වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 02 වැනිදා බ්‍රහස්පතින්දා




වේදිකාවෙත් පුංචි තිරයෙත් දස්කම් පාන චමත් සුරංග

වේදිකාවෙත් පුංචි තිරයෙත් දස්කම් පාන චමත් සුරංග

රංගන ශිල්පියෙකු ලෙස කලා ලොවේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන බොහෝ දෙනා රංගනයට පිවිසෙනුයේ වේදිකාවෙනිි. වේදිකාවෙන් රංගනයට අත්පොත් තැබූ එවැනි ආධුනික රංගන ශිල්පියෙකි චමත් සුරංග.

මොරටුව වේල්ස් කුමාර විදුහලෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ ඔහු පාසල් වේදිකවෙන් තම කලා ගමන ආරම්භ කළේය.

පුංචි කාලේ සිටම රංගන ශිල්පියෙකු වෙන්න මට ආසාවක් තිබුණා. ඒ නිසාම උසස් පෙළ ඉවර වෙලා අශාන් සුසන්ත ගුරුවරයා යටතේ නාට්‍ය හා රංගන කලාව හැදෑරුවා.

මම මුලින්ම රූපවාහිනී තිරයට ගියේ ‘රිදී’ කියන ඒකාංගික ළමා නාට්‍යයෙන්. ‘අලුත් දවසක්’, ‘අන්දරේ’ වැනි ඒකාංගික නාට්‍යවලට මුල් කාලයේදී මට රඟපෑමට අවස්ථාව ලැබුණා.

නුවන් මහීගේ ‘ගැහැනියකට නමක් දෙන්න’ වේදිකා නාට්‍ය මට සුවිශේෂියි. මොකද මම එහි චරිත හතරකට රංගනයෙන් එක් වුණා. ඒ අතර සුජීව නුවන්ගේ ‘බලන් නෙතු විවර කර’ හාසේ‍යීත්පාදක වේදිකා නාට්‍යයටත් මට රංගනයෙන් දායක වෙන්න හැකි වුණා. අනුර චන්ද්‍රසිරිගේ ‘රෝස කටු’, අනුරුද්ධ ජයසිංහගේ ‘යකඩ පහන් තිර’ හා නලින් මාපිටිය අධ්‍යක්ෂණය කළ ‘ඉස්සරහට යන්න’ වැනි ටෙලි නාට්‍යවල මම දැනට රඟපාලා තියෙනවා. ‘ආදරෙයි මං ආදරෙයි’ තමා මම රඟපාපු පළමු චිත්‍රපටය.

ඉදිරියේදීත් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපටවල රඟපෑමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙතෙක් ආ ගමන් මඟට මට උපකාර කළ සැමටම මම ස්තූතිය පුද කරනවා.

රංගනයට අමතරව දැනට ඖෂධවේදී පාඨමාලාවක් හදාරන චමත් රැකියාවක් කරන අතරතුර තම රංගන හැකියාව විදහා පෑමට බලාපොරොත්තු වේ. ඔහුගේ කලා කටයුතුවලට දෙමාපියන්ගෙන් මහඟු පිටුබලයක් ලැබේ.

වාරිමාර්ග නිල නිවස, 15/ඕ, කඳවල පාර, රත්මලාන ඔහුගේ ලිපිනය වන අතර 0112634162, 0779254451 චමත්ගේ දුරකථන අංකයයි. ස්වෝත්සාසහයෙන් රංගනය ඔස්සේ කලා ලොවේ ගමනක් යෑමට කටයුතු කරන චමත්ට සරසවිය අපි සුභ ප්‍රාර්ථනා කරමු.