වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




කිතු උපත සැමරූ හොඳම චිත්‍රපට

කිතු උපත සැමරූ හොඳම චිත්‍රපට

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොවට පහළ වූ දින මහා මන්දිරයේත්, දුගී පැල්පතේත් අඳුර එක ලෙසම දුරු වූයේය. මේ ආලෝකයෙන් සිනමාව ද ඒකාලෝක වූයේ අදක ඊයෙක නොවෙයි. විසි වැනි සියවසේ අරම්භය තරම් ඈත අතීතයේ සිටය.

සිනමාව අලුත් අත්දැකීමක් වී තිබූ 1902 තරම් ඈත අතීතයේදී ‘ද ලයිෆ් ඇන්ඩ් පැෂන් ඔෆ් ජීසස්’ මුලින්ම ජේසු තුමාගේ චරිතය ඇසුරින් නිර්මාණය වූයේය. 1902 වසරට පසු පුරා වසර තුනක් මේ සිනමාපටය වැඩි දියුණු කරන ලදී. 1905 වසරේදී නැවත තිරගත වූයේ ඒ සිනමාපටයයි. එය එකල බිහි වූ දිගම සිනමාපට අතරින් එකකි. ‘ද ලයිෆ් ඇන්ඩ් පැෂන් ඔෆ් ජීසස් ක්‍රයිස්ට්’ ප්‍රංශ සිනමා නිෂ්පාදනයකි.

‘ද කිංග් ඔෆ් කිංග්ස්’ (1927) සිසිල් බී. ඩිමිලේගේ විශිෂ්ටම සහ අවසාන නිහඬ සිනමාපටයයි. හැටේ දශකය වන තුරු ජේසු තුමාගේ චරිතය ඇසුරින් බිහි වූ සාර්ථකම සිනමාපටය වී තිබුණේ මෙයයි.

‘ද ගොස්පල් අකෝඩිං ටු සෙන්ට් මතෙව්’ ඉතාලියානු සිනමාපටය නිර්මාණය වූයේ 1964 වසරේදීයි. එයට ගෝල්ඩන් ලයන් සහ ඕ සී අයි සී සම්මාන උළෙලේදී විශේෂ ජූරි සම්මාන හිමි විය. 1966 වසරේදී අමෙරිකාවේ සිනමාපටය තිරගත වූ අතර ඇකඩමි සම්මාන තුනකට ද නිර්දේශ විය.

1965 වසරේදී තිරගත වූ ‘ද ග්‍රේටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ්’ විචාරක, ප්‍රේක්ෂක අගැයුමට ලක් නොවූ සිනමාපටයකි.

ජේසු තුමා ගැන ගෙතුණු සංගීතමය සිනමපට තුනෙන් එකක් වනුයේ ‘ගෝඩ්ස්පෙල්’ (1973) සිනමාපටයයි. 1973 දී ‘ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්’ සංගීතමය සිනමාපටය බ්‍රිතාන්‍ය නිර්මාණයකි.

‘ද මෙසියා’ (1975) කිතුනු විශ්වාසයට වඩා සහෝදරත්වය විෂයය කරගත් සිනමාපටයකි. 2007 වසරේදී ද මේ නමින්ම කිතුනු සිනමාපටයක් තිරගත විය.

ජේසු චරිතය වටා ගෙතුණු විශිෂ්ටම සිනමාපටය කියා බොහෝ දෙනකු සලකන්නේ ‘ජීසස් නසරත්’ (1977) ය. සිනමාපටය පැය හයාමාරක් දිගුය. ‘ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ක්‍රයිස්ට්’ 1988 දී එම නම ඇති කෘතිය ඇසුරින් නිර්මාණය වූ සිනමා සිත්තමකි. මෙය ඇකඩමි සම්මාන සඳහා ද නිර්දේශ විය. වසර 1999 දී තිරගත වූ ‘ජීසස්’ මිනිස්කමේ අගය ලොවට ඉතා ප්‍රබල ලෙස පෙන්නූ සිනමාපටයකි.

‘ද මිරැකල් මේකර්’ (2000) සජීවිකරණ තාක්ෂණය මිශ්‍ර කළ කිතුනු සිනමාපටයකි. ‘ද ගොස්පල් ඔෆ් ජෝන්’ (2003) නිර්මාණය ද ඇගැයුමට ලක් විය. 2004 වර්ෂයේදී තිරගත වූ මතභේදයට ලක් වූ ක්‍රිස්තු චරිතය ඇසුරින් ගෙතුණු සිනමාපටය මෙල් ගිබ්සන්ගේ ‘ද පැසන් ඔෆ් ද ක්‍රයිස්ට්’ය.

ජේසු තුමාගේ චරිතයට පණ පෙවූ රංගනවේදියෝ:

* ‘ද කිංග් ඔෆ් කිංග්ස්’ – එච්. බී. වෝනර්

ජේසු තුමාගේ චරිතයට පණ පෙවූ නළුවන්ට ඇත්තේ අඩු ආයු කාලයක් කියා මතයක් තිබුණ ද එච්. බී. වෝනර් වසර 83 ක ආයු කාලයක් භුක්ති විඳ තිබේ.

* ‘ද ගොස්පල් අකෝඩිං ටු සෙන්ට් මතෙව්’ – එන්රික් ඉරසොකුයි

ස්පාඤ්ඤ නළුවකු වූ ඔහු දැන් හැට නව හැවිරිදිය.

* ‘ද ග්‍රේටස්ට් ස්ටෝරි එවර් ටෝල්ඩ් – මැක්ස් වොන් සිඩෝ

ස්වීඩන් ජාතික රංගවේදියකි. අසූ හතර හැවිරිදි ඔහු ‘එක්ස්ට්‍රීමිලි ලවුඩ් ඇන්ඩ් ඉන්කෙඩිබ්ලි ක්ලෝස්’ (2012) රංගනයට ඇකඩමි සම්මාන සඳහා ද නිර්දේශ විය.

* ‘ගෝඩ්ස් පෙල්’ – වික්ටර් ගාබර්

කැනේඩියානු රංගවේදී වික්ටර් ගාබර්ගේ පළමු රංගනය ගෝඩ්ස්පෙල්ය. ඔහු හැට හතර හැවිරිදි වියේ පසු වෙයි. ටයිටැනික්, ආගෝ වැනි සිනමාපටවල ද වික්ටර්ගේ රංගනයන් දැක ගත හැකි විය.

* ‘ද මෙසායා’ (1975) – පියර් මාරියා රෝසි

ඔහුගේ කුලුඳුල් රංගනය ඇතුළත් වූයේ මේ සිනමාපටයටයි.

* ‘ද මෙසායා’ (2007) – ඉරාන නළු අහමඩ් සුලේමානි නියා.

* ‘ජීසස් ඔෆ් නසරත්’ - රොබට් පවල්

දැන් හැට නව හැවිරිදිය. ඉංග්‍රීසි ජාතික නළුවෙකි.

* ‘ජීසස්’ - ජෙරම් සිස්ටෝ

අමෙරිකානු නළුවෙකි. තිස් නව හැවිරිදිය. ඔහු 1999 දී ක්‍රිස්තුª චරිතය රඟපෑමට පෙර 1995 දී ‘හයිඩ්අවේ’ සිනමාපටයේ මිනීමරුවකු ලෙස හාත්පසින්ම වෙනස් චරිතයක් රඟපා තිබිණි.

* ‘ද මිරැකල් මේකර්’ - රැල්ෆ් ෆීනස්

බ්‍රිතාන්‍ය නළුවකු වූ රැල්ෆ් ඔස්කාර් සම්මානයට පවා නිර්දේශ වූ නළුවෙකි. පනස් එක් හැවිරිදි ඔහු නවතම බොන්ඩ් සිනමාපටය වූ ‘ස්කයිෆෝල්’, ‘මැග් විච්’, ‘ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්’ රංගනයන්වලින් ද මෑතකදී ජනප්‍රිය විය.

* ‘ද පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට්’ – ජිම් කැවීසල්

හතළිස් පස් හැවිරිදි අමෙරිකානු නළුවා වඩාත් ජනප්‍රිය වූයේ ‘ද පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට්’ රංගනයෙනි.

* ‘ද ගොස්පල් ඔෆ් ජෝන්’ - හෙන්රි ඉයන් කුසික්

හතළිස් හය හැවිරිදිය.

* ‘ජීසස් ක්‍රයිස්ට් සුපර් ස්ටාර්’ – අමෙරිකානු නළු ගායක ටෙඩ් නීලේ

දැන් 70 හැවිරිදිය. අදටත් ඔහු වඩාත් ප්‍රසිද්ධ ක්‍රිස්තු චරිතය නිසයි.