙල්වනායගම් කියලා. ඔහු සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන්ම කතා කරනවා. අනෙක ඉංග්‍රීසි දෙබස් කතා කරන හැම විටම සිංහලෙන් සබ් ටයිට්ල්ස් යනවා.

ඉංග්‍රීසි වේදිකාවේ ජනප්‍රිය නළු, නිළියන් පවා ඔබ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා යොදා ගන්නවා?

ඔව්. මිෂෙල් සහ හාම්ස් බිල්මෝරියා ඉංග්‍රීසි වේදිකාවේ අති දක්ෂ නළු, නිළි දෙපළක්. මිෂෙල් ගොඩක් ප්‍රසිද්ධ කොමිඩි කැරැක්ටස්වලට. පුදුම උනන්දුවකින් මේ අය වැඩ කළේ. ඒගොල්ල සිංහල නිර්මාණවල රඟපාන්න ආසයි. ඒත් කවුරුවත් චාන්ස් එකක් දෙන්නේ නෑ. බිලීට මම තිර රචනය සම්පූර්ණ වෙන්නත් කලින් දුන්නා. ඔහු තිර පිටපත අතට අරන් කිව්වේ ‘මම මේක කියවන්නම්, ඔන්න මම නැවට නැග්ගා. අනිත් අයත් එකතු කරගෙන යමු’ කියලයි. එතකොට යෝෂිනි අලුත්. ඒත් එයත් හොඳට වැඩේ කළා.

දිල්හානි ඒකනායක මෙහි සුවිශේෂී චරිතයක් රඟපානවා?

ඒ චරිතය ඉතාම වැදගත්. එයා තමයි මනුෂ්‍යය ලෝකයේ ඉඳගෙන මළවුන්ගේ ලෝකයත් එක්ක ගනුදෙනු කරන්නේ. එතකොට ඇගේ භාෂා දෙකම දැනගෙන සිටිය යුතුයි. දිල්හානි ඇගේ කොටස හොඳින් ඉටු කළා. ඒ වගේම ඇන්ජලා සෙනෙවිරත්න, මානෙල් වානගුරුගේ රඟපෑම් ඔයා දැක්කනේ දෙන්නා ඉංග්‍රීසියෙන් රණ්ඩු වෙනවා. සිංහලෙනුත් රණ්ඩු වෙනවා.

දමිත් ෆොන්සේකාගේ රඟපෑම් අපි දැක්කේ සැහෙන කාලෙකට පස්සේ?

මම හිතන්නේ අවුරුදු දහයකටත් වඩා වැඩි කාලෙකට පස්සෙයි ප්‍රේක්ෂකයෝ ඔහුගේ රඟපෑම් දකින්නේ. මිනිහෙක්ව මරලා, මරණ සහතිකෙත් අපටම දෙන්න පුළුවන් කාලයක් මේක. ඒ කටුක සමාජ යථාර්ථය තමයි මේ චරිතය හරහා මම කියන්න උත්සාහ කළේ. මේ චිත්‍රපටයේ බොහෝ සිදුවීම් මම ඉදිරිපත් කළේ පැත්තක ඉඳන් මේක නරඹලා හිනාවෙන්න. එතකොට ඩාර්ක් කොමඩි කියන්නේ ඒකයි. මම ඒක බලෙන් කරන්න ගියානම් වැඩක් නෑනේ. මතුපිටෙන් තිබෙන හාස්‍යයට වඩා ගැඹුරු සමාජ යථාර්ථයක් එහි යටිපෙළ හරහා මතු කරන්නයි මට අවශ්‍ය වුණේ.

හාස්‍ය මඟින් එහෙම ගැඹුරු සමාජ විවරණයක් කරන්න යෑම නිසා නිර්මාණයට කිසියම් පළුද්දක් වුණාදෝ කියන ප්‍රශ්නාර්ථය චිත්‍රපටයේ ඇතැම් තැන්වලදී මට මතුවුණා?

මේ අත්දැකීම, පණිවිඩය මම ප්‍රේක්ෂකයා අතරට ගෙනයන්න ඕනෑ. ‘බොක්ස් ඔෆිස්’ කියන එකත් මගේ ඔළුවේ නැතුවා නෙවෙයිනේ. මිනිස්සුන්ට මේක විකුණන්න ඕනැයි කියන හැඟීම තියෙනවානේ. එතකොට ඉතාම පහළ මට්ටමේ කොමඩි රස විඳින්න මිනිස්සු හුරු කරලා තියෙන රටක අපි සිනමාවෙන් ගැඹුරු, සංකීර්ණ දේවල් කරන්න ගියොත් ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරයි කියන කුකුස මට තිබුණා. ඒ නිසයි මම ඔවැනි දේවල් ඉදිරිපත් කළේ ඔවුනට ගම්‍ය වෙන්න. නැතිව මම නොදැන කළ දෙයක් නෙවේ. මෙහි එන හාස්‍යය බොහෝ දෙනකු අගය කළා. නමුත් නිර්මාණයට කිසියම් පලුද්දක් වෙන්න ඇති. ඔබට එහෙම හිතන්න අයිතියක් තියෙනවා.

වෙනස්ම ආකාරයේ කතා තේමාවක් තමයි ප්‍රස්තුත කරගෙන තියෙන්නේ ඔබ මේ චිත්‍රපටයට. මෙහි නම පවා වෙනස්. මේ ගැන පැහැදිලි කිරීමක් කළොත්?

කේසෙරා කියන්නේ ස්පාඤ්ඤ බසින් වෙන්න තියෙන දේ වෙයි කියන එකනේ. ඔය කේසෙරා කියන එක තමයි අසංක මගේ ජීවිතයේ දර්ශනය. වෙන දෙයක් වෙයි. බලන් ඉන්න කියන අරුත.

ඉංග්‍රීසියෙන් අපි කියන්නේ What Must be, Must be කියලා?

ඔව්. What Will be, Will be  කියන දේ. වෙන දේ වෙනවා. හොඳට අවදියෙන් ඒ දෙස බලන් ඉන්න කියන එක තමයි මේ චිත්‍රපටයෙන් මම කියන්නේ. මම බොහෝ වෙලාවට ජීවිතයේ පරමාදර්ශය කර ගන්නේ එයයි.

‘කලර්’, ‘මවුස්්’ වගේ නම්වලින් සිංහල චිත්‍රපට හැදුණා. ඇතැම් ප්‍රේක්ෂකයෝ හිතුවේ මේවා මේ ඉංග්‍රීසි චිත්‍රපට කියලයි. දැන් මේකත් අමුතු නමක්නේ. ප්‍රේක්ෂකයන්ට ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද?

දැන් හින්දි සිනමාව ගන්න. හින්දි සිනමාවේ ත්‍රී ඉඩියට්ස් කියලා එනවා. අද හැදෙන හින්දි චිත්‍රපට බාගෙට බාගයක් වගේ එන්නේ හින්දි නම්වලින්. නමුත් ෆිල්ම් එක මාර්කට් කරන්න ඒක බාධාවක් නෙවෙයිනේ රට ඇතුළේ. එතකොට භාෂාව බාධාවක් වෙන්නේ කෘතිය නීරස නම්. බලන් ඉන්න බැරි නම්. දැන් ‘ත්‍රී ඉඩියට්ස්’ හින්දි භාෂාවෙන් හැදුවට ඉන්දියාවේ හැම ප්‍රාන්තයකම හිට් එකක්. එතකොට හැම කෙනාම හින්දි කතා කරන්න් නෑනේ. දැන් මගේ චිත්‍රපටයේ නම වෙනස් වගේම එහි ඉංග්‍රීසි බසින් කතා කරන එකත් කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. නෑ අසංක සිනමාව කියන්නේ වෙනම සංස්කෘතියක්.

ඒ වගේම සිනමාව කියන්නේ වෙනම භාෂාවක්?

වෙනම භාෂාවක්. දැන් ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ බලනකොට මට අසීමිත රසයක් එනවා. මට ඒ වගේම ‘ලින්කන්’ බලන්නත් පුළුවන්, ස්පීල්බර්ග්ගේ, ජෙනරල් බ්‍රාන්ස්, ජෙනරල් ලී වගේ චරිත දකින කොට මට නිකං දැනෙනවා මොන තරම් විශිෂ්ට ලෙස මේ මිනිස්සු මේවට ගෙනල්ලා තියනවාද කියලා. එතනදි මේ හොලිවුඩ් මේ බොලිවුඩ් කියන වර්ගීකරණයක් මට අදාල වෙන්නේ නෑ.

සිනමාව පිළිබඳ දැඩි උන්මාදයකින් පෙළෙන ඔබ වැන්නකුට ‘සිනමා භාෂාව’ ගැටලුවක් වෙන්නේ නැහැනෙ. නමුත් අපේ රටේ සාමාන්‍ය ප්‍රේක්ෂකයාට ඔය ‘සිනමා භාෂාව’ තේරෙනවාද?

නෑ මේකයි අසංක, මේක මම පැහැදිලිවම කියන්න ඕනෑ. අපේ අයගේ දැනුම මොට කරලා තියෙන්නේ. අපේ ප්‍රේක්ෂකයාගේ වින්දනය මොට කරලා, මොට කරලා අන්තිමට රජ කතා, මහාවංශය දිග හැරගන්න අද සිද්ධ වෙලා තියෙනවනේ. දැන් බලන්න අපේ රටේ සිනමා සංස්කෘතියක් කියලා එකක් නෑනේ. සිනමාහල් හිමියෝ කියන්නේ ‘බාගෙ ටිකට් කැඩෙනවා නම් වැඩේ හරි සර්’ කියලා. එතකොට බාගෙ ටිකට් කියන එකෙන් ඔහු අර්ථ දක්වන්නේ ළමයින් චිත්‍රපටය නරඹන්න එනවයි කියන එක. දැන් එතකොට ළමයින්ට ද සිනමාව තියෙන්නේ. නෑ ළමයි යන්නේ පික්නික්. අම්මලා තාත්තලා මාසෙකට සැරයක් පික්නික් එකක් එක් කර ගෙන යනවා. එහෙම නේ.

අද පාසල්වලින් පවා ළමයි එක් කරගෙන යන්නේ පික්නික්වලට නෙවෙයි ‘පිච්චර්’වලට?

බලන්න, ඒක වැරදියිනේ. මේ වගේ දේවලින් නිරායාසයෙන්ම රටක සිනමා සංස්කෘතිය බිඳ වැටෙනවා. සිනමාව බලන්න යන්න ඕනෑ සිනමාව විඳින්නයි.

ඒත් ළමා සිනමාවක් කියා දේකුත් තියෙනවා නේද?

ළමා සිනමාවක් තියෙනවා. ඒත් ළමා සිනමාව පමණක්ම නෙවේ. නමුත් අපට රැඳෙන්න වෙලා තියෙන්නේ එතැන. ළමයෙක් චිත්‍රපටයක් බලන්න බොහෝ විට එන්නේ අම්මයි, තාත්තයි එක්ක. එතකොට ටිකට් තුනක් එතැන කැඩෙනවා. ඒක එහෙම වුණාට කමක් නෑ. මොකද සිනමාහල් හිමියෝ රැකෙන්න ඕනෑ. මිනිස්සු මේ වෙළදාමක් කරන්නේ. ඒ අයගේ පැත්තෙන් බැලුවොත් සාධාරණයි ඒක. හැබැයි අපි මේ දෙක බැලන්ස් කරගෙන යන්න ඕනෑ. එහෙම සිනමාවක් අපේ තිබුණනේ. නැතුවා නෙවෙයිනේ.

විශේෂයෙන්ම 60, 70 දශකවල?

තිබුණා. තිබුණා. දැන් ‘හඳයා’ බලන්න. මේ රටේ නිර්මාණය වුණ සැබෑම ළමා චිත්‍රපටයක්. එතකොට ටයිටස් තොටවත්ත ‘හඳයා’ හදන කොට නිහාල්සිංහ ‘වැලිකතර’ හදනවා. ඒවගේම ගාමිණී ෆොන්සේකා ‘පරසතු මල්’ හදන කොට නීල් රූපසිංහ හදනවා ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටය. බලන්න කොයි තරම් එකිනෙකට වෙනස් ද මේ චිත්‍රපට. හොඳ පොත පත පරිශීලනය කරන, උසස් රසඥතාවයකින් යුත් ප්‍රේක්ෂකයෝ අද අපට නෑ. ලෙස්ටර් ජේම්ස් පීරිස්ලා පණ යනකල් මහන්සි වෙලා හදපු සිනමාවනෙ මේ. ලෙස්ටර් අපේ සිනමාව යම් තැනකට ගේනවානේ ‘රේඛාව’ හරහා. ඒකමනේ එදිරිවීර සරච්චන්ද්‍ර කළේ ‘මනමේ’ හදලා.

ඒ අභිමානය අද දියාරු වී ගිහින්?

අත්තටම එදා ලෙස්ටර්ලා, සරච්චන්ද්‍රලා දැඩි වෙහෙසකින්, කැපවීමකින් ගොඩ නඟපු ඒ සිනමා හා නාට්‍යය කලාව අද බිඳ වැටිලා. මෙහෙම ගිහින්, ගිහින් අපි කොතන ද නවතින්නේ. අද අපේ සිනමාව ගමටත් නෑ, නගරයටත් නෑ.

නන්නත්තාර වෙලා?

හරියටම හරි, නන්නත්තාර වෙලා. ඒක තමයි වචනය.

දැන් ඔබ මේ චිත්‍රපටයේ අපට නොපෙනෙන ලෝකය පිළිබඳ යම් මතවාදයක් ගොඩ නගන්න උත්සාහ කරනවා. බුදු දහමේ එන අන්තර්භවය වගේ දේවල් ඔස්සේ කිසියම් අද්භූත ලෝකයක් නිර්මාණාත්මකව ඉදිරිපත් කරනවා?

බුදු දහම ගැන මම අවධානය යොමු කර තිබුණේ අවුරුදු තිස් ගණන්වල ඉඳලා. මම බුදු දහම ගවේෂණය කරන්නේ මතුපිට දකින දේට වඩා පුළුල් අර්ථයකින්. ඔය චිත්‍රපටය පුරාම කියැවෙන්නේ එක දෙයයි. මිනිහෙකුට වෙනස් වෙන්න යම් පෙරහුරුවක් හෝ මාස ගණන් අවශ්‍ය නෑ. අවුරුදු ගණන් ඕනෑ නෑ. අවශ්‍ය නම් කෙනෙකුට එක තත්පරයකින් වෙනස් වෙන්න පුළුවන්. එතනින් වෙනස් වුණාට පස්සේ වුණාම තමයි. දැන් අර මියගිය සේරා කියන තරුණිය අන්තර්භවයේ ඉඳන් ආපහු මනුෂ්‍යය ලෝකයට එන්නේ එයාගේ සිතේ තිබුණු වෛරය, පළිගැනීම වගේ චේතනාවලින් දුරු වෙලා. ඒ වෙනස එයා තුළ ඇති වෙන්නේ නීටා ප්‍රනාන්දු එක්ක කතා කළාට පස්සේ. එහෙම වෙනස් වෙන්න යන්නේ එක නිමේෂයක් විතරයි.

ඔබ බෞද්ධ දර්ශනයේ එන අන්තර්භවය විශ්වාස කරනවාද?

නැවත කුසක පිළිසිඳ ගන්නා තුරු එහෙම ගන්ධබ්බ අවධියක් තියෙනවා කියලා බුදු දහමේ කියවෙනවානේ. කට්ටියක් කියනවා තියෙනවා කියලා. තව කට්ටියක් නෑ කියනවා. හැමදාම ඒ ගැන වාද විවාද තිබුණානේ. අන්තර්භවය ගැන මම මේ චිත්‍රපටයට ඇතුළත් කළේ ඒක බෞද්ධයන් හොඳින් අසා පුරුදු දෙයක් නිසා. නමුත් ඇත්තටම මට අවශ්‍ය වුණේ මේ වෙනස්වීම කියන ධර්මතාව ගැන ප්‍රේක්ෂකයා දැනුවත් කරන්නයි. ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අර එතෙක් කල් අරගෙන ආපු බර පොදිය එතනින් ඉවර වෙනවා. ඊට පස්සේ දැනෙන්නේ පුදුමාකාර සැහල්ලුවක්. ඒ සැහැල්ලුව ඇති වුණාට පස්සේ දැනෙනවාලු බියක්. එහෙම වුණ අය කියනවා.

අයි එහෙම බියක් දැනෙන්නේ?

දැන් මේ මොහොතේ අසංකට එහෙම විපර්යාසයක් වුණා කියන්නකෝ. ඉස්සර වෙලාම ඔයාට දැනෙන්නේ බියක්ලු. ඇයි සියලු වටිනාකම ක්ෂය වීගෙන, ක්ෂය වීගෙන යනකොට. දැන් ඊළඟට මොකද කරන්නේ කියන අවිනිශ්චිත බව දැනෙන කොට එහෙම බියක් ඇතිවීම ස්වභාවිකයි. මිලාන් කුන්දේරා ‘අන් වෙයාරබල් ලයිට්නස් ඔෆ් බීන්ස්’ කෘතියේ කියන්නේ එවැනි තත්ත්වයක්. ‘පියාපතක් වන් ජීවිතයක්’ යනුවෙන් එය සිංහල බසටත් පරිවර්තනය කළා. කුන්දේරා කියන්නේ ඒ ජීවිතය පදුමාකාර සැහැල්ලුයි කියලයි.

ආදරය පිළිබඳ වුවත් ඔබ වෙනස් නිර්වචනයක් දෙන්නයි මේ චිත්‍රපය හරහා උත්සාහ දරන්නේ?

ආදරය කියන්නේ ලෝකයේ තිබෙන ලස්සනම ධර්මතාවය. එතනට පිවිසුන කෙනාට දුකකුත් නෑ. සතුටකුත් නෑ. ඒක තමයි හරි ආදරය. කෙනක් ආදරය වෙනුවෙන් දුක් වෙන්නේ තෘෂ්ණාව නිසයි.

රාත්‍රී කාලයේ බොරැල්ල කනත්තේ පවා රූගත කිරීම් සිදු කළා?

ඔව්. දවස් හයක් පුරා අපි නයිට් ෂූටිං තිබුණා. එළි වෙනකල් කළා. ඉතිං නයි, පොළොංගු ඉන්නවා කිව්වට අපි නම් දැක්කේ නෑ. එකම එක පාරක් නීටා ප්‍රනාන්දු විතරක් දැකලා තියෙනවා නයෙක්. වෙන කිසි කරදරයක් වුණේ නෑ.

අපේ කට්ටිය හොල්මන්වලට බය වුණේ නැද්ද?

නෑ. මෙහෙම දෙයක් නම් වුණා. යොෂිණි විතරක් ලයිට් කරලා නුග ගහක් යට ෂූට් එකක් තිබුණා. මහ රෑ අවට කළුවරයි. මෙයා ඉන්නෙත් දිග සුදු හවුස් කෝට් එකක් වගේ ඇඳලනේ. හිටපු ගමන් ඒ අසල පාරේ ගිය වාහනයක කව්දෝ ‘අන්න අන්න මෝහිනී’ කියලා කෑගැහුවා. කට්ටියට හිනා. ඒක නම් හොඳට මතකයි. කොටින්ම කනත්ත කියන එක අපේ ගෙදර බවට පත් වුණා. බියක්, සැකයක් දැනුණේම නෑ.

මේ චිත්‍රපටයේ හොල්මන්, අවතාර තියෙනවා. හිටි ගමන් අද්භූත දේවල් සිදුවෙනවා. සමහර තැන් හරියට ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ෆිල්ම් එකක් වගේ?

අපි නැරඹූ යම්, යම් චිත්‍රපටවල ආභාෂය නිරායාසයෙන්ම අපට ලැබෙනවා. ඔරිජිනල් කියලා දෙයක් නෑ මේ ලෝකේ. කුඩා කාලේ ඉඳලම අපි අහපුවා, දැකපුවා තමයි මේ රොටේට් වෙවී යන්නේ. යම් නිර්මාණයකදී ඒවා ඉස්මතු වෙන්න පුළුවන් වෙන වෙන තැන්වලදී විවිධාකාරයෙන්. ඒකට අපි එකතු කරන දේ, පරිහරණය කරන දේ, ඊළඟට අපි ඇසුරු කරන දේවලින් ඒක සියුම් වෙනවා. හැබැයි කවුරු හරි කියනවා නම් මේක මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් කියලා අන්න ඒකට තමයි එකඟ වෙන්න බැරි. අපි එහෙම කියන්න ඕනෑ නෑනේ.

බොහෝ සිනමාකරුවන්ට ආවේණික වූ සිනමා රීතීන් හා අනන්‍යතාවන් තිබෙනවා. නමුත් ඔබේ චිත්‍රපට තුන එකිනෙකට වෙනස්. එහෙම නිශ්චිත හැඩ තල අපි ඔබේ නිර්මාණකරණයේදී දකින්නේ නෑ. ඇයි ඒ?

මෙහෙමයි, කිසිම දෙයක් නිශ්චිත නෑනේ. හැම දෙයකම වෙන ආකරයට වෙනවා. ඉතින් ‘එකදා වැහි’ චිත්‍රපටයේ ස්ටයිල් එකම තමා ‘කේසෙරා’ චිත්‍රපටයේත් තියෙන්නේ. මම හිතන හැටියට ‘එකදා වැහි’ බලපු බොහෝ අය ඒ කාලේ කිව්වා මේක වෙනම රිද්මයක බහාලූ චිත්‍රපටයක් කියලා. විචාරකයෝත් කිව්වා. පංගුවක් අය බැන්නා මට. එතකොටත් ඒ අයට ඒ ස්ටයිල් එක අල්ලා ගන්න බැරි වුණා. දැන් මේ පාරත් ඒකම වෙයිද කියලයි මට සැක. ඇත්තම කියනවා නම් මට මේ ෆිල්ම් එක මීටත් වැඩිය ෆාස්ට් වෙන්න ඕනෑ. තව මදි. මේකේ සමහර නළු නිළියෝ ටෙලි ඩ්‍රාමාස්වල වගේ ඇක්ට් කරනවා සමහර තැන්වල. ඔවුන් නිරන්තරයෙන් උදේ ඉඳන් ටෙලි නාට්‍යයවල රඟපාලා, රඟපාලා මෙතෙන්ට ඇවිත් දවස් දෙක තුනක් යනවා වෙන ස්ටයිල් එකකට හුරු වෙන්න.

ඔබේ සිනමා භාවිතයේ මුඛ්‍යාර්ථය කුමක්ද?

මගේ සිනමාවේ මූලිකම දේ තමයි වින්දනය. ගීතය අපට තියෙන විශේෂ අංගයක්. ගී නිර්මාණත් මම විවිධාකාරයෙන් යොදා ගත්තා. සිනමාව කියන්නේ විනෝදාස්වාදය සපයන මාධ්‍යයක්. මොන දේ තිබුණත් ඒක නැති සිනමාවෙන් ඵලක් නෑ. සම්මාන ගන්න මම චිත්‍රපට හදන්නේ නෑ. සාමාන්‍ය ප්‍රේක්ෂකයාටයි මම චිත්‍රපට නිර්මාණය කරන්නේ.