වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




 “ඔයා එක තත්පරයෙන් ලෝකය ඇල්ලුවා”

 “ඔයා එක තත්පරයෙන් ලෝකය ඇල්ලුවා”

ලංකාවේ අපට බොහෝ දේ කළ හැකියි කියලා අපි ලෝකයට පෙන්නුවා

විසිතුන් වැනි පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පසුගිය දා අති උත්කර්ශවත් අයුරින් මෙරටේ දී පැවැත්වුණා. රටවල් 53 ක රාජ්‍ය නායකයන් ගේ සහභාගීත්වයෙන් පැවැති මෙහි කාගේත් අවධානය යොමු වූ අංගයක් වුණේ එහි සමාරම්භක උළෙලයි. ඉතාමත් විවිත්‍රවත් අයුරින් පැවති එහි පොදු රාජ්‍ය මණ්ඩල රටවල් කිහිපයකම නර්තන කලාවන් මුසුකර ගනිමින් නිර්මාණය වූ අපූරු නර්තන ඉසවුව වෙත කාගේත් නෙත් සිත් යොමු වුණා. ඒ අලංකාර නර්තන නිර්මාණය කළේ මෙරට කලා ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය දක්‍ෂ නර්තන ශිල්පිනියක්. ඇය ඔබ කවුරුත් හඳුනන ප්‍රශාදි රණසිංහ. ඇය එහි දී ලත් අත්දැකීම් ඔබ අප සමඟ බෙදා හදා ගන්නට ‘සරසවිය’ හමු වූ මොහොතයි මේ.

ඔබ ලැබූ මේ සුවිශේෂ අත්දැකීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මට ලැබුණු මේ අවස්ථාව ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත්, අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාටත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ස්තුති කරන්න ඕන. ඒ සඳහා මා ඇතුළු මගේ කණ්ඩායමේ 30 දෙනකු ඒ සඳහා සහභාගි වුණා. මම යමක් හරියට කරයි කියන විශ්වාසය මත තමයි මට මේ සුවිශේෂ අවස්ථාව ලැබුණේ. ඒ දේ මම හරියටම කළා. ලැබුණු ප්‍රතිචාරවලින් මට ඒ ගැන හිතා ගන්න පුළුවන්.

විවිධ නර්තන අංගයන්ගෙන් මෙම නර්තන ඉසව්ව විවිත්‍රවත්ව සැකසුන හැටිත් දැන ගන්න කැමතියි?

මේ සඳහා වූ තේමාව තෝරා දුන්නේ බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමා. එතුමා මට කිව්වෙ පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් හයක් ආවරණය කෙරෙන පරිද්දෙන් මෙම විශේෂ නර්තන අංගය ඉදිරිපත් විය යුතුයි කියලා. ඒ සඳහා මට ඕස්ට්‍රේලියාවේ ඇබෝර්ජියන් ගෝත්‍රයේ නර්තන ශෛලිය ඇතුළුව, ඉන්දියාවේ කථකලී, බටහිර ඉන්දීය කොදෙව් දූපත් නර්තනාංග, අපි‍්‍රකාව, එක්සත් රාජධානිය, කැනඩාව සහ ශ්‍රී ලංකාව ප්‍රධාන කරගනිමින් මේ සඳහා සූදානම් වුණා.

මුලින්ම මම පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව (චොගම්) ගැන අවබෝධයක් ලබාගෙන මගේ නර්තන කණ්ඩායමේ ළමයින්ට ඒ දැනුම අවබෝධය ලබා දුන්නා. අපේ නර්තන අංගයට තෝරාගත් රටවල නර්තන කලාවන් ගැන හදාරලා තමයි ඒ සඳහා සූදානම් වූයේ. එහිදී ඇඳුම් නිර්මාණයට විශේෂ තැනක් ලබා දුන්නා. එම නර්තන සම්ප්‍රදායයන්ට හානි නොවන්නට අපූරු නිර්මාණයක් හරිම ලස්සනට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා.

අන්තර්ජාතික මට්ටමේ මෙවැනි සමාරම්භක උළෙලක කොටසක් ඔබ අතට පත්වන විට දි ඔබට දැනුණේ මොනවගේ හැඟීමක්ද?

ඒ සම්බන්ධයෙන් ආරාධනාව ලැබෙන විටත් මේ අදහස මගේ හිතට ආවා. වෙනත් දෙස් විදෙස් සංචාරවලින් ලද අත්දැකීම් එයට බෙහෙවින් ඉවහල් වුණා. ඒ වගේම මගේ නර්තන කණ්ඩායමේ ළමයි ගොඩක් දක්‍ෂයි. ඔවුන් මේ දේ හරියටම කරයි කියන විශ්වාසය මගේ හිතේ තිබුණා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේ හැම දේටම මා දිරිමත් කරමින් මගේ අම්මයි තාත්තයි මගේ පිටුපස සිටියා. භාතිය සහ සන්තුෂ් අයියලාගෙනුත් ලැබුණේ හොඳ සහයෝගයක්.

ලැබුණු ප්‍රතිචාර ගැනත් සඳහන් කළොත්?

ඇත්තටම හිතා ගන්න බැරි තරමට ප්‍රතිචාර ලැබුණා ඒ ගැන ලොකු සතුටක් හිතේ තියෙන්නේ. එහි දී විදෙස් මාධ්‍යයන්ගෙන් ප්‍රතිචාර රැසක් ලැබුණා. ඔවුන් මට පැවසුවේ ‘ඔයා එක තත්පරයෙන් ලෝකය ඇල්ලුවා’ කියලයි. ඇත්තටම එහි දී ලංකාවේ අපට බොහෝ දේ කළ හැකියි කියලා අපි ලෝකයට පෙන්නුම් කළා.

ඔබේ නර්තන කණ්ඩායම ගැනත් සඳහන් කරමු?

චොගම් එකේ නර්තන ඉසව්ව සඳහා මධු, තරංග, හර්ෂ, නෞෂි, රශ්මි, ඉසුරි, ලක්ෂාන්, අමිත්, අමිල ඇතුළු තිස්දෙනෙක් සහභාගි වුණා. ඒ වගේම එහි විශාල වෙස් මුහුණු අල්ලාගත් තවත් පිරිසක් හිටියා. ඔවුන් ගේ මුහුණු නරඹන්නන්ට නොපෙනුනත් ඒ අය කළ කැප කිරීම අති විශාලයි. මට මගේ කණ්ඩායමේ ළමුන් ගැන හරිම ආඩම්බරයි. මම දෙයක් ඔවුන්ට කියලා දුන්නම ඔවුන් ඒ දෙය හරියටම ඉටුකරන්න සූදානම්.

මීට අමතරව මගේ පංතිවල සිටින අනෙකුත් දරුවනුත් ඒ වගේම දක්‍ෂතාවයෙන් පිරුණු දරුවන්. අපට තියෙන්නේ බොහොම හොඳ කණ්ඩායමක්. නර්තනය වගේම විනයත් එහි විශේෂ දෙයක්. මොනදේ කරන්නත් හොඳ හැදියාවක් තියෙන්න ඕන. ඒ දේ මම අකුරටම බලනවා. ඒ වගේමයි පංතිය තුළ දී මම ළමයින්ට සැර ගුරුවරයෙක්. වෘත්තිය මට්ටමෙන් බැහැරව හොඳ යෙහෙළියක්.

ක්ෂේත්‍රය තුළ අද සිටින තැනත් සමඟින් ආපසු හැරී බලනකොට ප්‍රශාදිට මොකද හිතෙන්නේ?

මම නර්තනයට යොමු වුනේ පෙර පාසල් සමයේ සිටයි. පෙර පාසල් කාලයේ සිට තුන වසර දක්වා පමණ වෙනකල් මම දයා නෙල්ලම්පිටිය මහත්මිය යටතේ නර්තනය හැදෑරුවා. ඊට පසුව කුලසිරි බුදවත්ත රංගායතනයේ වසර දොළහක් පමණ නර්තනය හැදෑරුවා. එහි දී ඉගෙන ගන්නා අතරම ඉගැන්වීමේ කටයුතුත් සිදු කළා. කුඩා කාලයේ පටන්ම ලද අත්දැකීම් එක්ක ආපසු හැරිලා බලනකොට අද මම සිටින තැන ගැන හුඟාක් සතුටුයි. මේ දක්වා දුරක් මට සාර්ථකව එන්න ලැබුණේ මගේ හිත පිරිසිදු නිසා.

ඒ වගේම මම ආගම දහමට ළැදිව ජීවත්වන කෙනෙක්. කුමන වැඩක් ආරම්භ කළත් මම ළමයින් සමඟ බුදුන් ගේ දෙවියන් ගේ ආශිර්වාදය ඇතිව තමයි එය ආරම්භ කරන්නේ. ඒ නිසාම වරදින්නේ නැතිබව විශ්වාසයි. මේ හැම දෙයකටම මට විශාල ශක්තිය වෙන්නේ මගේ අම්මයි, තාත්තයි. ඒ සහයෝගය විස්තර කරන්න මට වචන නෑ.

ඔබේ රංගායතනය පවැත්වෙන්නේ ඔබේම නිවසේ. පිට පළාත්වල සිටින ළමයින්ට එම අවස්ථාව ලබාදෙන්න කැමති නැද්ද?

ඇත්ත, මම දැනට ‘ප්‍රශාදි රංගායතනය’ පවත්වාගෙන යන්නේ මහරගම මගේ ගෙදර. ඉදිරියේදී කඩවත සහ ගාල්ල නගරවලත් පංති ආරම්භ කරන්නයි මගේ සූදානම. ඒවගේම ඔවුන්ගේ වයස් මට්ටමට සීමා නොකර දැනුම ලබා දෙන්නයි මගේ බලාපොරොත්තුව.

ඔබ තවම තාරුණ්‍යයේ ශිල්පිනියක්. තව බොහෝ දුරක් යායුතුව තියෙනවා. මෙතෙක් පැමිණි දුර පිළිබඳ ඔබ තෘප්තිමත් ද?

ඇත්තටම ඔව් මේ දක්වා පැමිණි ගමනේ දී මට මගේ හැකියාවන් පෙන්වන්න බොහෝ අවස්ථාවන් ලැබුණා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක උළෙලේ සමාරම්භක අවස්ථාවට නර්තන අංගයක් ඉදිරිපත් කරන්න ලබීම ඒ අතර සුවිශේෂ වෙනවා. ඊට අමතරව තවත් විශේෂ අවස්ථා රැසක්ම මට ලැබිලා තියෙනවා.

ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් තරගාවලියේදි ඉන්දීය නළු විවේක් ඔබ්රෝයිට නර්තන අංගයක් නිර්මාණය කරන්න ලැබීම, 2011 වසරේ පැවති සිංගප්පූරු මෝටර් රථ ධාවන තරගාවලියේ නර්තන අංගයක් ඉදිරිපත් කරන්න ලැබීමත් ඒ අතර ප්‍රධානයි. මේ හැම අවස්ථාවකදීම අපේ හැකියාව ලොවට පෙන්වන්න අවස්ථාව ලැබුණා වගේම ඒ තුළින් අපටත් අත්දැකිම් රැසක් ලබාගන්නට හැකි වුණා. ඒ ගැනත් හිතේ තියෙන්නේ විශාල තෘප්තියක්.

0112-746585 ප්‍රශාදි ගේ දුරකථන අංකයයි.