වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




එදත් අදත් ඩ්‍රම්ස් මහින්ද මමයි

එදත් අදත් ඩ්‍රම්ස් මහින්ද මමයි

මහින්ද සිල්වා ගේ සිත ගායනයට ලොබ බැඳ තිබුණේ පාසල් අවදියේ සිටය. ජෝතිපාලයන් ගී ගයන අයුරු ඇසිපිය නොහෙලා බලාසිටි හෙතෙම කවදා හෝ එවන් චරිතයක් වීමට සිහින මැව්වේය. මහින්ද ගේ අසල්වැසියාද කලා සහෘදයෙකි. ඔහු නමින් උපාලි කන්නන්ගර විය. උපාලිටත් සංගීත උණ දැඩිව තිබුණ නිසා එවකට මහින්දත් උපාලිත් සංගීතය ඔස්සේ ඉදිරිය දැකීමට පෙරමග සලකුණු සොයමින් සිටියෝය.

ඇත්තටම ඒ කාළේ පුදුම සුන්දරත්වයකින් පිරුණු යුගයක්. උපාලිත් මමත් දැඩි සංගීත ලෝලියෝ. අපි එකතුවෙලා පුංචියට වාදක මණ්ඩලයක් හදන්න තීරණය කළා. උපාලිගෙ අම්මා තමයි නිකමට මාව ඩ්‍රම්සෙට් එකේ වාඩි කෙරෙව්වේ. හැබැයි මට කිසිදු නුපුරුදු ගතියක් දැණුනෙ නෑ. ස්ට්‍රික් දෙක අතට අරන් ප්ලේ කළා. රිදම් එක මගේ ඇඟේ තිබුණු නිසා ඕනෑම තාලයක සිංදුවකට ඩුම්ස් ප්ලේ කරන්න මට පුළුවන් වුණා.

අන්න එහෙමයි ඔහු ගේ ගමන ඇරඹෙනුයේ. ක්‍රම ක්‍රමයෙන් මහින්ද ලංකාවේ සිටින කීර්තිමත් ඩ්‍රම්ස් වාදකයකු බවට පත් වුණේය. ඔහු ඩ්‍රම්ස් වාදනයට කෙතරම් හපන්කමක් දැක්වීද යත් පසුකාලීනව ඔහුට විරුදාවළියක් ද හිමි විය. ඒ ඩ්‍රම්ස් මහින්ද නමිනි.

ඉස්සර මහින්ද සිල්වා කිව්වට සමහර අය දන්නේත් නැහැ. ඩ්‍රම්ස් මහින්ද කිව්වමයි ඕනකෙනෙක් හඳුනන්නේ. මාව ජනපි‍්‍රය සංගීත කණ්ඩායම්වලට හඳුන්වා දෙන්නේ ඉන්ද්‍රාණි පෙරේරාගේ තාත්තා.ඒ ත්‍රී සිස්ටර්ස් ප්‍රමුඛ සුපර් ස්ටාර්ස් කණ්ඩායම හරහා. ඉන්පසු මධාරා, සියැක්, සන්ෆ්ලවර්ස් වැනි වාදක මණ්ඩලවල හිටියා. මේ තමයි සුදුසුම වෙලාව ක්ලැරන්ස් විජේවර්ධනයන්ව මතක් කරන්න. මධාරා සංගීත කණ්ඩායමේ ඉන්නකොට ඔහු මට ගොඩක් උදව් කළා.

මහින්ද වැඩියෙන්ම ආසකරලා තියෙන ඩ්‍රම්ස් වාදන ශිල්පියා සුසිල් පෙරේරායි. ඒ වගේම ශ්‍රී කාන්ත දිසානායක ගෙන් ඔහු ඒ පිළිබඳ වැඩිදුර හදාරා තිබෙනවා.

ඔවුන්ගෙන් ලද ශිල්පයත් දැනුමත් එක්ක මම මගේ විදිහක් හදා ගත්තා. මම තමයි මුලින්ම තබ්ලා බීට් එකක් ඩ්‍රම්සෙට් එකක් මාර්ගයෙන් වාදනය කළේ. වේදිකාවේ ද වාදනයන් ඉදිරිපත් කරද්දී දැඩි වෙනසක් කළා. සමහරු මගෙන් අහවල් ගීතයට ඔයා හදාගත්තු අහවල් වාදනය ඕන කියපු අවස්ථා ද එමටයි.

ඔහොම ටික කාලයක් ඉඳලා මහින්ද පටන් ගන්නවා ‘සුපර්ස්ටාර්ස්’ සංගීත කණ්ඩායම. ඒ හරහා කැසට් ලෝකය තුළ නැවුම් වූ වෙනසක් ඇති කරන්නට ඔහු සමත් විය.

අපි තමයි ලංකාවේ වැඩිම ප්‍රමාණයක ගායක, ගායිකාවන් එකතුකරලා නොනවතින ගී කැසට් එකක් කළේ. ඒ ගායක ගායිකාවන් පනස් පහක් ගැයූ සංගීත වෙනස. ඒක ඒ යුගයේ අලෙවි වුණේ උණු කැවුම් වගේ. තව ගීත කැසට්පට රාශියකුත් අපි කළා.

වර්තමානය වනවිට මහින්දගේ සුපර්ස්ටාර්ස් බෑන්ඩ් එක නැහැ කියලයි ඇතැමෙක් හිතාගෙන ඉන්නේ. නමුත් ඔහු මේ වනවිටත් එය ඉතාම සාර්ථකව පවත්වාගෙන යනවා.

ඔබ කිව්වා වගේ සුපර්ස්ටාර්ස් ලා නැහැ කියලා හිතාගෙන ඉන්නවා ගොඩදෙනෙක්. මං අදටත් සංගීත කණ්ඩායම කරගෙන යනවා. සංගීත කණ්ඩායම්වල සාමාජිකයන් කැඩීයාම් ඉස්සර ඉඳලාම තිබුණා. ඒක අපිටත් බලපෑවා. අද කලාව ඇතුළේ පිල් බෙදිලා. ඒකයි හේතුව. ඒ බාධක මැද සුපර්්ටාර්ස් අදටත් බැබළෙනවා.

මහින්ද ඩ්‍රම්ස් ගැහැව්වට ගායනයටත් යොමු වුණා. ‘එයා එබිලා බලනවා මුකුළු කරනවා නම් සංගීත කණ්ඩායම් නිතර ගයන එම ගීතය ගයලා තියෙන්නේ ඔහු. මහින්ද ගේ තවත් අලුත් ගීත කිහිපයක් ඉදිරියේ දී නිකුත්වීමට නියමිතයි. ඔහු මේ වනවිට කීර්ති පැස්කුවල් විසින් පවත්වාගෙන යනු ලබන ‘සවුන්ඩ් ඔෆ් මියුසික් ආයතනයේ ඩ්‍රම්ස් වාදනය පිළිබඳ උගන්වනවා.

මහින්ද ගේ දියණියට දැන් අවුරුදු දහයක්. ඇය ද පුංචි වුණත් දැන්මම මහින්ද වගේම ඩ්‍රම්ස් වාදනයට යොමු වෙලා. දියණියව තමන් ගිය මෙඟහිම යවන්න ඔහු හිතාගෙන ඉන්නවා. සංගීතය වෘත්තිය වුණත් මහින්දගේ විමෝදාංශය තමයි ක්‍රිකට් ගැසීම. ඒත් එක්තරා සිද්ධියක් නිසා ඔහුට ඒ විනෝදාංශය අතහරින්න වෙලා. ඔහු අපේ කතාව අවසන් කළේ සිනහමුසු මුහුණින් ඒ මතකය ආවර්ජනය කරන ගමන්. අර්නස්ට් සොයිසා ගේ සංගීත කණ්ඩායමේ ඉන්දැද්දි තමයි මේක වුණේ.

දැන් කාලෙ වගේ නෙවෙයි ඉස්සර හෑන්ඩ් ෆෝන් නැහැනේ. ඒක නිසා ෂෝ එකක් තියෙන දවසට කලින්ම අර්නස්ට් අයියා මාව එක්කගෙන යන්න එනවා. ඔහු එන බොහෝ වෙලාවල්වල මං ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගහනවා. ඉතින් මැච් එක ඉවරවෙනකම් ඔහු මට රව රවා එතැන රැඳිලා ඉන්නවා. ඔන්න එක දවසක් අර්නස්ට් අයියාට තදවෙලා මාව දාලා ගියානේ. මට හරිම අවුල්. ඊට පහුවෙනි දා ඔහු මට හොඳටම අවවාද කළා. එදා ඉඳලා මං මගේ වෘත්තියටයි පළමු තැන දුන්නේ.