වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




ෆෝන් එක ගෙදර දමා ඇවිත්  ධනුක රසිකයන් නැතුව අතරමං වෙලා

ෆෝන් එක ගෙදර දමා ඇවිත්  ධනුක රසිකයන් නැතුව අතරමං වෙලා

පුංචි තිරයේ තූර්යාට කුසල් වෙමින් ආදර සංධ්වනියක් සොසා ගිය හැඩකාර තරුණයා අවිහිංසක සිනහවද සමඟින් සරසවියට පැමිණියා. ධනුක දිල්ෂාන්,

‘හිමි වුණු ඔබ මට අහිමි වෙලා

කොහොමද වාවා ඉන්නේ මා.....

මේ දිනවල අතිශය ජනපි‍්‍රය මංජුල ගේ ගීතයේ අවිහිංසක තරුණයා වූ ධනුක ගේ රංගනය ගැන කතා කරමින් සිටි අපේ පාඨක පිරිසට ධනුක ගේ පැමිණීම සතුට දෙගුණ තෙගුණ කළා.

‘අනේ හැමෝම මට සමාවෙන්න පොඩ්ඩක් නින්ද ගියා. ඔයාලා නිසාම ඊයේ රෑම කුරුණෑගල ඉඳලා ආවේ. ෂූටිං නවත්තලා සරසවිය පත්තරේ තරු මිහිරට ආපු ඔයාලා මට හඳුන්වලා දෙන්නකෝ.’

මම මධූකා, ඉන්නේ බොරැල්ලේ. මම ස්මයිල් සරීෆ්. මේ මගේ නංගි ගේ පුතා ෂේහාන්. මම උදානි, ආවේ ජා ඇල ඉඳන්. මම හේමසිරි නිට්ටඹුවේ ඉඳන් උදේම ආවේ. අයියේ ඔයා රඟපෑමට පිවිසුණේ කොයි කාලෙද? ධනුකගේ ආගමනය ගැන සතුටින් සිට මධුකා ගේ පළමු පැනය එයයි.

පැසැලේ හතර වසරෙ ඉඳලම රඟපානවා.

එතකොට පැසැල මොකක්ද? ඒ උදානියි.

මම ඉගෙන ගත්තෙ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ. පොඩි කාලෙ ඉඳලම නාට්‍ය හා කලා පසුබිමක් තියෙන නිසා ඒ පැත්තට යොමු වුණා.

නාට්‍ය හා රංග කලාව ගැන හදාරලා තියෙනවද?

ඒ සරීෆ් ගේ ප්‍රථම පැනයයි.

ඔව්, විවිධ ගුරුවරුන් යටතේ හදාරලා තියෙනවා.

එතකොට උසස් පෙළටත් නාට්‍ය හා රංග කලාවද කළේ.

අනේ නැහැ. මම වාණිජ අංශයෙන් උසස් පෙළ හැදෑරුවේ.

මල් මල් හසරැල්ල පාලා - නිල් නිල් නීල නෙතු සඟවලා

සිත් සිත් සිත් සිතට දුක් ගිනි දීලා...

පිටුපාලා යන්නේ නෑ ඔයා හැරදාලා....

මේ දිනවල චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගේ ජනපි‍්‍රයම ගීතය මුමුනමින් උදානි ධනුක දෙසට ගියා.

ඒ සින්දුවේ ඔයා ලස්සනට ඩාන්ස් කරනවා. ඔයා නැටුම් ඉගෙන ගත්තද?

නෑ, ඒ වුණාට මේ ළඟදී ටිකක් ඉගෙන ගත්තා.

එහෙනම් අර දෙරණ සිටි ඔෆ් ඩානස් එකේ ඔයා ලස්සනට ඩාන්ස් කළේ.

ඒකනේ මම කිව්වේ ටිකක් ඉගෙන ගත්තා කියලා.

ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියන්නකෝ....?

ඒ උදානිගේ ඉල්ලීමක්.

අම්මයි, තාත්තයි, මමයි නංගියි. ගෙවල් තියෙන්නේ දෙමටගොඩ, අර ගුවන් පාලම ළඟ තියෙන එපාර්ට්මන්ට් එකේ.

ඔයයි තිසුරියි, අර තූර්යා නාට්‍යයේ වගේ ඇත්තටම පෙම්වතුන් වුණොත් හරියටම ගැළපෙනවා.

අනේ එහෙම හීනෙන්වත් හිතන්න එපා. තිසුරියි මමයි හොඳ යාළුවොනේ.

එහෙනම් දැනට පෙම්වතියක් ඉන්නවද? මේ මම කිව්වේ එහෙම හිතගිය කෙනෙක්.... උදානි ඇසුවේ ධනුකගේ නෙත් දිහා බලන ගමන්.

එහෙම කෙනෙක් ඉස්සර නම් හිටියා. හැබැයි දැන් නම් මට පෙම්වතියක් නැහැ. මම දැන් නිදහස් කුරුල්ලෙක්.

මොකද උදේ ලේක්හවුස් එක ඇතුළේ අතරමං වුණා කිව්වේ. සරීෆ්ගෙන් නැවත ප්‍රශ්නයක්.

නෑ මම ෆෝන් එක ගෙදර දාලා ඇවිත්. සරසවියේ කර්තෘ තුමාටවත් කතා කරන්න විදියක් නැහැ. ඉතිං සරසවිය ඩිපාර්ට්මන්ට් එක හොය හොයා ලේක්හවුස් එක ඇතුළේ පැය භාගයක් විතර කරකුණා. වෙලාවට මම කළුපාට කැප් එකක් දැම්මේ. එතකොට කාටවත් මාව අඳුරන්න බැහැ.

දැන් ටෙලි නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද?

දහයක පහළොවක විතර. ළඟදී මැලේසියාවේ ටෙලි නාට්‍යයක් රූගත කරනවා. ඒක ටිකක් වෙනස්ම එකක් වේවි.

ඔයාට නටන්න පුළුවන්, රඟපාන්න පුළුවන්. අනේ අපිට ලස්සන සිංදුවක් කියලා පෙන්නන්නකෝ අයියේ? ඒ ඉල්ලීම මධූ ගෙන්.
 

පායා ඇයි හිනැහෙන්නේ.... නිල් ගුවනේ තරු ....

ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ...

නිල්වන් දෙනෙතේ කාන්තී....

එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීතයක් ඉතාම ලයාන්විතව ධනුක ගායනා කළේ සියල්ලන්ගේම සිත් සතුටු කරමින්.

ඔයා රඟපාන්න කැමතිම නිළිය කවුද? හේමසිරි ගෙන් පැනයක්.

මාලිනී ෆොන්සේකා, රම්‍යා වනිගසේකර, දමයන්ති ෆොන්සේකා.

ඔයා ආඩම්බරද අයියේ....?

අනේ නැහැ. මගේ රඟපෑම තියෙන්නේ කැමරාව ඉස්සරහා විතරයි. ඉන් එහාට රඟපෑම නැහැ. මොකටද අපි ආඩම්බර වෙන්නේ.

ඔයා කැමතිම නළුවා කවුද?

ගාමිණී ෆොන්සේකා මගේ පි‍්‍රයතම රංඟන ශිල්පියා.

තවම චිත්‍රපටයක රඟපාලා තියෙනවද?

තවම නම් එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙම චිත්‍රපටයක රඟපානවා නම් ටිකක් අධ්‍යයනය කරලා රඟපාන්න ඕනැ.

සරසවියේ තිලානි ලහි ලිහියේ සූදානම් කළ බිස්කට් සහ තේ පැන් ධනුක අතින් මේ පිරිසට ලබා දුන්නේ සැමගෙන්ම ලද උණුසුම් හාද්දක් ද සමඟිනි.

තරු මිහිරේ ත්‍යාග අනුග්‍රාහකයා වූ ‘ලක්සළු සල’ තෑගි ලබාගත් ධනුක ඒවාද තම රසික හිතවතුන්ට ලබා දුන්නේ අපමණ සෙනෙහසිනි.

මෙතෙක් වේලා සඟවාගෙන සිටි යමක් ධනුක එළියට ගත්තේ හරිම පරෙස්සමෙන්. ඒ ඔහුගේ අත්සන යෙදූ ඡායාරූප කිහිපයකි. එය සිහිවටනයක් ලෙස තබා ගන්නට තම හිතෛෂීන්ට ලබා දුන්නේ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ගමන්ය.

පැය දෙකකට අධික කාලයක් මේ සුහද කතා බහ ඇදී ගියේ උතුරා යන සෙනෙහසක් ද සමඟිනි.

ඇහි දාර මත – දුක දෝර ගැලුවට

සේනානායක වේරලියද්ද ගයන ගීතයේ රූපමය ජවනිකාව ද සිහිපත් කරමින් සැවොම තුටු කළ ධනුක සරසවිය පාඨකයන් වූ ඔහුගේ රසිකයන්ට සමු දුන්නේ හදපිරි සෙනෙහසිනි.