වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




ලතා ට ගයන්න බැරිලු

ලතා ට ගයන්න බැරිලු
සරත් ට වයන්න බැරිලු

ගීත කෝකිලා, කලාසූරී ලතා වල්පොල පසුගිය දා සියරට පැමිණියේ කැනඩාවේ පැවති, ඇයගේ අති සාර්ථක ප්‍රසංග කිහිපයකටම සහභාගි වෙමින්. කැනඩාවේ, ටොරොන්ටෝ, මොන්ට්‍රියල්, කැල්ගරි යන ප්‍රධාන නගර කිහිපයක්ම සිසාරා ඇයගේ මේ ගීත රාවය පැතිරී ගියා. මේ සංචාරය සඳහා සංගීතවේදී සරත් ද අල්විස් සහ අමිත් වල්පොලත් ලතා සමඟ සහභාගී වුණා. මේ තුන් දෙනා කැනඩාවට යනකොට එහෙ හරි ජරමරයක්. ‘ලතා වල්පොලට සින්දු කියන්න බැහැ, රෝද පුටුවේ යන්නේ.

සරත් ද අල්විස්ට දැන් ප්ලේ කරන්න බැහැ’ කියලා එකම ප්‍රචාරයක් ගිහිල්ලා. මේ නිසා සංවිධායකයොත් බයවෙලා. එක සංවිධායකයෙක් මේ නිසා තමුන්ගෙ ප්‍රසංගය කැන්සල් කරලා. බලනකොට කතාව ඇත්ත. මේ අය කැනඩාවට ආවේ ලතාව රෝද පුටුවක තියලා තල්ලුකරගෙන. හැමෝම මේ නිසා හොඳටම බය වුණා.

ටික වෙලාවකින් රෝද පුටුවෙන් බැහැලා ලතා හරි අපූරුවට පයින් ගමන් කළා. මේකට හේතුව වුණේ ලතාගේ කකුලක තිබුණ පොඩි ආබාධයක්. පයින් ගියානම් ඒක වැඩිවෙන්නත් තිබුණා. ඒ නිසයි මේ රෝද පුටුව පාවිච්චි කළේ. මොකද කැනඩාවට යන්න ගුවන් යානා හතරකින් යන්න වුණා. මේවා අතර පයින් යන්න තියෙන දුරත් ගොඩක් දුරයි. අවුරුදු අසූවකට ඔන්න මෙන්න තියෙන ලතාට පයින් මේ දුර ගියොත් ටිකක් හෙමින් තමයි යන්න වෙන්නේ. ඒ නිසා මේ අය රෝද පුටුව පාවිච්චි කළා. ඒක නිසා පෝලිම්වල ඉන්නෙ නැතුව මුලින්ම යන්නත් පහසු වුණා මේ නිසා.

නැතුව වෙන අකරතැබ්බක් තිබුණෙ නැහැ දෙයියනේ කියලා ලතාට. ‘නමෝ මරියනේ’ කියලා පළමු ප්‍රසංගයේ පළමු ගීතය කියන්න ගත්තා විතරයි ලතාට සින්දු කියන්න බැහැ කියලා බොරු ආරංචි පැතිර වූ සියලු දෙනාගේ කටවල් එකවරම වැහිලා ගියා. වෙන ප්‍රසංගවලට වාදකයෝ පිරිවරාගෙන ගියත් මේකට ගියේ සරත් ද අල්විස් විතරයි. ඔහු එහෙ ඉන්න පොඩි ගැටවු ටිකක් තමයි අනිකුත් වාදකයො විදියට යොදා ගත්තේ. සරත් ආවා කිවුවම ඔවුන්ටත් හරි සතුටුයි.

ඒවගේ කෙනෙක් එක්ක සංගීතය සපයන්න ලැබෙන එකට. කොහොම හරි ප්‍රසංග කිහිපය ඉතාම සාර්ථකව පැවැත්වුණා. ‘රැජින මමයි’ ගීතයට සරත් ද අල්විස් කී බෝඩ් එකෙන් එහි සියලු සංගීත නාද ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කළාට පස්සෙ අර ‘සරත්ට ගහන්න බැහැ’ කිවුව අයට කට උත්තර නැතුව ගියා. මේ දෙන්නගෙම තත්ත්වය එහෙ ඉන්න රසික රසිකාවන්ට ඇස් පනාපිටම දැක ගන්න ලැබුණා. ඒ විතරක් නෙවෙයි ලතාගේ උපන් දිනයත් යෙදිලා තිබුණෙ මේ දිනයක. මේ උපන් දිනය ඉතාම උත්කර්ෂවත් ලෙස තැන් දෙපළකම පැවැත්වූයේ ලතාව පුදුම කරවන්නත් එක්කයි. හැබැයි අර ප්‍රසංගය කැන්සල් කරගත්ත සංවිධායකයා නම් තවමත් දුක් වෙනවාලු කරගත්ත මෝඩකම හින්දා.