වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




හයිවේ එකේදී චමින්ද ලෙස්සලා

හයිවේ එකේදී චමින්ද ලෙස්සලා

කොට්ටාව අධිවේගී පිවිසුමෙන් ඔහු තම රථය ඇතුල් කරන්නේ දහසක් දේ සිත්හි රඳවාගෙනය. තමාට පැවරී තිබූ වගකීම හා රාජකාරිය නිසාම රථයේ කවුළුව මෑත් කළේ ද යාන්තමිනි. සර් චෝගම් යනවා වගේ . . . ඔහු හඳුනා ගත් කවුන්ටරයේ සිටි තරුණ නිලධාරියා පැවසුවේ ලෙන්ගතුª සිනහවකින් මුව පුරවාගෙනය. ඔව්. ගාල්ලේ උත්සවයකට. ඔහු පැවසුවේ මඳකට කල්පානවෙන් මිදෙමිනි.

සුබ ගමන් . . . නිලධාරියාගේ ආමන්ත්‍රණයෙන් පසු ගමන ඇරැඹුවේ හිරු පොද වැස්ස යාන්තමින් පොළව තෙත් කරද්දීය. ඔහු පානදුර පිවිසුමට ළං වෙන විට මඳ වැස්ස මොර සූරන වර්ෂාවක් වී තිබිණි. රථයේ වේගය අඩු කළ යුතු බව හැගුණත් තමාට පැවරී තිබූ රාජකාරිය නිසාම එය ඔහුට අමතක වී ගොසිනි. ‘මම ටිකක් වේගය වැඩි කළා. ඒ එක්කම මට තේරුණා වාහනයේ වෙනසක් . . . ඒත් ඒ ගැන නොසිතාම මම ඉදිරියට ගියා. වාහනේ ලිස්සලා ගිහින් පාරේ අද්දර තියෙන යකඩ බැම්මක වඳිනවා විතරයි මට පෙනුණේ. මම හිටපු තැනත් අමතක වුණා.

හිතට දැනුණ කම්පනය නිසාම මම පොඩ්ඩක් වෙලා ඇස් දෙක වහගෙන ඉඳලා ඇස් ඇරලා බැලුවා. මට කිසිම දෙයක් වෙලා නැහැ කියලා මටම තේරුණා. මොහොතකින් එතනට පොලීසියෙන් ආවා. ඔවුන් දොර ඇරලා මුලින්ම මගෙන් ඇහැව්වේ මට තුවාල ද කියලා. මට කිසිම දෙයක් වෙලා තිබුණේ නැහැ. ඒත් වාහනයට වෙලා තිබුණු හානිය දැක්කහම ඒ අයට අදහා ගන්නත් බැහැ, මට කිසිම දෙයක් නොවුණු එක ගැන. ඇත්තටම මේ සිද්ධියේදී මට කිසිම අනතුරක් නොවුණේ මගේ තියෙන පිං මහිමයකට කියලා මම විශ්වාස කරන්නේ. ජාතික රූපවාහිනියේ චමින්ද ගුණරත්න මේ කතාව අපට කිව්වේ ඔහුගේ සෙනෙහස පිරුණු දෝර ගලා යන කැදැල්ලේ සෙනෙහස ගැන කතා කරන්නට අපි ඔහුගේම රථයෙන් බොරැල්ලෙන් පිටත් වූ මොහොතේදී.

* ඉතිං චමින්ද ඊට පස්සේ චෝගම් ප්‍රදර්ශනයට යන්න බැරි වෙන්න ඇති නේද?

නැහැ . . . නැහැ . . . එතනට ආපු පොලිස් නිලධාරීන් මාව හඳුන ගත්තු නිසා ඒ අය මොහොතකින් ඔවුන්ගේ නිල රථයකින් මාව ගාල්ලේ උත්සවය තිබුණ තැනටම එක්ක ගියා.

* ඊට පස්සේ ඒ වැඩ සටහන කරන්න පුළුවන් වුණාද?

මම කිසිම කලබලයක් වුණේ නැහැ. නියම වෙලාවට කලින් උත්සව භූමියට ගියා. හැබැයි පහුවෙනිදා නම් ටිකක් ඇඟේ අමාරුකම් ටිකක් දැනුණා. බෙල්ල හරවන කොට එහෙම ටිකක් රිදෙන්න ගත්තා. ඒත් දවස් දෙක තුනකින් මඟ හැරිලා ගියා.

* චමින්දට ළඟදී සම්මාන දෙකක්ම ලැබුණා කියලා දැන ගත්තා. ඒකයි අපි මේ ආවේ.

නැහැනේ . . . මට ළඟදී ලැබුණේ සුමති සම්මානය විතරයිනේ. මොකක්ද අප්පා මමවත් නොදන්න ඔය අනිත් සම්මානේ. . .

* ඇයි ඔයගොල්ලන්ගේ පුංචි කැදැල්ලට ආපු අලුත් අමුත්තා?

ඇත්තම තමයි . . . මට ඒ ගැන සරසවියට කියන්න බැරි වුණානේ. දැන් අපේ පුංචි පැටියාට මාසයයි.

මේ තොරතුරු කතා කරමින්ම අප ඔහුගේ මාලඹේ පිහිටි නිවෙසට ළං වී තිබිණි.

අපේ ගෙදර වැඩ නම් තාම ඉවර නෑ. ඉනෝකාට බබා ලැබෙන්න හිටිය නිසා මේ වැඩ ඔක්කොම නතර වුණා. සුපුරුදු සිනවකින් මුව රඳවාගෙන ඔහුගේ බිරිය අප හමුවට ආවේ චමින්ද අතේ රැඳි බඩු මල්ලත් රාජකාරී බෑග් එකත් අතට ගනිමිනි.

නිසල පරිසරයක ඉදි වූ ඒ කැදැල්ලේ නිහඬ බව බිඳින්නට චමින්දගේ ආදරණීය දූ සිඟිත්තිය ආගන්තුක අපේ පැමිණීම නිසාම තරමක විමසිල්ලෙනි.

‘තාත්ති කවුද මේ අන්කල්ලා’ ඇය විමසන්නේ සුරතලයෙන් ඔහුගේ ඇඟේ දැවටෙමිනි.

‘මේ අන්කල්ලා ඇවිත් ඉන්නේ අපිව ෆොටෝ ගන්නනේ’

‘ඇයි තාත්තිගේ ෆොටෝ ගන්නේ. තාත්ති හැමදාම ටී වී එකේ ඉන්නවානේ’

‘නැහනේ දෝණි . . . දෝණිවයි මල්ලි බබාවයි අම්මවයි ඔක්කොම අය තියලා ෆොටෝ එකක් ගන්න ඇවිත් ඉන්නේ. ඒ හින්දා ඔයා හොඳ ගවුමක් දාගෙන එන්නකෝ’

* ඒ අතර අපගේ කතාව නැවතත් පටන් ගත්තේ චමින්දගේ මාධ්‍ය ජීවිතය ගැනය . . .

ඇත්තටම නුවර කුකුල්ඔය ඉපදිලා. පුංචිම තැනකින් පටන් අරගෙන වසර දහයක් වගේ කාලයකින් මේ ක්ෂේත්‍රයේ සම්මාන හයක්ම මට ලැබීම තරමක දෛවෝපගත වාසනාවක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේම රටේ තිබෙන ප්‍රබලතම ජාතික මාධ්‍ය ආයතනයක නිෂ්පාදකවරයකු වීම ඒ අභියෝගාත්මක ගමනේ ප්‍රතිඵලයක්.

* ඒ කියන්නේ චමින්දට මේ ගමන එන්න සෑහෙන කැප කිරීමක් කරන්න වෙන්න ඇති . . .

ඒක කැප කිරීමක් කියනවාට වඩා මගේ සැඟවුණු හැකියාවට නියම ප්‍රවිශ්ටයක් ලැබුණා කිව්වොත් හරි. ඒ කියන්නේ මම ඉපදුණේ නුවර මැණික්හින්න කුකුල්ඔය කියන දුෂ්කර ගම් පියසක. මගේ තාත්තා මිය ගියේ මට අවුරුදු දහයේදී. පවුලේ දරුවෝ තුන් දෙනෙක් පාසල් යවන්න තිබුණු ආදායම පුංචි ඉඩම් කැබැල්ලක්. ඒත් අපේ අම්මා සෑහෙන වෙහෙසක් අරගෙන අපට උගන්වන්න මහන්සි ගත්තා. මුලින්ම මම පාසල් ගියේ ලුණුකැටිගාමඩිත්ත මහ විද්‍යාලයට. උසස් පෙළ කළේ මැණික්හින්න වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ. මම පුංචි කාලේ පටන්ම එනවුන්ස් කරන්න ආසාව තිබුණා. ඒ නිසාම ඉස්කෝලේ විවාද කණ්ඩායමේ, සමස්ත ලංකා කථික තරග ජය ගත්තා. එනවුන්ස් කරන්න තියෙන ආසාව කොයි තරම් ද කියනවා නම් අපේ ගෙදර පරණ කැසට් එකක් තිබුණා. උදේට තිස්ස ජයවර්ධන මහත්තයාගේ ප්‍රවෘත්ති යන කොට ඒක කැසට් එකේ රෙකෝඩ් කර ගන්නවා. හවසට ගෙදර ආපු වෙලාවේ ඉඳන් කරන්නේ මේ කැසට් එකේ තියෙන නිවුස් කොළයක ලියාගෙන ඒ විදිහට කියවන එක. මගේ මේ හැකියාව චැනල් අයි නාලිකාවේ නිමල් ඒකනායක මහත්තයා හඳුනා ගත්තා. ඔහු මාව එක් කරගෙන ඇවිත් සහන නිවේදකයෙක් විදියට වැඩ කරන්න අවස්ථාව ලබා දුන්නා.

* ඔය අවස්ථාව උදා වුණේ කොයි කාලෙදී ද?

මට 2001 දී තමයි චැනල් අයි නාලිකාවේ සිංහල ප්‍රවෘත්ති කියන්න අවස්ථාව ලැබුණේ. ඒකේ ස්ක්‍රීන් ටෙස්ට් එක සමත් වුණා. ඉන් පස්සේ සතියේ පුවත් කියන්න අවස්ථාව උදා වුණා. මේ කාලේ කොළඹ ජීවත්වෙන්න මුදල් මදි නිසා ගුවන් විදුලියේ පවන නාලිකාවේත් වැඩ කළා.

* එතකොට ඔබ පූර්ණකාලීන නිවේදකයකු වුණේ?

මට ඒක හොඳට මතකයි. 2005 නොවැම්බර් මාසයේ 08 වැනිදා තමයි මුලින්ම රාත්‍රී 8.00 ට ප්‍රවෘත්ති කීමේ අවස්ථාව ලැබුණේ. එදා පටන් අද දක්වාම ජාතික රූපවාහිනියේ නිවේදකයකු ලෙස කටයුතුª කිරීමට අවස්ථාව ලැබුණා. මේ කාලය තුළ මට හොඳ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසත් වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසත් සම්මාන හයක්ම ලැබිලා තියෙනවා. සුමති, රූපවාහිනී රාජ්‍ය සම්මාන, ජාතික ජනමාධ්‍ය සම්මානය යන සම්මාන උළෙලවල්වලදී මට සම්මාන ලැබිලා තියෙනවා.

මේ කතාව අතරේදී චමින්දගේ දයාබර බිරිය ඉනෝකා කුලතුංගත් එකතු වුණේ අලුත උපන් දරු සිඟිත්තත් දෑතට තුරුළු කරගෙන.

* ඉතිං නංගි කියන්නකෝ තොරතුරු . . . කොහොමද?

මේ දවස්වල නම් නිවාඩු. අපි මැරි කෙරුවාට පස්සේ මට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රස්සාවක් ලැබුණානේ. ඇත්තටම චමින්ද අයියාගේ අවිවේකී ජීවිතයත් එක්ක දවස ගෙවෙන්නේ හරිම වේගයෙන්. පමලී දුව ලැබුණාට පස්සෙක් අපි මාලඹේට ආවේ අපේ රැකියාවට යන්න පහසුවත් ගැන හිතලා. අපේ අම්මයි, චමින්ද අයියගේ අම්මයි දෙන්නම ඉන්න නිසා දරුවෝ බලාගන්න පහසුයි. නැත්නම් මට ගෙදර නතර වෙන්න වෙනවා.

* චමින්ද වගේ සැමියෙක් ලැබීම ගැන ඔයාට මොකද හිතෙන්නේ?

අපි මැරි කලේ ප්‍රොපෝසල් එකකින්. ඒත් අපට දෙන්නගේ තියෙන ගැළපීම හිතා ගන්න බැරි තරම්. මාධ්‍ය ජීවිතයේ අයියාට තියෙන වගකීම මට හොඳට තේරෙනවා. වචනයක් වැරැදුණොත් මුළු රටම එයා දිහා බලාගෙන ඉන්න බව දන්නවා. ඒ නිසා හොඳ මානසිකත්වයකින් වැඩ කරන්න එයාට නිදහස් මනසක් හදලා දෙන්න තමයි මම හැම මොහොතෙම හිතන්නේ.

* කාලය කෙමෙන් ගෙවී තිබුණි. සැඳෑව ළං වෙද්දී චමින්දගේ නිවහනෙන් නික්මෙන්නට පෙර චමින්දගෙන් යමක් විමසන්නට සිත් වූයේ ඔහු සමඟ වූ සහෘද බැඳීම නිසාමය. චමින්ද ජාතික රූපවාහිනියේ වගේ ආයතනයක මේ වගේ කාලයක් ඔබේ හැකියාවන් පෙන්වන්න පුළුවන් වුණේ කොහොමද?

නිවේදකයකු කියන්නේ අවශ්‍ය දේ අවශ්‍ය තැනදී කතා කිරීමයි. ඒ නිසාම තමයි මට රටේ සිදුවුණු වැදගත් සිදුවීමක්ම සජීවී ලෙස වාර්තා කරන්න ජාතික නාලිකාවේ මට අවස්ථාව ලැබුණේ.

* ඒ අතුරින් ඔබට ලැබුණු වැදගත් අවස්ථාව කුමක් ද කියලා හිතෙන්නේ?

එහෙම බැලුවොත් හිතාගන්න බැරි ප්‍රමාණයක් තියෙනවා. ඒ අතුරින් මේ රටම බලා සිටි අවස්ථාවක් තමයි ප්‍රභාකරන් මිය ගිය ප්‍රවෘත්තිය ප්‍රකාශ කිරීම. ඒ වගේම ජනාධිපතිතුමා ජාතිය අමතන අවස්ථාව. මේ දෙකම මට රටටම කියන්න අවස්ථාව ලැබුණා.

චමින්ද සමඟ සහෘද මාධ්‍ය මිතුරකු ලෙස කතා කිරීමට බොහෝ දේ ඉතිරිව තිබියදී අප ඒ නිවහනෙන් සමු ගත්තේ චමින්දගේ දයාබර දූ සිඟිත්තියගේ සුරතල් තෙපුලින් නැවතත් අප සිනහවේ රඳවමිනි. ඒ පමලී බබාගේ පිංතූරයක් ටීවී එකේ දාන්න යැයි අපෙන් කළ ඉල්ලීම සමඟිනි.