වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




‘ශ්‍රීමත්’ එපා යැයි පැවසූ අසිරිමත් නළුවා

‘ශ්‍රීමත්’ එපා යැයි පැවසූ අසිරිමත් නළුවා

පීටර් ඕ ටූල් - 1932 - 2013

‘මම සාමාන්‍ය කෙනෙක් වෙන්නේ නැහැ. අසාමාන්‍ය කෙනෙක් වෙනවා’. කුඩා වියේදී දින පොතේ ලියූ පරිදිම පීටර් ඕ ටූල් අසාමාන්‍ය පුද්ගලයෙකි. කඩවසම් නළුවෝ හොලිවුඩයේ ඕනෑ තරම්ය. එහෙත් ඔහුගේ කඩවසම් බව අසාමාන්‍යය. ඔහුගේ දෑස සිනමාවට මායාවක්ම විය. සෘංගාරාත්මක බව ද, ශාන්ත බව ද එක ලෙස ඒ දෑස් කියා පෑවේය.

කවියකු හෝ නළුවකු වීමට සිහින මවමින් සිටි ඔහු රාජකීය රංග කලා ඇකඩමියට ඇතුළත් වූයේය. ෂේක්ස්පියර් නාට්‍යවලින් වේදිකාවට පිවිසි ඔහු ‘කිඩ්නැප්ඩ්’, ‘ද ඩේ දේ රොබ්ඩ් ද බෑන්ක් ඔෆ් ඉන්ග්ලන්ඩ්’ සිනමාපටවල සුළු චරිත නිරූපණය කළේය.

ඔහුට වාසනාව ගෙනාවේ ටී. ඊ. ලෝරන්ස් චරිතයයි. ඩේවිඩ් ලීන්ගේ ‘ලෝරන්ස් ඔෆ් ඇරේබියා’ (1962) සිනමාපටයේ ඒ චරිතය ඉතිහාස ගත වූයේ, ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රථම සිනමාපටය වූ නිසා නොවෙයි. එය එදා මෙදාතුර දැකිය හැකි විශිෂ්ටතම හොලිවුඩ් රංගනයන්ගෙන් එකක් වූ නිසයි.

ඇල්බට් ෆිනේ ප්‍රතික්ෂේප කළ මාලන් බ්‍රැන්ඩෝ කාර්යය බහුලකම නිසා මඟහැරිය අවස්ථාව පිටර් ඕ ටූල්ට හිමි විය. ඒ සමඟම හොලිවුඩයට අසමසම චරිතාංග නළුවකු ද බිහි විය. ප්‍රථම වරට ඔහු ඔස්කාර් සම්මානයට නිර්දේශ වූයේ ‘ලෝරන්ස්’ ලෙස කළ රංගනයටයි.

ඔහුගේ බෙකට් (1964), ද ලයන් ඉන් වින්ටර් (1968), ගුඩ් බායි මිස්ටර් චිප්ස් (1969), ද රූලිං ක්ලාස් ( 1972), ද ස්ටන්ට් මෑන් (1980), මයි ෆේවරිට් ඉයර් (1982), වීනස් (2006) සිනමා රංගන හොඳම නළුවා ලෙස නිර්දේශවීමට තරම් ප්‍රබල විය. එහෙත් පීටර්ගේ අතට යාමට තරම් එකදු ඔස්කාර් සම්මානයක්වත් වාසනාවන්ත වූයේ නැත.

ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන ඉතිහාසයේ හොඳම නළුවා ලෙසින් වැඩිම වාර ගණනක් (අට වරක්) සම්මානයට නිර්දේශ වී එකදු සම්මානයක්වත් නොලද එකම පුද්ගලයා ලෙසින් ඔහු වාර්තා පොතට එක් විය.

2012 ජූලි 10 වැනිදා ඔහු රංගනයෙන් සමු ගත්තේ සිනමාපට හැත්තෑවකට ආසන්න ගණනක චරිත නිරූපණය කිරීමෙන් පසුවයි. ඔහුගේ අවසන් රංගනය නැරැඹීමට ලැබුණේ 2013 වසරේදී තිරගත වූ ‘කැතරින් ඔෆ් ඇලෙක්සැන්ඩ්‍රියා’ සිනමාපටයෙනි.

පීටර් ඕ ටූල්ගේ ජීවිත රංගනය අසාර්ථක වූයේ ඔහුගේ බේබදුකම නිසාය. 1959 වසරේදී සිඈන් ෆිලිප්ස් වෙල්ෂ් නිළිය සමඟ විවාහ වූ ඔහු 1979 දී දික්කසාද වුණු සැමියකු බවට පත් විය. අධික ලෙස බීමත් වන, සැක කරන, තමන් මානසික පීඩාවට පත් කරන පීටර් සමඟ ජීවත්වීම අසීරු බව ඇය දික්කසාදයේදී පැවසුවාය.

ඔහුගේ දියණියන් දෙදෙනාගෙන් කේට් දියණිය රංගනයට පිවිසියාය. මෝස්තර නිරූපණ ශිල්පිනියක වූ කැරන් බ්‍රවුන් කලක් ඔහුගේ පෙම්වතිය වූවාය. ඒ පෙම්දමින් ඔවුනට එක් පුතකු සිටියි.

1987 දී නයිට් නාමයෙන් පුද ලැබුව ද ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

දිගු කාලයක් රෝගී වී සිටි මේ මහා රංගධරයා 2013 වසරේ දෙසැම්බර් 14 වැනිදා ලන්ඩනයේ වෙලින්ටන් රෝහලේදී අවසන් හුස්ම හෙලුවේය. මිය යන විට ඔහු අසූ එක් හැවිරිදිය.

* බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රියතම සිනමාපටය ‘ලෝරන්ස් ඔෆ් ඇරැබියා’ යි. පීටර්ගේ, ලෝරන්ස් චරිතයට වශී වූවකු වන ඔහු සිනමා වීරයාට අවසන් ගෞරවය පුද කළේය.

* 2003 දී ඔහුට ගෞරව ඇකඩමි සම්මානයක් පුද කෙරුණ ද එය ප්‍රතික්ෂේප කළේය. ඒ වන විටත් ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ රඟන චරිතයකට ඔස්කාර් සම්මානයකි. එහෙත් ‘වීනස්’ රංගනයට ද සම්මාන නොලැබුණු විට ඔහු ගෞරව සම්මානය පිළිගත්තේය.

* ක්‍රිකට් හා පාපන්දු වාර්තාකරුවකු ලෙසින් වෘත්තීය ජීවිතය ඇරැඹූ ඔහු කලක් නාවික හමුදාවේ ද සේවය කළේය.

* වයස අවුරුදු 14 දී ඔහුට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නැතිව පාසල් අධ්‍යාපනය හැරයාමට සිදු වූයේ රෝගී තත්ත්වය නිසයි.

* රංගනයට ඔස්කාර් සම්මාන නොලැබුණ ද, ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මාන 4 ක්, බැෆ්ටා සහ එමී සම්මාන හිමිකර ගැනීමට හේ සමත් විය.