වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

ඔබේ ප්‍රතිචාර SMS මඟින් එවන විට ඔබේ නම සහ ගම සඳහන් කිරීම අනිවාර්ය බැව් කරුණාවෙන් සලකන්න. 0752805047 මේ ප්‍රතිචාර කෙටි පණිවුඩ එවිය යුතු අංකයයි. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය ඔබේ තැපැල්පත් හෝ සටහන්පත් වෙනුවෙනි.

සිරීගේ ඉරණම කතරක දිය දෝතක්

විවිධ නාලිකාවන්හි එක දිගට පෙන් වූ හරසුන් ඒකාකාරී ටෙලි නාට්‍ය නරඹා කතරක අතරමංව සාපිපාසාවෙන් පෙලුණ ප්‍රේක්ෂක කැලට සිරීගේ ඉරණම අහඹු සේ හෝ ලද දිය දෝතක් වැනිය. විශේෂයෙන් කිත්සිරිගේ රඟපෑම ඉතාමත් අගය කළ යුතු අතර ලාල්ගේ චරිතය දකින විට හිතෙන කෝපය නම් වලක්වාලිය නෙහැක.

කල්‍යාණ ජයනෙත්ති
උණවටුන

බොනිපස්ට සුව වේවා

රෝගාතුර වී දැනට කොළඹ ජාතික රෝහලේ විසි වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන සිරිමලී, සුහද දිවි පිදුම, සුද සදේ කළුවලා ඇතුළු චිත්‍රපටවල රඟමින් රසික අප පින වූ බොනිපස් ප්‍රනාන්දුට ඉතා ඉක්මනින් සුවය පතමි.

දයාරත්න ගනේගොඩ

කැලණිය

කීර්තිට පැසසුමක්

කෝට්ටේ වජිර ළමා නිවාසයේ දරුවන් වෙනුවෙන් ඇති සංගීත පාසලේ නඩත්තු කටයුතුª වෙනුවෙන් කීර්ති පැස්කුවල් මූලිකව කටයුතුª කිරීම පැසසිය යුතුයි.

සුජාතා ගුණවර්ධන

කඩවත

හොඳ හොඳම වේය ලොව

නොහොඳ නරක නොදිනූ ප්‍රේම තරගයකින් දිනා සීතාවකට ගොස් සන්දේශයකින් ටිකිරි කුමරු රජ වූ බැව් අපට දන්වා අහංකාර ස්ත්‍රිය සමඟ ලංකාරෙන් මලක් පිපී සැලෙන බව අපට දැන් වූ හැටි මතකය. ඉන් අනතුරුව සිරිනි සරුසරවීලා ගොයම් යායක සිට මාතලන් සමඟ උපත ලබා මේ ලෝකේ සැපත නැති බව පසක් කළේය. සිරියලතා දමා ගිය අවිශ්නාවේ සැමදාම ඔබ මගේ කියා සුසුම්ලමින් සිට මංගල දිනයේ රස මධුපානේ ඉවතලා කෙවිලිය කුලගෙට එනවා යැයි බලාපොරොත්තු සහිත විය. මෙකී නොකී ගීවලට මඳ විරාමයක් තබමින් ඔහුගේ රිදී හඬට පත් වූ අපට ‘උත්තම මුණි දළඳා’ වඩින හැටි සත් සමුදුරු ගැඹරේ අත දිගු කරමින් අපට පෙන් වූ බටනලාවෙන් පෙළහර පෑ දේශයේ පහළ වූ අදීන ගායකයා සුනිල් ශාන්තට පසු බිහි වූ අදීන ගායකයා සීතල නත්තලේදී අප හැර ගියද ධර්මදාස වල්පොල නම් ඒ සුමියුරු වූ හඬ මේ මොහොතේද දෙසවන් තුළ රැව් පිළිරැව් දෙනු ඇත.

විමලසේන හපුතන්ත්‍රි

අත්තනගල්ල

දැන් නම් දැන්වීම් වැඩියි

රූපවාහිනී මාධ්‍ය මෙරටට පැමිණි මුල් යුගයේ නරඹන්නාගේ රස වින්දනයට කිසිදු බාධාවක් නොවන ලෙසයි වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කළේ. ඒකටත් දැන්, වෙළෙඳ දැන්වීම්වලින් තොර වූ එකදු රූපවාහිනී වැඩසටහනක්වත් ප්‍රචාරය නොවීම කනගාටුදායකය. චිත්‍රපට, ටෙලි නාට්‍ය සංගීතය, දේශපාලනය, ප්‍රවෘත්ති ඇතුළු මෙකී නොකී ඕනෑම වැඩසටහනක් විකාශය වන විට විනාඩි පහෙන් පහට වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම බලවත් අසාධාරණයකි. විවිධ වූ නම්වලින් හැඳින්වෙන සියලු රූපවාහිනී නාලිකා නැරැඹීම අපට තිත්ත වෙලයි දැන් තියෙන්නේ. මෙහෙම ගියොත් ජනතාව රූපවාහිනී මාධ්‍ය තුළින් ඈත්වීම නුදුරේම සිදු වන බව අපට පෙනෙන්නට තිබේ.

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

දූනගහ

සම්මාන හොඳයි නොපැමිණීම දුකයි

පසුගියදා පැවති සිග්නීස් උත්තමාචාර උළෙල හරි ඉහළයි. ඒත් සහභාගිත්වය ඉතාම දුර්වලයි. එහිදී ඉතා චාම්ව එහෙත් ගාම්භීර ලෙසින් කලාකරුවන්ව සම්මානයන් පුදනු ලැබීය. සමහර සම්මානලාභීන් පවා නොපැමිණියේය. තම සහෝදර ශිල්පීන්ව ධෛර්යමත් කිරීමට අත්පොඩියක් ගැසීමටවත් නළු නිළියන් සිටියේ ඉතාම අතලොස්සකි. වර්ග භේද, ආගම් භේද නොසලකා නිර්මාණශීලිත්වයට පමණක්ම තැන දෙමින් නිමාවට පත් වුණ තිස් හත්වන ඕ. සී. අයි. සී. උත්තමාචාරයට මගේ ප්‍රණාමය සහ ස්තුතිය යහමින් පුදන්නේ අපක්ෂපාති, සාධාරණ, උසස් රුචිකත්වයට ගරු කළ විනිශ්චය මණ්ඩලයටයි.

ඩඩ්ලි ගෝමස්

මොරටුව, කටුබැද්ද

කදිරා හොඳයි

කෝරළේ මහත්තයා ටෙලි නාට්‍යයේ කදිරාගේ චරිතයට පණ පොවන වසන්ත කුමාරවිල ඉතාම උසස් ලෙස එම චරිතය නිරූපණය කරයි. කදිරා දඩබ්බර වුවත් සිත ලාමක වන අවස්ථාවන් ද නැත්තේම නොවේ. එම මොහොතයන්හී වසන්ත කදමට ඉතා තාත්ත්විකව රංගනයේ යෙදෙයි.

සෝමා එම්. පතිරණ

කහවත්ත

සුපිරි හපනා අගය කරමු

සුපිිරි හපනා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන දරවන් සඳහා වෙන් වූ අගනා වැඩ සටහනකි. දරුන්ගේ කලාව හා බැඳුණු හපන්කම් මෙන්ම සමාජයේ හැසිරිය යුතු ආකරය සඳහා ද ගුරුහරුකම් ලැබීම විශේෂත්වයකි. වෙනත් ළමා වැඩසටහන් සමඟ සසඳන විට සුපිරි හපනා වැඩසටහනට දරුවන් සහභාගී වන්නේ මනා සංයමයෙන් බව කිව යුතුය.

අයලීන් සෝවිස්

රාගම


S.M.S

ගී ලොව තුළ පළමුව ඔහුව හමු වූයේ කුඹුකේ ලිඳ ළගදීය. පසුව ලස්සන ගම්මානේ, මුතු පොටක් වැනි ගී ගයා ඔහු මෙලොවින් නික්ම ගොස් බොහෝ කලක් ගත වුව ද මර්වින් මිහිඳුකුල යනු මෙරට ගී ලොව නොමැකෙන නමක් තැබූ සුපිරි තරුවකි. නමුත් ඔහු ගැන වර්තමානයේදී නම් කතා නොකිරීම කණගාටුවකි.

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

මුවන් පැලැස්ස තරමටම කෝරළේ මහත්තයා ටෙලි නාට්‍ය ජනප්‍රියව තිබේ. එහි කෝරළේ මහත්තයා, පිනා, කදිරා චරිතයන්ට නළු නිළියන් තේරීම ඇත්තටම මරු.

ප්‍රියන්ත

කඩවත

මේ වන විට අන්තර් ජාලය හරහා කලාකරුවන්ට මඩ ගැසීමේ කූට ව්‍යාපෘතියක් ආරම්භ වී තිබේ. ඉතා වැර වෑයමෙන් කීර්ති නාමයන් ගොඩ නඟා ගත් ඇතැම් කලාකරුවනට ඒවා මඟින් කරනු ලබන්නේ දැඩි පහරදීමකි. මේවාට වාරණයක් ගෙනාවොත් ගොඩක් හොඳයි.

මුතු

ජාඇල

අපි ඩබල් ට්‍රබල් චිත්‍රපටය නරඹන්නට ආවා. ඒත් ඒක සිනමා ශාලාවලින් ගලවලා.

සුනිල් විතානගේ

පොල්ගහවෙල

සිරස සුපර් ස්ටාර් තෙවැනි අදියරේ කිරුළ දිනූ ශානිකා මධුමාලි අක්කේ, ඔයාට මොන ප්‍රශ්න ආවත් අපි ඔබත් එක්කයි සැමදාම. ඔබ ගැයූ පුංචි කුඩේ ගීතය හරිම ලස්සනයි.

අචලා

කුරුණෑගල

අසංග ප්‍රියමන්ත පීරිස් ගයන ඇතුල් හිතේ ගීතය හරිම අර්ථාන්විතයි. මා ඉතා දිගු කලකට පසු ආසාවෙන් රස විඳි මවු ගුණ ගීතයක් තමයි ඒක.

ලීලානන්ද

ඔරුගොඩවත්ත

මුතු තරංගා තමයි මං ආසම නිළිය. ඇයට ඕනෑම චරිතයක් මනාව නිරූපණය කරන්නට පුළුවන්. හැබැයි ඇය සිනමාවට එන්න ප්‍රමාද වුණේ ඇයි කියන එක ගැටළුවක්.

හසිතා

තුම්මෝදර

උම්බෑ කිය කියා මරණ බයේ

ඔහු එදා එලෙස ගැයුවේ අද වෙනුවෙන් කියලයි මට හිතෙන්නේ. ජේ. ඒ. මිල්ටන් පෙරේරා කලාකරුවාණෙනි, අදයි ඔහු ගැයූ ගීතවල අගය දැනෙන්නේ.

අනුෂ්කා

මාලිගාවත්ත

නිල්ල සොයා, චංචල රේඛා වැනි විචිත්‍රවත් චිත්‍රපට තැනූ සේන සමරසිංහ නිහඬ වෙලා ඇයි. එවන් වූ සිනමාපට යළි කරන්න ක්ෂේත්‍රයට එන්නකෝ.

ලියෝනි

අලුත්ගම

රූකාන්ත නැවත ලංකාවට ඇවිත් ගැයූ ගීත දෙක තුනම ගොඩක් ලස්සනයි. අපට නැවතත් ඔබේ කටහඬ රස විඳීන්න ලැබීම කනට මීපැණි දැමුවා හා සමානය.

ඉන්දික

කොළඹ

සීත අරණේ සුපුල් නාමල මා ඇසූ අනර්ඝතම ප්‍රේම ගීතයයි. එය වර්තමානයේ සංගීත චාට්වලට යොදා ගන්න කියලා ඉල්ලීමක් කරනවා. එමෙන්ම රවීන්ද්‍ර – මාලිනී සිටි එහි චිත්‍රපටයේ රූප රචනය ද හරිම සුන්දරයි.

දයාරත්න

ගම්පහ