වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘නොහඬන් ළඳුනේ’ ගුරු භවතුන් වෙතින්

 ‘නොහඬන් ළඳුනේ’ ගුරු භවතුන් වෙතින්

‘විරහවේ කඳුළු බිංදුව’ කිව්වම අපේ රසික රසිකාවන් හොඳට දන්නවා කවුද ඒ කියලා. ඔහු තමයි ගායන ශිල්පිී පුන්සිරි සොයිසා. මොකද ඔහු ගැයූ ගීත බොහොමයක් විරහව ගැන ගැයුනු ඉතාම රමණීය ගීත වීම. ඔහු ගේ ගායන දිවියට දැන් දශක හතරක් පමණ වෙනවා. නමුත් පුන්සිරි මේ දක්වා තමන්ගේ කියලා ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් මේ දක්වා පවත්වා නැහැ. මීට පෙර අවස්ථා කිහිපයකදීම වරින් වර කිහිප දෙනෙක්ම ප්‍රසංගයක් පවත්වන්න කතා කළත් ඔහු කැමැති වුණේ නැහැ තිබුණු වැඩත් එක්ක.

නමුත් ඔන්න ඒ අවස්ථාව දැන් උදාවෙලා පළමු වතාවට. පුන්සිරි සොයිසා ගේ ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න ඔහු දැන් කැමැත්ත දීලා. මේ ප්‍රසංගයේ බර කරට අරගෙන සිටින්නේ තර්ස්ටන් විද්‍යාලයේ ගුරු භවතුන් පිරිසක්. ‘නොහඬන් ළඳුනේ’ නමින් නම්කර ඇති මෙය තර්ස්ටන් විදුහලේ ගුරු සංගමයට ආධාර පිණිස මෙම 20 වැනි දා සවස මහරගම ශ්‍රී ලංකා යූත් රංග ශාලාවේදී පැවැත්වෙනවා.

මෙහි සංගීතය මෙහෙයවීම විශාරද සමන්ත පෙරේරා ප්‍රමුඛ වාද්‍ය වෘන්දයයි. කථනයෙන් වසන්ත රෝහනත් යුග ගායනයෙන් පුන්සිරි ගේ දෙවැනි දුව සත්මිණි බුද්ධිමාලාත් සම්බන්ධ වෙනවා. ඇය මේ පියාගේ ගායනයකට එක්වන පළමු වතාවයි. මෙහි දී ඔහු ගේ ජනපි‍්‍රය ගීත 24 ක් පමණ ගැයෙනවා. ඒ වගේම මෙය රටවටා දිගටම පවත්වන්නටත් පුන්සිරි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මුලිකවී කටයුතු කළේ තර්ස්ටන් විදුහලේ තිලකරත්න සර් කියන එකත් කිවයුතුමයි.