වර්ෂ 2013 ක්වූ දෙසැම්බර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




පුතේ! ආදරණීය බිරියට හොඳ සැමියෙක් වෙන්න

පුතේ! ආදරණීය බිරියට හොඳ සැමියෙක් වෙන්න

රේණුකාගෙන් පුතු විශ්වට ඔවදනක්

අම්මලා දුක් ගන්නේ
පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා
පුතුන් රජුන් කරන්ටා . . .

ලොව හැම ආදරණීය මවකගේ ප්‍රාර්ථනාව එයයි. ඇය සිහින දකිනුයේ තම ආදරණිය දරුවා ලොව රජෙකු මෙන් වැජඹෙනවා දකින්නයි. හැම අම්මා කෙනෙකුම තම කාලය ශ්‍රමය කැප කරනුයේ ද ඒ වෙනුවෙනි. දස මසක් කුස දරා බිහි කළ දා පටන් දිනෙන් දින වැඩෙන දරුවන් දෙස ආදරයෙන් බලන හැම අම්මා කෙනෙකුම තම පණ මෙන් සුරකින දරුවන් සමඟ සිටිනුයේ සෙවනැල්ල මෙනි. විවිධ කඩඉම් පසුකර යන විටදී තවත් ආදරණීය අම්මා කෙනෙකුගේ ජීවිතයේ තවත් සුවිශේෂම දවසක් . . . තම කැදැල්ලේ උණුසුමට ගුලිව සිටි ආදරණීය පුතු සිය ආදරයේ කැදැල්ල තනන දිනය උදා වෙලා. ඒ වාසනාවන්ත පුත්‍රයා නමින් විශ්වා බාලසූරිය.

ඔහුගේ සෙවනැල්ල මෙන් ඔහු සුරැකි ඒ ආදරණීය අම්මා අප කවුරුත් හඳුනන චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය. තම ආදරයේ කිරුළ දරා සිටි දඟකාර පුතු ඔහුගේ පෙම් කිරුළ දරන දා මේ ආදරණීය අම්මාට දැනුණේ මෙවැනි සිතුවිල්ලක්.

‘මට අද වගේම මතකයි පුංචි කාලේ ඔයා මොන තරම් නම් දඟ කලාද? ඒ මතකය සිහියට නැගෙන කොට මේ ඉන්නේත් ඔයාමද කියලා හිතෙනවා. දස මාසයක් කුස දරාගෙන ඉඳලා ඔයා මගේ තුරුළට ආ දවස මගේ ජීවිතයේ සුවිශේෂම දවසක්. ඔයාගේ කිරි හිනාව මට මුළු ලෝකයම අමතක කළා. ඒ කාලේ පෙයාර්ස් බේබි වෙළෙඳ දැන්වීම මට එදා වගේම අදත් මගේ හිතේ සුවිශේෂම තැනක රැඳිලා තියෙනවා. ඒක මතක් වෙන කොට අනේ ඔයා ලොකු වුණේ ඇයි කියලත් හිතෙනවා.

මගේ අතටම වෙලා නැළවුන ඔයා දුව පැන ඇවිදින වයසේදී නම් හරිම දඟයෙක්. දවසක් ඔයා හැංගිලා මාව බය කළ තරමක් . . . ඒ වෙලාවේ මම සජීව නිවේදනයක හිටියේ. ආච්චි අම්මා හැම තැනම ඔයාව හොයලා. පැය ගණනක් ගත වෙලත් ඔයාව සොයා ගන්න අපට බැරි වුණා. ඔයාට මතක ද පුතේ ඔයා එහා ගෙදර පුංචි මිතුරා එක්ක ඇඳ යට සෙල්ලම් ගෙයක් හදලා ඒකේ හැංගිලා.

ඔයාගේ දඟකාරකම්වලට අපේ අසල්වැසියන්ගෙනුත් ලැබුණේ ආදරණීය පැමිණිලි. අයියත් එක්ක එකතුª වෙලා කොළ අතු ඇඳගෙන වැඩ ඇරිලා ගෙදර යන අහල පහල ගෙවල්වල නැන්දලා මාමලා ඔයා බය කරනවාලු. මොන දඟ වැඩේ කළත් ඔයා අම්මාගේ කීකරු පුතා. ඔයා පෙර පාසල් ගිය දවසේ හා පැටියෙක් වගේ බය වෙලා හිටි හැටි මතකද?

එදා ඔයා අධ්‍යාපනයේ ප්‍රථම පියවර තැබූ දවසේ මම ප්‍රාර්ථනා කළා ඔයාට හැමදාම ජයග්‍රහණය ලැබෙන්න කියලා. ඔයාට කිසිම දෙයකට බල කරන්න මට උවමනා වුණේ නැහැ. මම එහෙම කළෙත් නැහැ. මම දන්නවා ඔයා හැමදාම නිවැරදි දේ තමයි කරන්නේ කියලා. ඔයා ටිකෙන් ටික අධ්‍යාපනයෙන් ඉහළට යද්දී මම හරිම ආඩම්බරයෙන් බලාගෙන හිටියේ.

රාජකීය විදුහල් මාතාවගේ සෙවනේදී ඔයා ලැබූ සියළු ජයග්‍රහණයන් ගෙන් වැඩියෙන්ම සතුටු වුණේ මම. ඔයා නිවේදකයෙක්, රංගන ශිල්පියෙක්ම කරන්න මට හිතුණේ නැහැ. ඒත් මම දැනගෙන හිටියා, මට දැනුණා ඔයාගේ ඇඟේ කලාව පිහිටලා තියෙනවා කියලා. මගේ පුතේ, ඔයා රාජකීය විද්‍යාලයේ පළමු වෙස් නැටුම් කණ්ඩායමේ උඩරට නර්තන ශිල්පියෙක් විදියට වෙස් පැළැඳි දවසේ මගේ සිතුවිලි නිවැරැදි බව තහවුරු කළා.

ඒ ගැන මගේ හිතේ තියෙන්නේ ලොකුª ආඩම්බරයක්. ඔයා උසස් අධ්‍යාපනයට ඡායාරූප අංශය තෝරා ගන්න විටත් මට ලොකුª සතුටක් දැනුණා. ඔයාගේ ලලිත් මාමා එක්ක හුරතල් වුණ ඔයා සෙල්ලම් කළෙත් මාමාගේ කැමරා එක්ක. ඒවා දකිද්දී ඔයාත් එයාගේ අඩි පාරෙම යයිදෝ කියලත් මට සැක හිතුණා. මොන දේ තෝරා ගත්තත් එහි සාර්ථකව ඉදිරියට යන්න ලැබෙන්න කියලා ඔයාගේ අම්මා හැමදාම ප්‍රාර්ථනා කළා.

හැමදාම මට ඔයාට මගේ පුංචි පුතා විදියට දකින්න ඕනෑ වුණත් ඔයා දැන් යොවුන් වියටත් පා තබලා. උදාර අබේසුන්දරගේ ‘සෙවණැලි’ චිත්‍රපටයෙත්, අශෝක ආතාවුදහෙට්ටිගේ ‘මින්නු’ චිත්‍රපටයේත් ඔයාගේ කැමරාකරණය දැක්කාම දැනගත්තා ඔයා මේ අංශයෙන් ලොකුª ගමනක් යන්න සූදානම් බව. ඒ වුණත් හැමදාම ඔයා මගේ සාරි පොටේ එල්ලිලා පෙර පාසල් ගිය පුංචි පුතාම තමයි. මම දන්නවා ඔයාගේ අම්මා කලා ක්ෂේත්‍රයේ හිටියත් ඔයත් ඒ ක්ෂේත්‍රයටම ආවේ ඔයාගේ අම්මා නිසා නොවෙයි කියලා. ඔයා ආවේ ඔයාගේම හැකියාවෙන්. ඇත්තටම මම ඒ ගැන ගොඩක් ආඩම්බර වෙනවා පුතේ. මම හැමදාම ඔයාගෙන් බලාපොරොත්තුª වෙන්නේ තමන්ගේ දක්ෂතාවයෙන් යමක් ගොඩනඟාගෙන ඉදිරියට යනවා දකින්නයි. ඒ වගේම පුතේ ලොකු මිනිහෙක් නොවෙයි, හොඳ මිනිහෙක් වෙන්න හැමදාම අධිෂ්ඨාන කරන්න. ඔයාගේ අම්මා වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් හොඳම දේ ඒක තමයි.

ඒ වගේම ඔයා ඔයාගේ ආදරය දිනා ගත්ත ඇය, ඉසුරි දුව ගැන මුලින්ම මට කියූ දවසත් මගේ ජීවිතයේ ගොඩක්ම සතුටු වුණ දවසක්. එදත් මට දැනුණා පුතේ ඔයා ඔයාටම ගැළපෙන කෙනා තෝරා ගත්තා කියලා. පුංචි කාලේ ඉඳලාම හොඳ යහළුවෝ වුණ ඔයාලා දෙන්නටම ජීවිතයේ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔයාගේ අම්මාගේ ආශිර්වාදය ඔයාට හැමදාම තියෙනවා මගේ පුතේ. ඉසුරි දුව මුලින්ම දැක්ක දවසෙම මට හිතුණා එයා ගොඩක් ආදරයෙන් මගේ පුතාව බලා ගනීවි කියලා. මට කවදාවත් මට ඕනෑ දේවල්, මගේ හීන ඔයාගෙන් දකින්න ඕනෑ වුණේ නැහැ. ඒත් මගේ හිත නොරිද, නිවැරැදි තීරණ නිවැරැදි වෙලාවට ගත්ත එක ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා. අම්මා කෙනෙක් විදියට එවැනි ලැබීමත් ලබන්නත් වාසනාවන්ත වෙන්න ඕනෑ. මම ඒ විදියට වාසනාවන්ත අම්මා කෙනෙක් වුණේ පුතේ ඔයා නිසායි.

මේ හැම සතුටක්ම එක්ක ඔයා හැදූ පුංචි කැදැල්ල මට රටක් රාජ්‍යයක් වටිනවා. මගේ පුතේ ඒකේ වටිනාකම දශමයක්වත් අඩු කරන්න නම් එපා. ඔයා ඔයාගේ අම්මට ගොඩක් ආදරය කළ පුතෙක්. ගෞරව කළ පුතෙක්. මම ඔයාගෙන් අද ඉල්ලන්නේ එක දෙයයි. ඒ මට දක්වපු ආදරය, ගෞරවය ඔයාගේ ආදරණීය බිරිඳටත් දක්වන්න කියලයි. මගේ පුතේ ඔයා හොඳ අම්මා කෙනෙක්ගේ හොඳ පුතෙක්. අදින් අරඹපු මේ අලුත් ජීවිතයේදී ඔයා ආදරණීය බිරිඳකට ආදරණීය සැමියෙක් වෙන්න. පුතේ ඔයාත් ඉසුරි දුවත් තැනූ පුංචි කැදැල්ලේ හැමදාම ආදරය, සෙනෙහස පිරී ඉතිරේවා.

ඔයාගේ

ආදරණීය අම්මා