වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




අම්මා තමයි එහෙම කරන්න කිව්වේ තාත්තා ගෙදර ඉන්නේ නෑ කියලා

අම්මා තමයි එහෙම කරන්න කිව්වේ තාත්තා ගෙදර ඉන්නේ නෑ කියලා

ඉදිරියේදී තිරගතවීමට නියමිත සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ඔහුගේ 53 වැනි චිත්‍රපටය වන ‘දෝණි’ චිත්‍රපටයෙහි තිර පිටපත ඇසුරින් සරසවිය පාඨකයන් වෙනුවෙන් විශේෂයෙන් ලියැවෙන්නකි.

නිවාස සංකීර්ණයට නවකයන් වූ අපට මෙහි කටයුතුª පිළිබඳ ඇත්තේ අඩු දැනුමකි. දැනුදු අපට සිදු වූයේ රැස්වීම් ශාලාවට රැස් වූ සියලුදෙනා කතාබහ කරන දේ පිළිබඳ පළමුව අසා සිටීමටය.

‘මොකක්ද ඒ ළමයාගේ අසනීපය?’

මා විමසුවේ යමක් විමසා දැන ගැනීමේ අටියෙනි.

‘ඒ ළමයගේ මොළේ හොඳ නෑ’

සාගරිකා පැවසුව ද වැඩි විස්තරයක් එහි ගැබ් නොවීය.

‘මේ කාරණය ගැන දැඩි තීරණයක් ගන්න ඕන’

අබේපාල පවසන්නේ ඒ ළමයාගේ අසනීපය අප සියල්ලන්ටම බලපාන බව හඟවමිනි.

‘අපි එහෙම කරනවට කවුරුත් අකැමැති නෑනේ’

සියල්ලන්ගේම තීරණය දැන ගැනීමේ අටියෙන් සිල්වා විමසුවේ මේ අතරය.

‘අපි මේ ගැන මොනවත් දන්නේ නෑ’

‘මොනව හරි තීරණයක් ගන්න කලින් ඒ ළමයාගේ අම්මත් එක්ක අපි කතා කරලා බලන්නද?’

ඒ දරුවා පිළිබඳත්, පවුලේ තොරතුරු පිළිබඳත් කිසිවත් නොදත් අප ඒ තීරණයට එකඟවීම, හෘද සාක්ෂියට තරම් නොවූ බැවින් මම පැවසීමි. එහෙයින් සියලු දෙනාගේම සිත යොමු වූයේ අනෙක් ගැටලුවක් කෙරෙහිය. ඒ විදුලි සෝපානය ඉහළ පහළ පැමිණීමේ වාර ගණන පිළිබඳය. නිවාස සංකීර්ණයෙහි වෙසෙන ළමුන් විදුලි සෝපානයේ එහා මෙහා යන ගමන වැඩි වී ඇතැයි චෝදනා කර ඇත්තේ එහි සිටින ආරක්ෂක නිලධාරියායි.

‘රෑ නවයෙන් පස්සේ ලිෆ්ට් එක නවත්වමු’

මිල්ටන් ඊට සුදුසුම යැයි සිතු යෝජනාව රැගෙන ආවේය.

‘කෝ . . . මේ ලිෆ්ට්මන්’

විදුලි සෝපානයෙහි ආරක්ෂක නිලධාරියාට කතා කළේ පෙරේරාය.

‘ගිහින් ළමයින්ට එන්න කියනවා’

ඔහු මේ ගැටලුවට තීරණයක් ලබාදීමට ළමුන් ද සිටිය යුතු බව සිතූ සෙයකි.

‘ළමයිනේ නිදැල්ලේ හැසිරෙනවා නම්, එකට වග කියන්න ඕනෑ දෙමවුපියෝ’

විජේසේන ඇඟිල්ල දිගු කළේ එහි සිටිය වැඩිහිටියන්ටමය.

‘තම තමන්ගේ ළමයි ගැන තමාම බලා ගන්නවා නම් ඔය ප්‍රශ්නය විසෙඳනවා’

පවිත්‍රා ද පැවසුවාය. මේ ප්‍රශ්නයට පැන නැඟුණු විවිධ වූ ගැටලු හමුවේ විවිධ විසඳුම් එකිනෙකාගෙන් ඉදිරිපත් වූහ. ළමයින් පැමිණියේ මේ අතරතුරය.

‘පොලිසියට කියන්න තරම් බරපතළ දේවලුත් මෙහෙ වෙනවා. ගිය ඉරිදා මගේ සයිකලේ රෝද දෙකේම හුළං ඇරලා’

ළමයින් දුටු වනම ගුණදාසගේ සිතෙහි හැංඟී තිබූ ප්‍රශ්නය එළියට පැන්නේය.

‘තාත්තේ ඔය ප්‍රශ්නය මෙතන කතා කරන්න එපා’

සුරංග පුතු කිව්වේ ගුණදාසටය. එහි කුමන හෝ දිගු කතාවක් සැංඟී ඇතැයි මට සිතුණි.

‘ඔය ළමයට වැඩක් නෑ. ගුණේ අයියා කියන්න’ සෝමපාල පැවසුවේ සිය පියාට කිසිදු ගරු සරුවක් නැතිව කතා කරන සුරංග පුතු පිළිබඳ නොමනාපයෙනි.

‘හොඳයි කවුද පුතේ ඒක කෙරුවේ’

සභාපති විමසුවේ සුරංග පුතුගෙනි.

‘මම’

වටපිට බලා ඉදිරියට පැමිණි සුරංග පුතු කළ වැරැද්ද පිළිගත්තේය.

‘දැක්ක නේද කරලා තියෙන වැඩේ. යන්කෝ ගෙදර’

ගුණදාස සිය පුතුට තර්ජනාත්මක ලෙස ඇඟිල්ල උරුක් කළේය. සිය පියාගේ තර්ජනය ගණනකට නොගත් සුරංග පුතුගේ සිනහ හඬ මුළු සභාවම පුදුමයට පත් කළේය.

‘අම්මා තමයි එහෙම කරන්න කිව්වේ තාත්තා ගෙදර ඉන්නේ නෑ කියලා’

සියල්ලන්ම මුහුණෙන් මුහුණ බලා ගත්තේ මඳ සිනහවක් මුවට නංවමිනි.

‘හා . . . හා ඔය ඇති. ඔය ප්‍රශ්න මෙතන කියන්න ඕනෑ නෑ’

නිවාස සංකීර්ණයේ නිවැසියන්ගේ සුලමුල හෙළි කරන කතා නවත්වන ලෙස කළ අණ කිරීමක් ඒ වචනවල විය.

‘අන්කල්ගේ සැර මෙතනදි තමයි. මෙයාගේ නෝනා මෙයාට කතා කරන කොට නම් මෙයා පූස් පැටියා වගේ’

එවර නම් සියල්ලන්ගේම මුවෙන් නැ¼ගුණු සිනාහඬ මුළු ශාලාවෙහි විහිද ගියේ දෝංකාරයක් නංවමිනි.

‘මේ ළමයින්ගේ තියෙන්නේ පුදුම ඝෝෂාවක් නේ. සමහර දවස්වලට මගේ ළමයට පාඩම් කරන්නවත් බෑ’

ඉංජිනේරුවකු වන්නට ඉගෙන ගන්න අබේපාලගේ පුතුට ඇති කරදරය පිළිබඳ අබේපාලගෙන් නැඟෙන්නේ නෝක්කාඩුවකි.

‘පාඩම් කරනවා කොහොම වෙතත් කොයි වෙලාවෙත් අරයගෙ දුවත් එක්ක කොකං පානවා අපි දැකලා තිබෙනවා’

දියණිය නදීශා වැඩිහිටියන් නොදන්නා යමක් හෙළි කළාය. ඇගේ ප්‍රකාශයත් සමඟ රණ්ඩුවකට අර ඇඳිණි. සිල්වාත්, අබේපාලත් එකිනෙකා බැණ අඬ ගසා ගත්තේ කුඩා ළමයින් මෙනි. ඔවුන් දෙදෙනා නැඟිට ගියහ. අවසානයෙහි පිරිස විසිර ගියේ එකිනෙකාට චෝදනා කරමිනි. ළමුන් අසලට පැමිණියේ මැදිවියේ අයෙකි.

‘දැක්කද පොඩි අයගේ කතාවලට ලොකු අය ඇරගන්න හදන හැටි’

ළමයින්ගේ උවන දෙස බැලූ ඔහු පැවසුවේ ළමුන්ගේ සිත් ගැනීමට යැයි මට සිතිණි. ළමයි ඔහු සමඟ කතාබහ ප්‍රතික්ෂේප කළහ. ඒ ඔහුගේ ජීවිතයේ සැංඟී තිබූ යමක් හෙළි වූ නිසාය. මේ සියලු දෙනා හා ඔවුන්ගේ හැසිරීම් දෙසම බලා සිටි මම රුවන් පුතු හා සිඟිති දියණිය ද කැඳවා ගෙන නිවෙසට පැමිණියෙමි.

කාලය ගෙවී යන්නේ ඉබි ගමනින් යැයි වරෙක මට සිතේ. නිවාස සංකීර්ණයෙහි වාසීහු අතර දවස ගෙවුණේ කිසිදු හැල හොල්මනක් නැතිවය. තමන්ගේ නිවෙසට කොටු වුණු ඔවුන්ගේ ජීවිත පිළිබඳ මගේ සිතෙහි උපන්නේ අනුකම්පාවකි. රුවන් පුතු හා සිඟිති දියණිය පාසලෙන් දුන් අභ්‍යාසවල නිරත වෙති. මුළුතැන්ගෙයි සිට ඔවුන් දෙදෙනාගේ සංවාදයට සවන් දී සිටි මම සාලයෙහි සිටින සේනක අසලට ගියෙමි.

‘ඔයා ඉව්වද’

ඔහුගේ ආදරණීය වදන් මගේ සිත සුවපත් කළේය.

‘තාම පටන් ගත්තේ නෑ’

දහවල බතට සිතෙන් මෙනුපත සකස් කරමින් සිටි මම සේනකගේ උවන දෙස විමසුම් සහගත බැල්මක් හෙළීමි.

‘අද අපි පිටින් කමු’

ඔහු යෝජනා කළේ නිතරම නිවෙසට වී ඉවුම් පිහුම් අතර කල්ගත කරන මමත්, නිවාස සංකීර්ණයට ආ පසුව විවේක සුවය ගත කිරීමට දියණිය හා පුතු සමඟ කැටුව යන්නටත් නොහැකි වීම නිසා විය හැකිය.

‘අන්න හරි . . . ගෝල්ෆේසුත් යමු’

රුවන් පුතුª හා සිඟිති දියණියගේ සිත් ප්‍රීතියෙන් ඉපිල ගොසිනි.

‘පුතේ අපි ගෙදර යං’

මහ හඬින් කෑ ගසන්නේ කවුදැයි අපි සඳැල්ල දෙසෙන් එබී බැලුවෙමු. ළමයකු කටෙන් වාහනයක හඬ නංවයි. කෑ ගසමින් ඔහු පසුපස යන්නේ ඔහුගේ මව විය යුතුය.

‘කවුද තාත්තේ පිස්සෙක්ද?’

නිවාස සංකීර්ණයේ සිටින අසනීප ළමයා වන්නේ ඔහු යැයි සේනක කීවේය.

‘ඒයි පිස්සෝ’

සිඟිති කෑ ගැසුවේ එක්වරමය.

‘වහන්නයි කිව්වේ කට’

සේනක ඇගේ කටට පහරක් ගැසුවේ එසැනිණි. සිඟිති ගෙතුළට දිව ගියාය. මම සේනක දෙස බලා සිටියේ පුදුමයෙනි. කිසිම දිනෙක මට ද අතක් තබන්නට නොදෙන ඔහුගේ ක්‍රියාව නිසා මම වික්ෂිප්ත වී සිටියෙමි. අපි දෙදෙනාම සිඟිති සොයා ගියෙමු. ඇඳෙහි මුනින් තලා වී වැතිරී සිටින දියණිය දෙස බලා සිටි සේනක ඇයව සිප ගත්තේ මහත් සෙනෙහසෙනි.

මතු සම්බන්ධයි