වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




මට ඕනෑ ගැමි චරිත නදීෂා සඳමාලි

මට ඕනෑ ගැමි චරිත නදීෂා සඳමාලි

කටුනේරිය ගම්පියස උරුම කොට උපත ලැබූ නදීෂා සඳමාලි කලාවට අත්පොත තැබුවේ කටුනේරිය ශාන්ත සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවකව සිටින අවධියේය. පාසලේ රැ¼ගුම්, ගැයුම් පාමින් සිටි නදීෂාට රංගන වරම් හිමි වූයේ ද අහම්බෙනි. තම පියාණන් ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු විය. දිනක් චන්ද්‍රරත්න මාපිටිගම පියාගේ වෙළෙඳ සැලට පැමිණියේ කිසිවක් මිල දී ගැනීමටය. ඒ එන අවස්ථාවේ පියා අසලට වී වෙළෙඳ ව්‍යාපාරයේ කටයුතුවලට දායක වන නදීෂා දුටු චන්ද්‍රරත්න මාපිටිගම පියාණන්ට යෝජනාවක් ගෙන ආවේ තමන් කවුද කියා හඳුන්වා දෙමිනි. එහිදී චන්ද්‍රරත්නයන් නදීෂාට රඟපෑමට ආරාධනය කළේ ඇය තුළ රංගන හැකියාවන් එක්ව තිබෙනු දුටු හෙයින් විය හැක.

2006 වසරේ උසස් පෙළ ශිෂ්‍යාවකව සිටින අවධියේ චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ මනාප ප්‍රේම ටෙලි නාට්‍යයේ හාපුරා කියා ගුරුවරියකගේ චරිතයක් රඟපෑ නදීෂා ටෙලි නාට්‍ය රංගනයේ දොරටු විවර කර ගත්තාය. ඉන් පසු මාපිටිගම අධ්‍යක්ෂණය කළ සුන්දරයි ප්‍රේමය මෙගා ටෙලි නාට්‍යයට නිශානි නැමැති දඟකාර තරුණියකගේ චරිතයක් රඟමින් ප්‍රේක්ෂකයන් අතරට එක් වූවාය.

විමලරත්න අධිකාරිගේ ඉසිවර රණකෙලි, අනුර මාධව ගේ වීදිය බණ්ඩාර ආදි ටෙලි නාට්‍ය කිහිපයකටම පසුව ඇය දායක වූවාය. බර්නාඩ් ෂෝ ප්‍රේමසුන්දර, මහේෂ් නිශාන්ත, පවර සුජිත් මාරඹගේ ගේ නිශ්චල කැමරා කාචයේ සටහන් වූ නදීෂාගේ රුවෙන් පුවත්පත් මුල් කවර සැකසෙන අතරේ නදීෂාට චිත්‍රපට රංගනයට දොරටු විවර වූයේ ඩොනල්ඩ් ජයන්ත හා ඉන්දියානු අධ්‍යක්ෂ සරෝ සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ප්‍රවේගය හා ඩොනල්ඩ් ජයන්ත හා ඉන්දියානු අධ්‍යක්ෂ අරුමෝගන් සම අධ්‍යක්ෂණය කළ මායා චිත්‍රපට සඳහා හාපුරා රංගනයෙන් දායක වන ඇය චිත්‍රපට රංගනයේ ද කැපී පෙනෙන රංගනයක නියැලේ.

මුල්ම චිත්‍රපට රංගනය ඇතුළත් ප්‍රවේගය චිත්‍රපටය තිරගත වීමටත් කලින් වෙනත් චිත්‍රපට සඳහා ද ඇයට ආරාධනා ගලා එන්නේ මේ අතරය. ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණය කළ අන්දුන් කුන්දුන් චිත්‍රපටය සඳහා ද ඇය රංගනයෙන් මේ වන විට දායක වී සිටින්නීය.

තම පියාණන් වූ සුනිල් පයාගල නිෂ්පාදනය කළ සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කළ ආගන්තුකයාගේ ප්‍රේමය ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් එක්වන නදීෂා ගැමි චරිත නිරූපණයට වඩාත් කැමැත්තක් දක්වයි.

මගේ රංගන දිවියේ ගුරුවරයා වුණේ චන්ද්‍රරත්න මාපිටිගම මහත්තයා. එතුමා තමයි මගේ සැඟවුණු දක්ෂතා ඔප මට්ටම් කරලා එළියට ගත්තේ. මුලින්ම කැමරාවක් ඉස්සරහා රඟපාන එක මට නුහුරු අත්දැකීමක් වුණා. මගේ මුල්ම රංගනයේ ඉඳලා මට රඟපාන්න ලැබුණේ රංගනයේ නියැලි ප්‍රවීණයන් සමඟ. ඒ අයගෙන් ලැබුණු ගුරුහරුකම් මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. අදටත් මම ප්‍රසිද්ධ වේදිකා නිර්මාණයන්ට දායක වෙලා නැහැ. තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලට දායක වන අතරේ වෘත්තීයම වශයෙන් රංගනයට නොයා විනෝදාංශයක් ලෙස රංගනයේ නියැලෙන්න තමයි මගේ ආශාව.

මට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරනවා. ඒ සඳහා උපරිම කැප කිරීමක් කළ යුතු වෙනවා. ඒ කැප කිරීම හරියට කළොත් අපිටත් හොඳ අනාගතයක් තියේවි. අම්මා, තාත්තා, මල්ලි, මාමා මේ හැමෝම නිදිමරාගෙන වෙහෙස නොබලා මා වටා දිරිය පවුරක් වී සිටින්නේ මගේ හැකියාවන් ඉදිරියට ගෙනි යන්න. ඒ අය වගේම මට මෙතනට එන්න උදවු කළ හැමෝමත් මේ වෙලාවේ ස්තුති පූර්වකව සිහිපත් කරනවා.