වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ විශේෂ දර්ශනයක්

අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ විශේෂ දර්ශනයක්

චාරිත්‍රානුකූලව අති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමිපාණන් පොල් තෙල් පහන දැල් වූ මොහොත. අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, බන්දුල ගුණවර්ධන, මෙහි එක් නිෂ්පාදකවරයකු වන සුනිල් ටී. ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ සනත් අබේසේකර යන මහත්වරුන් ද සේයාරුවේ වෙති.
සේයාරුව – අමිත්

සනත් අබේසේකර අනගාරික ධර්මපාල චරිතය අලළා නිර්මාණය කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.

මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරු මේ අවස්ථාවට සහභාගී වූ අතර මේ සිනමාපටය ලබන වසරේ සැප්තැම්බර් 17 වැනිදාට යෙදෙන ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය දින තිරගත වන බව අධ්‍යක්ෂවරයා පවසයි.

අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ නිෂ්පාදනය පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණෝ සමඟ සුනිල් ටී. ප්‍රනාන්දුගෙනි.

මෙම සිනමාපටයෙහි ධර්මපාල චරිතයට පණ පොවන්නේ පාලිත සිල්වාය.

අනෙකුත් චරිතයන් කමල් දේශප්‍රිය, සඳුන් විජේසිරි, ජී. ආර්. පෙරේරා, ඔස්ටින් සමරවික්‍රම, මාධව විජේසිංහ, රුවංගි රත්නායක, දයාසිරි හෙට්ටිආරච්චි, අශෝක නවරත්න කුමාරසිංහ, අමල් පෙරේරා, අජිත් කුමාර, සංජය අමරසිංහ, චිත්‍රානන්ද කුරුවිට ආරච්චි රඟනු ලබති.

අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය සනත්ගෙනි. රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. විශාරද නන්දා මාලිනී, රෝහණ වීරසිංහ, මාධවී ජයසේන ගීත ගායනයෙන් එක් වී ඇත. ලකී ආතවුදගේ සහාය අධ්‍යක්ෂණයකි. ගයාන් බුද්ධික සහ ඉන්දික දෙවන සහාය අධ්‍යක්ෂවරුන්ය. උපදෙස් සහ තෙරතුරු ලබා දීම ආචාර්ය ගයාන් චානුක විදානපතිරණ සහ සහකාර විදුහල්පතිනි මාධවී ජයසේකරගෙනි. ආනන්ද බණ්ඩාර වර්ණ සංකලනය කොට ඇත.

පූජ්‍ය ඇඹිලිපිටියේ විජිත හිමි සම්බන්ධීකරණයෙන් ද, හීනටිගල ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් ද, මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද මේ සඳහා දායක විය. සංජය අමරසිංහගේ නිෂ්පාදන කළමනාකරණයකි. ඉෂිනි අබේසේකර නිෂ්පාදන කෘත්‍යාධිකාරී වේ. නන්දි නන්දා ජයකොඩි සංස්කරණයෙන් එක් වී ඇත. - ප්‍රසාද්