වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




අකිල බබෙක් වගේ ඒත් මට හරියට කේන්ති යනවා

අකිල බබෙක් වගේ ඒත් මට හරියට කේන්ති යනවා

ජැක්සන් පුතු අකිල ධනුද්ධරගේ ආදර කතාව

“මැද ගෙදර” සසඳරා වූ යොවුන් සුරූපිණිය අමන්දා නිලුක්ෂිගේ හදවත කියවමු...

ඇය පළමුව නිරූපණ ශිල්පියකු වූවාය. දෙවනුව පිවිසියේ රංගනයටයි. මේ දිනවල මේ සූරුපිණිය “මැදගෙදර” ටෙලි සිතුවමේ සසඳරා වන්නීය. ඊටත් වඩා ඇය සුවිශේෂී වන්නේ ජැක්සන් ඇන්තනීගේ වැඩිමල් පුතු අකිල ධනුද්ධරගේ පෙම්වතිය වීම නිසය.

අමන්දා නිලුක්ෂි අද අපේ කතා නායිකාවය. අකිල අමන්දා ප්‍රේමයේ සුළමුල හෙළිදරව් කරනා අතරතුර සිය කලා ජීවිතයේ තොරතුරු පැවසීමට ඈ අපි හා මෙසේ එක්විය.

* කෙහොමද නිලුක්ෂි...

වරදක් නැහැ. හොඳින් ඉන්නවා.

* ‘මැද ගෙදර’ හැර වෙනත් ටෙලි නාට්‍යවල ඔබ පේන්න නැහැ නේද?

මං හරි අඩුවෙන් රඟපාන්නේ....

* හේතුව?”

මං වැඩිපුරම ආස නිරූපණ ශිල්පිණියක විදිහට වැඩ කරන්න.

සාමාන්‍යයෙන් නාට්‍යයක් බාර ගත්තාම ඒ අය මාස ගණනාවකට කලින් දින දෙනවා. නමුත් ෆැෂන් ෂෝ එකකට කතා කරන්න ඉතාම ඉක්මනින්. ඒ කියන්නෙ හෙට ෂෝ එකක් තියනවා කියලා අද කියන්නෙ. ඉතින් මං වැඩිපුර ආස ඒකට නිසා ටෙලි නාට්‍යය බාර ගන්නේ අඩුවෙන්. එතකොට මට නිදහස තියන හින්දා ෆැෂන් ෂෝවලට ගියහැකි.

* ඉතින් රඟ නොපා හිටියා නම් හරිනේ....?

මං රංගනයට ආවෙ අත්හදා බැලීමක් විදිහට. කැළුම් පාලිත මහීරත්න මහත්මයාගෙ ‘විසුළ අහස යට’ ටෙලි නාට්‍යයෙයි මං මුලින්ම රඟපෑවේ. ඒ අත්හදා බැලීම මට හොඳින් දැනුනා. ආසාවකුත් ඇතිවුණා. ඒත් එය සීමාවකයි මං රංගනයේ යෙදෙන්නේ.

* කොහොමද ඔබට අකිලව මුණ ගැහන්නේ?.

එයා තමයි මාව හොයාගෙන ආවෙ.

* සාමාන්‍යයෙන් පිරිමි ළමයකු ගැහැනු ළමයකුගෙන් ආදරය ඉල්ලද්දි ගැහැනු ළමයා ටිකක් ගණන් උස්සනවා?

මමත් එහෙමයි. එයා මාව මුලින්ම දැකලා තියෙන්නෙ ටී.වී. එකේ ෆැෂන් ෂෝ එකකදි. එවලේ ඉඳලා මාව ෆලෝ කරලා. ගයාන් ශ්‍රීමාල් කියන අයියා හරහා තමයි මාව මුලින්ම කන්ටැක්ට් කරන්න හදලා තියෙන්නෙ. මම ගණන් ගත්තෙ නැහැ. අඩුම තරමෙන් මගෙ දුරකතන අංකයවත් දුන්නෙ නැහැ.

* ඉතින්....?

අකිල අපේ ෂෝ එකක් තියන තැකකට ආවා. මම ගණන් ගත්තෙ නැති නිසා මගෙ තාත්තව යාළු කරගන්න හැදුවා. ඒත් තාත්තා එයාට අහුවුණේ නැහැ.

* අකිල, ජැක්සන් ඇන්තනීගෙ පුතා කියලා දැනගෙන හිටියද?

ඔව්. ඒත් මට ඒක එච්චර ගාණක් තිබුණෙ නැහැ.

* පුදුම ආඩම්බරකාරියක්නෙ ඔයා....?

එහෙම තමයි. ඔන්න එක දවසක් ගයාන් කිව්වා අකිල ඔයාට පිස්සු වැටිලා ඉන්නෙ කියලා. එයා එවෙලෙම කෝල් එකක් අරන් ෆෝන් එක ලවුඩ්ස් දාලා මට අහන්න දුන්නා. අකිල එවෙලෙත් ෆෝස්බුක් එකේ මගෙ පිංතූර බල බලා ඉඳලා තියෙන්නෙ.

* අන්න එතකොට ඔයාගේ සිත සැලෙන්න ඇති?

ඔව්, ටිකක්. අකිල ආවා අපේ තව ෂෝ එකක් බලන්න. එයා ස්ට්‍රේජ් එක ළඟමයි හිටියේ. මට වැඩිය එයා වෙව්ල වෙව්ල හිටියෙ. මට හිනා යන්නත් ආවා. අකිල හරිම අහිංසකයි කියලා තේරුණා. එදා තමයි අපේ දුරකතන අංක හුවමාරු වුණේ.

* එදා ඉඳලද මල් කඩන්නට පටන් ගත්තේ?

එදා නම් පොඩි වෙලාවයි මල් කැඩුවෙ. ඊට පස්සෙ ගජරාමෙට අපි දෙන්නා කතා කරන්නට පටන් ගත්තා.

* ඇයි ඔබේ ජීවිතයට අකිලව ළංකර ගත්තේ?

අකිල හරිම සාමාන්‍ය සරල කෙනෙක් බව මට වැටහුණා. එයා කවදාවත් තාත්තගෙ නම පාවිච්චි කළේ නැහැ තමාගෙ වැඩවලට. එයා මට ගොඩක් ආදරෙයි කියලා තේරුණා.

* ගෙවල් වලින් ඔබ දෙපොළට ආශිර්වාදය ලැබුණද?

ඔව්. මවුපියන් අපට කැමැත්ත දුන්නා.

* ඔයාගේ අනාගත මාමණ්ඩිව මුලින්ම හමුවුණු දවස මතකද?

ඒ මොහොත නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මමයි අකිලයි දෙවනි මනමාලයටයි, දෙවැනි මනමාලිටයි හිටියා යාළුවෙකුගෙ වෙඩින් එකකදි. එතෙන්දි ඔහු මගෙ ළඟට ආවා. මම කොච්චර බයවුණාද කිව්වොත් මාව වෙවුලලා කතා කරගන්න බැරිවුණා.

* ඔහු මොකද කිව්වෙ?

ඔහුට තේරුණා මං ඉන්න තත්ත්වය. ඔහු කිව්වා “බය වෙන්න එපා. අපි පස්සෙ කතා කරමු” කියලා.

* අකිල දායක වූ නිර්මාණවල වැඩිපුරම ආදර ජවනිකා තිබුණා?

මට ඒවා දකිද්දි එච්චර ගාණක් නැහැ. මවත් නිළියක් විදිහට දන්නවා එතන වෙන්නෙ රංගනයක් විතරයි කියලා.

* ඔබටයි අකිලටයි එකම නිර්මාණයක පෙම්වතුන් ලෙස රඟපාන්න කතා කරලා තියෙනවද?

ඔව්. හැබැයි අපි දෙන්නා රඟපාන්න ගිය හැම වෙලාවකම දෙන්නට දෙන්නා හොඳටම හිනා වෙනවා. ඒක නිසා අපි දෙන්නා එකට රඟපාන්නෙ නැහැ කියලා තීරණය කළා.

* මං අහලා තියෙන විදිහට ඔබ ටිකක් සැර චරිතයක්?

මට කේන්ති යනවා වැඩියි. ඒක උපන් ගතියක් මගේ. අකිල එහෙම නැහැ. එයා බබෙක් වගේ.

* අකිල කිව්වෙ නැතිද ඔබට නිරූපණ ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න කියලා?

නැහැ. මම අයින් වෙන්න හදපු හැම අවස්ථාවකදීම අකිලයි මාව ඒ ක්ෂේත්‍රයට යොමු කළේ.

* අකිලගෙ මවුපියන් ඔබ නිරූපණ ශිල්පිණියක් කියලා දැනගත්තම මොකද කියලා තිබුණේ?

ඒ අය දැනුම් තේරුම් තියන උදවිය. අකිලට වගේම ඔවුනටත් මගෙ වෘත්තිය ගැටළුවක් වුණේ නැහැ.

* කවද්ද ඔබ දොපොළගෙ විවාහය සිද්ධවෙන්නේ?

මට තවම අවුරුදු විසි දෙකයිනෙ. 2015 වේ විතර බඳිනවා.

* අමන්දාගෙ ගෙවල් කොහෙද?

කෝට්ටෙ.

* එතකොට ඉගෙන ගත්තේ?

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න?

අමන්දා ටිකක් සැරයි. ඒත් හොඳයි.